“කඳු මුදුනේ පිහිටි සිද්ධස්ථානයත්, දිවයිනේ නොයෙක් ප්‍රදේශවල නිදන් කර ඇති දන්ත කේශ සහ අස්ථි ධාතු සියල්ලත් බුදුන්ගේ යැයි බෞද්ධයන් විශ්වාස කළ අතර, වන්දනාකරුවන් ලෙස පැමිණි අරාබිකරුවෝ ඒවා සියල්ලම ආදම්ගේ යැයි විශ්වාස කළහ. මෙසේ එකිනෙකට පරස්පර මතවාද පැතිරී තිබුණද කිසිදු ගැටුමක් ඇති නොවීය.”
මේ 13 වන සියවසේ ලංකාවට පැමිණි ඉතාලි ජාතික දේශගවේශකයෙකු වූ මාර්කෝ පෝලෝ ලියූ සටහනකි. එයින් කියැවෙන්නේ ශ්‍රී පාදස්ථානය හෙවත් සමනල කන්දේ එදා පැවති ආගමික සහජීවනය ගැනය.
බෞද්ධයෝ සමනල කන්ද මුදුනේ ඇති සිරිපතුල බුදුන් වහන්සේගේ යැයි අදහමින් ඊට වන්දනා කළහ. හින්දූහු එය ශිව දෙවියන්ගේ යැයි අදහමින් ඊට වන්දනා කළහ. නම වැනි සියවසේ සිට සමනල වන්දනාවේ යෙදෙන මුස්ලිම්වරු එය හඳුන්වන ලද්දේ ආදම්ගේ කන්ද වශයෙනි. ඒ සිය ආගමික විශ්වාසයට අනුව තමන්ගේ ආදීතමයා වූ ආදම් පෘථිවියේ මුලින්ම පය තැබූ ස්ථානය ශ්‍රි පාදස්ථානය ලෙස සලකමිනි.
ඉබන් බතූතා නම් මොරොක්කෝවේ සිට පැමිණි දේශ ගවේශකයා සටහන් කර ඇති ආකාරයට සමනල කන්ද තරණය කළ මුල්ම වන්දනාකරුවා වන්නේ ක්‍රි.ව. 929දී ලංකාවට පැමිණි ෂයික් අබු අබ්දුල්ලා ඛාෆින්ය. මේ වන්දනාකරුවා සමනල තරණයෙන් නොනැවතී සිංහල බෞද්ධයන් අතර මහත් ගෞරවාදරයට ලක් වූ ආකාරය ඉබන් බතූතා සටහන් කර ඇත්තේ මෙසේය. මෙහි මිත්‍යාදෘෂ්ටිකයන් යැයි සඳහන් කරන්නේ බෞද්ධයන් ගැනය.
“එදා සිට මිත්යාදෘෂ්ටිකයෝ මුස්ලිම්වරුන් ගරු කිරීමට පටන්ගත්හ. ඔවුහු ඔවුන් තම නිවෙස්වලට පිළිගෙන ඔවුන් සමග එකට හිඳ ආහාර ගත්හ. තම භාර්යාවන් සහ දරුවන්ද ඔවුන්ට භාර කිරීමට මැළි නොවූහ. අද වන තෙක්ම ඔවුහු එකී ෂයික්ට ගරු බුහුමන් දක්වමින් මහා ෂයික් යනුවෙන් ඔහු අමතති.”
ඉබන් බතූතා මෙහි පැමිණි අවදියේ සමනල කඳු මුදුනට නගින වන්දනාකරුවන්ගේ ආධාරයට සවි කර තිබූ දම්වැල් 10න් එකක් හඳුන්වන ලද්දේ ඉස්ලාම් දම්වැල වශයෙනි. සැලකිය යුතු මුස්ලිම් වන්දනාකරුවන් පිරිසක් එකල ශ්‍රී පාද වන්දනාවේ යෙදී ඇති බවට එයද කදිම සාක්ෂියකි.
නිශ්ශංකමල්ල රජු (1187 – 1196) ශ්‍රී පාද ස්ථානයට කළ ප්‍රදානයන් පිළිබඳ දැක්වෙන ශිලා ලේඛනයක් ශ්‍රී පාදයෙන් හමුවී ඇති අතර, ඒ අසලම පිහිටුවා තිබූ තවත් අරාබි ශිලා ලේඛනයක නටඹුන් ගැනද අසන්නට ලැබේ. කැඩී බිඳී ගිය ඒ ශිලා ලේඛනයේ සටහන්ව ඇත්තේ මහම්මද් දෙවියන්ගේ ආශීර්වාදය ඔහුට ලැබේවා, මිනිස් වර්ගයාගේ පියා වැනි යෙදුම්ය. පූජනීය කඳු මුදුනේ බෞද්ධ ශිලා ලේඛනය අසලින්ම එවැනි ඉස්ලාම් ශිලා ලේඛනයක් පිහිටුවීමට හැකි තරමේ ආගමික එකමුතුවක් එදා පැවති බව මෙයින් පෙනේ.
මේ ආකාරයට විවිධ ආගම්වලට අයත් පිරිස් මේ ස්ථානය වන්දනා කළද කිසිදු ආගමික ගැටුමක් ඇති නොවීය. විශේෂයෙන්ම ඉස්ලාමය පැතිරවීමට අදාළ යුද්ධ ඒ කාලය වන විටත් වෙනත් රටවල ඇති වී තිබුණද ලංකාවේ සිංහලයන් හා ආගන්තුක මුස්ලිම් පිරිස් එකල සහජීවනයෙන් කටයුතු කළහ. සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ ඔවුන්ට තම ආගම අදහමින්, ව්‍යාපාර කටයුතු කරමින් නිදහසේ ජීවත්වීමට අන් කිසිදු රටක නොතිබූ ඉඩකඩක් ලංකාවේ තිබිණි.
මෙසේ එදා පැවති ආගමික සහජීවනයට මුල් වරට බරපතළ තර්ජනයක් එල්ල වූයේ අද අපට සහජීවනය ගැන පාඩම් උගන්වන්නට එන බටහිර ජාතීන්ගේ කඩාවැදීමත් සමගිනි.
පෘතුගීසීහු 1540 පමණ සිට බෞද්ධ හා ඉස්ලාම් දහම මැඩලීම වෙනුවෙන් අප්‍රසන්න නීති රාශියක් පැනවූහ. ඔවුන් යටතේ කතෝලික ආගම හැර වෙනත් කිසිදු ආගමකට අයත් ජනතාවකගේ අයිතීන් ආරක්ෂා වූයේ නැත.

1576 නිකුත් කළ ආඥාවකට අනුව පෘතුගීසි පාලනයට යටත් ප්‍රදේශවල මුස්ලිම්, හින්දු, බෞද්ධ ආගමික සිද්ධස්ථාන කඩා දැමිය යුතු විය. ක්‍රිස්තු ලබ්ධික නොවන සියලු ආගමික නායකයන් නෙරපා හැරිය යුතු විය. කුරානය වැනි පොත් දුටු තැන අත්අඩංගුවට ගෙන විනාශ කළ යුතු විය. ජනයා අසල්වැසි ප්‍රදේශවල පල්ලි, පන්සල්, කෝවිල්වලට යාම තහනම් වූවා පමණක් නොව, එම ස්ථානවලට පිටින් වන්දනාකරුවන් පැමිණීමද තහනම් විය. පල්ලි, පන්සල් හා කෝවිල් විනාශ කොට එම ස්ථානවල රෝමානු කතෝලික පල්ලි ඉදිකිරීමද සිදුවිය.
එතෙක් මුහුදුබඩ ප්‍රදේශවල කේන්ද්‍රගතව සිටි මුස්ලිම් ප්‍රජාව උඩරට රාජ්‍යයට හා රටේ මැද විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වීමට පෘතුගීසීන්ගේ තර්ජනය හේතුවක් විය. එහිදී ඔවුන්ට සුපුරුදු පරිදි රැකවරණය හිමිවූයේ සිංහල රජවරුන්ගෙනි. සෙනරත් රජුගේ කාලය (1604 – 1635) විශාල ඉස්ලාම් බැතිමතුන් පිරිසකට එසේ රැකවරණය සැපයුණු කාලයක් වූ අතර, රජු ඔවුන්ව මඩකලපුව ආදී ප්‍රදේශ ගණනාවක පදිංචි කරවීය.
සැබෑ ආගමික හා වාර්ගික සහජීවනය යනු අපිට බටහිරයන් හෝ ඔවුන්ගේ යටත්වැසියන්ගෙන් උගත යුතු පාඩමක් නොව එය අපේ ඓතිහාසික සංස්කෘතික උරුමයකි. සමනල කන්දේ කතාව ඊට එක් උදාහරණයක් පමණි.
– ඉසුරු ප්‍රසංග



