fem main

ස්ත්‍රීවාදය පට්ට ජෝක් එකක්ද?

ස්ත්‍රීවාදය ගැන සාධාරණ විග්‍රහයක්

ස්ත්‍රීවාදය යනු 19, 20 වැනි සියවස් තුළ බටහිර ලෝකය කේන්ද්‍ර කරගනිමින් බිහිවූ සමාජ දේශපාලන ප්‍රවණතාවකි.
ස්ත්‍රීවාදය ගැන කියන විට ලංකාවේ ඇතැම් පිරිස් ඒ දෙස බලනුයේ හාස්‍යයට ලක් කළ යුතු දෙයක් ලෙස සලකමිනි. ලංකාව තුළ වර්තමානයේ ස්ත්‍රීවාදී අදහස් දරනුයේ බොහෝ විට දේශීය සංස්කෘතිය කෙරේ උග්‍ර විරෝධාකල්ප දරන, රැඩිකල්, නිරාගමික, ලිබරල් අදහස් දරන කල්ලි විසින් වීම මීට එක් හේතුවක් වී තිබේ.
එහෙත් ස්ත්‍රීවාදය යනු කොන්දේසි විරහිතව වැළඳගත යුතු දෙයක් හෝ සම්පූර්ණයෙන් බැහැර කළ හැක්කක් නොවේ. වැදගත් වන්නේ පෙර කී අන්ත දෙකෙන්ම මිදී ස්ත්‍රීවාදය පිළිබඳ එය බිහිවූ ඓතිහාසික සමාජ පසුබිමද සැලකිල්ලට ගනිමින් මැදහත් හා නිවැරදි කියැවීමකට එළැඹීමය.
පැරණි සමාජ තුළ ස්ත්‍රියට සිදුවූ කෙනෙහිලිකම් ගැන කතා අතිශය බහුලය. ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ අඩුවැඩි වශයෙන් මේ තත්ත්වය දක්නට ඇත. ඒ පිළිබඳ සාධාරණ තර්ක මෙන්ම අසාධාරණ තර්කද අසන්නට ලැබේ. ස්ත්‍රියට සිදුවූ බව කියන මෙකී වෙනස්කම්, ඒ පිළිබඳ නිර්ණායක හා ඊට බලපෑ හේතු විග්‍රහ කරගැනීම ගැඹුරු සාකච්ඡාවකි. කෙටියෙන් කිවතොත් ස්වභාවයෙන්ම ස්ත්‍රිය හා පුරුෂයා අතර පවතින වෙනස්කම් මත විවිධ සමාජ දේශපාලන ආගමික බලාධිකාරීන්ගේ වුවමනා ක්‍රියාවේ යෙදවීමෙන් මේ තත්ත්වය නිර්මාණය වූයේ යැයි කීම නිවැරදිය.

බටහිර ලෝකය තුළ ස්ත්‍රීවාදී අදහස් මතු වූයේ කුමන සමාජ පසුබිමක් තුළද යන්න වටහා ගැනීම මෙහිදී ඉතා වැදගත්ය. අද ලෝකයට මානව හිමිකම්, කාන්තා අයිතීන් ගැන උගන්වන්නට යන බටහිර ලෝකය මෑතක් වන තුරුම ස්ත්‍රී හිංසනයේ තෝතැන්නක් වී තිබූ බව කිවතොත් බොහෝ දෙනා එය විශ්වාස නොකරනු ඇත. එහෙත් එය සත්‍යයක් බව බටහිර ස්ත්‍රීවාදී චින්තකයන්ගේ ලේඛන තුළින්ම මනාව පැහැදිලි වෙයි.
19 වැනි සියවස වන විට යුරෝපයේ මෙන්ම ඇමරිකාවේද පන්ති භේදයකින් තොරව කාන්තාව වහලියක සේ සැලකිණි. ජෝන් රස්කින්, ආතර් ෂෝපන්හුවර්, නීට්ෂේ වැනි චින්තකයන් දාර්ශනික ලෙස ඒ වහල්කම් සාධාරණීකරණය කළ අවස්ථා අපට හමුවේ. ජර්මනිය කේන්ද්‍ර කරගනිමින් ඉස්මතු වූ හිට්ලර්ගේ නාසිවාදය ස්ත්‍රී විරෝධී අදහස්වල තෝතැන්නක්ව පැවතියේ ගල් යුගයේ නොව 1940 ගණන්වල තරම් මෑතකදී බව අප අමතක කළ යුතු නැත.
මීට එරෙහිව කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අය අතර ජෝන් ස්ටුවට් මිල්, ජෙරම් බෙන්තම්, හෙන්රික් ඉබ්සන්, ෆෙඩ්රික් එංගල්ස් වැනි පුරුෂයන් මෙන්ම, ඇබ්ගේල් ඇඩම්ස්, එමලින් ෆ්‍රැන්ක්හර්ට්, මේරි බෝල්ස්ටන් කාන්ට්, සර්ජනර් ටෲත්, ලුසී ස්ටෝන්, කේට් මිලට්, සිමොන් ද බෝවා වැනි කාන්තාවන්ද රාශියකි. ඔවුන්ගේ දායකත්වයෙන් ස්ත්‍රීවාදය ලෝකයට දායාද වූයේ හුදු අදහස්වලට සීමා නොවූ උද්වේගකර අරගල, සටන් ක්‍රියාමාර්ග රාශියක්ද සමගිනි.
ඔවුන්ගේ මැදිහත්වීම හුදු විලාසිතාවක් පමණක් නොවීය. ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ ඉතා සාධාරණ හා ප්‍රගතිශීලී ඉල්ලීම් රැසක් ඒ තුළ දක්නට ලැබිණි. අධ්‍යාපනය ලැබීමේ අයිතිය, වෘත්තියක නියැලීමේ අයිතිය, දේපල හිමිකාරීත්වයේ අයිතිය, ඡන්ද අයිතිය, දික්කසාදය ඉල්ලා සිටීමේ අයිතිය, උපත් පාලන අයිතිය, ප්‍රසූත නිවාඩු ලබාගැනීමේ අයිතිය, වහල් බවින් හා ගෘහස්ථ හිංසනයෙන් නිදහස් වීමේ අයිතිය, ආදිය ඒ අතරින් කීපයකි. බටහිර සමාජය මේ අයිතීන් බොහොමයක් දිනාගනු ලැබූයේ ඉතා මෑත කාලයේදී බවද අප අමතක කළ යුතු නැත. එහෙත් ඒ අරගලයන්ගේ බලපෑම හුදු බටහිර සමාජයට පමණක් නොව, සමස්ත ලෝකය තුළම ස්ත්‍රියගේ නිදහස පිළිබඳ ප්‍රගතිශීලී වෙනසක් ඇති කිරීමට සමත් වී තිබේ. අද බොහෝ රටවල ආගමික, සංස්කෘතික හෝ ආර්ථික සීමා බන්ධනවලින් මිදී කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම, ඉහළ මට්ටමේ වෘත්තීන්වල නියැලීම ආදී පැරණි සමාජවල නොපැවති ඇතැම් අයිතිවාසිකම් දිනාගැනීමට හැකිවී ඇත්තේ මේ නිසාය. මේ අනුව ස්ත්‍රීවාදය වනාහී එය බිහිවූ සමාජ පසුබිම තුළ ප්‍රගතිශීලී මෙහෙයක් ඉටු කළ දේශපාලන ප්‍රවණතාවක් වන අතර, එය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුත්තක් නොවේ.
එහෙත් ඕනෑම දේශපාලන ප්‍රවණතාවක මෙන් ස්ත්‍රීවාදයේද ගැටලු සීමාකම් රාශියක් තිබේ. එහි ඇති ප්‍රබලතම න්‍යායික අර්බුදය වන්නේ එය ඉතා යාන්ත්‍රික ලෙස පුරුෂයා හා ස්ත්‍රිය අතර පවතින ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වෙනස්කම් සියල්ල නොතකා හරිමින් හෝ ඒ සියල්ල අධිපතිවාදී සමාජ ගොඩනැංවීම් ලෙස සලකමින් ගැහැනිය හා පිරිමියා සකලාකාරයෙන් එක සමාන දෙදෙනෙකු ලෙස සලකන්නට යාමය. එහෙත් ජීව විද්‍යාත්මකව ගැහැනිය හා පිරිමියා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වී ඇත්තේම වෙනස්කම් රාශියක් සහිතව බව අද බොහෝ බටහිර විද්වතුන් පවා මැනවින් පෙන්වා දී තිබෙන්නකි. මේ අනුව ගැහැනිය හා පිරිමියා අතර ඇති සියලු වෙනස්කම් අධිපති සමාජ දේශපාලන ගොඩනැංවීම් ලෙස සැලකීම හෝ සියලු වෙනස්කම් ජීව විද්‍යාවට ඌනනය කිරීම වෙනුවට අද ලෝකයේ පිළිවෙත වනුයේ මේ සියලු ප්‍රවේශයන් ඔස්සේ ප්‍රශ්නය වඩා පුළුල්ව කියවා ගැනීමය.


එහෙත් එවැනි ප්‍රවේශයකින් තොර අගතිගාමී ස්ත්‍රීවාදී ඉල්ලීම් අද බටහිර ලෝකය තුළ පවා නොයෙක් සමාජ ගැටලු ඇතිකිරීමට හේතු වී ඇති බව ප්‍රකට කරුණකි. එසේම අද ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ එය සංස්කෘතික විරෝධී දේශපාලන මෙවලමක් ලෙසද භාවිත වන බවද අප අමතක නොකළ යුත්තකි. පවුල් සංස්ථාවේ සුරක්ෂිත බව, කාන්තාව හා මාතෘත්වය පිළිබඳ පෙරදිග ලෝකයේ පවතින සංකල්ප අභියෝගයට ලක් කිරීම, දේශීය සංස්කෘතිය හෙළා දැකීම, අවිචාරවත් ලිංගික නිදහස ආදිය ඔසවා තැබීම ආදී වුවමනා වෙනුවෙන් ලංකාවේ රැඩිකල් කල්ලි ස්ත්‍රීවාදය ආයුධයක් ලෙස භාවිත කරති. ඒ අනුව එය නව යටත්විජිතවාදයේ දේශපාලන වුවමනා සමග බැඳී පවතින ක්‍රියාවලියක්ද වෙයි. එහෙත් අප එයට මතවාදීව අභියෝග කළ යුත්තේ ස්ත්‍රීවාදය හා එහි ප්‍රගතිශීලි භූමිකාව පිළිබඳ නිවැරදි අවබෝධයක් සහිතව මිස, ස්ත්‍රීවාදය යනු කොන්දේසි රහිතව කුණු කූඩයට වීසි කළ යුතු කුනුපයක් ලෙස සලකමින් නොවේ.
මෙහි සඳහන් කළේ බටහිර ලෝකයේ පැවති සමාජ පසුබිම තුළ ස්ත්‍රීවාදය බිහිවූ ආකාරය පිළිබඳ වන අතර, පෙරදිග ලෝකය ස්ත්‍රිය දෙස බැලූ ආකාරය පිළිබඳ ඊට වෙනස් ආකාරයෙන් සංවාදයට ගත හැකි කාරණාද තිබේ. ශ්‍රී ලංකාවේ අපි ගෙදර බුදුන් අම්මා යැයි කියමින් ස්ත්‍රියට සමාජයේ ඉහළ ගරුත්වයක් ලබා දුන්නෙමු. ලෝකයේ පළමු අගමැතිනිය ලංකාවෙන් බිහිකිරීමට අපට හැකි වූයේ අහම්බයකින් නොවන බවද අප මෙහිදී අමතක කළ යුතු නැත. එහෙත් එහි අදහස බටහිර සම්පූර්ණයෙන්ම නරක හෝ පෙරදිග සම්පූර්ණයෙන්ම හොඳ බව නොවේ. අතීතයේ පැවති හෝ අනාගතයේ පවතින පරමාදර්ශී සංස්කෘතීන් හෝ පරමාදර්ශී මොඩල වෙනුවට ලෝකය ඉදිරියට යනුයේ ප්‍රශ්න විසඳුම් හා නැවත මතු වන ප්‍රශ්න ආදිය ඔස්සේ බව තේරුම් ගැනීම මෙහිදී ඉතා වැදගත්ය.
ඉසුරු ප්‍රසංග

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top