දින හතේ ඉංග්‍රීසි ගුරුවරු සහ ලංකාවේ ඉංග්‍රීසි දැනුම

ශ්‍රී ලංකාව යනු පුදුම සහගත ක්‍රමවලට ක්ෂණිකව ඉංග්‍රීසි දැනුම ලබාදෙන බව කියමින් මුදල් උපයා ගන්නා මැජික් ඉංග්‍රීසි ගුරුවරුන් දසදහස් ගණනක් වෙසෙන රටකි. දින හතකින් ඉංග්‍රීසි උගන්වන අය, අකුරක් නොලියා ඉංග්‍රීසි කතා කරවන අය, කතා කරන්නට බැරි වූ විට පොළියත් සමඟ මුදල් ආපසු දෙන අය ආදී වශයෙන් මේ මැජික් ගුරුවරු විවිධාකාරය. මෙවැනි මැජික් ගුරුවරු රට පුරා දසදහස් ගණනක් සිටියද ලංකාව වනාහී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඉංග්‍රීසි පිළිබඳ ප්‍රවීණතාව පහළම මට්ටමේ පවතින රටකි.

මේ ශ්‍රේණිගත කිරීම් පරම සත්‍යය නොවන විවාදාත්මක දේ විය හැකි වුවද ඒවායින් අපේ දැනුම් මට්ටම පිළිබඳ දළ අදහසක් හෝ ලබා ගත හැකිය යන කාරණයද බැහැර කළ හැක්කක් නොවේ. මෙහි දක්වා ඇත්තේ World economic forum ආයතනය ඉංග්‍රීසි ප්‍රවීණතාව පිළිබඳ සකසා ඇති දර්ශකවලින් උපුටා ගත් කරුණු කීපයකි.

මේ දර්ශකය අනුව දෙවැනි භාෂාවක් ලෙස ලෝකයේ ඉහළම ඉංග්‍රීසි ප්‍රවීණතාවක් පෙන්වන රටවල් 10 වන්නේ පිළිවෙළින් නෙදර්ලන්තය, ඩෙන්මාක්, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, සිංගප්පූරුව, ලක්සම්බර්ග්, ඔස්ටි්‍රයා, ජර්මනිය, පෝලන්තය යන රටවල්ය.

මීට අමතරව ඉහළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවක් පෙන්වන අනෙක් බොහෝ රටවල්ද යුරෝපා රටවල් වේ.

මේ වර්ගීකරණය තුළ ලංකාව හඳුන්වා ඇත්තේ ආසියාතික රටවල් අතරින්ද ඉංග්‍රීසි දැනුම Very low හෙවත් පහළම මට්ටමේ පවතින රටක් ලෙසය.
මේ ශ්‍රේණිගත කිරීම් පිළිබඳ වාද විවාද පැවතිය හැකි වුවද මෙය අපගේ අවධානයට නතු විය යුතු කාරණයකි.

 

ලංකාවේ පාසල්වල පහළ ශ්‍රේණිවල සිට ඉංග්‍රීසි ඉගැන්වූවද පාසල් අධ්‍යාපනය තුළින් බහුතර සිසුන්ට ඉංග්‍රීසි පිළිබඳ මූලික අවබෝධයවත් නොලැබෙන බව අප කවුරුත් දන්නා ප්‍රකට කරුණකි.

ලංකාව තුළ දින හතේ ඉංග්‍රීසි දෙවිවරු බහුල වීමට එක් හේතුවක් වී ඇත්තේද වසර දහයකට වැඩි දීර්ඝ පාසල් අධ්‍යාපනය කාලය තුළ විධිමත් ඉංග්‍රීසි දැනුමක් නොලැබීමය.

භාෂාවක් යනු විධිමත්ව සාධාරණ කාලයක් වැය කරමින්, කෙමෙන් කෙමෙන් මනසට උකහා ගත යුත්තක් මිස දින හතේ, කොටු හතේ මැජික් ක්‍රමවලින් උගත හැකි දෙයක් නොවේ.

චීන, රුසියන් වැනි භාෂාවකින් උසස් අධ්‍යාපනය ලැබීමට එවැනි රටකට යන විදේශීය සිසුන් අඩුම තරමේ වසරක කාලයක්වත් පූර්ණකාලීනව අදාළ භාෂාව උගත යුතුය.

එසේ නම් මේ ප්‍රශ්නයට විසඳුම වන්නේ පාසල් අධ්‍යාපනය ලබන වසර දහයකට වැඩි දිගු කාලය නිසි ප්‍රයෝජනයට ගනිමින් විධිමත් ඉංග්‍රීසි දැනුමක් ලබාදීමට කටයුතු කිරීමය.

එහෙත් අපේ උගතුන් ඇතුළු බොහෝ දෙනා මේ ප්‍රශ්නයට වැරදි විසඳුමක් යෝජනා කරන අතර, බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ ප්‍රාථමික ශ්‍රේණිවල සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම මේ ගැටලුවට විසඳුම බවය.

එහෙත් ඉහත දක්වන ලද ලෝකයේ ඉහළම ඉංග්‍රීසි ප්‍රවීණතාවක් පෙන්වන රටවල් 10 අතරින් සිංගප්පූරුව හැර අනෙක් සෑම රටකම ප්‍රාථමික අධ්‍යාපනය පමණක් නොව උසස් අධ්‍යාපනය පවා බොහෝ දුරට ලබාදෙන්නේ ඔවුන්ගේ මව් භාෂාවන්වලිනි.

ඒ අනුව යුරෝපා රටවල් ඉංග්‍රීසි දැනුම අතින් ඉහළම ප්‍රවීණතාව අත්කොට ගෙන ඇත්තේ දෙවැනි භාෂාවක් ලෙස හරියාකාරව ඉංග්‍රීසි ඉගැන්වීමෙන් මිස ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමෙන් නොවේ.

අපට අපේ සැබෑ අඩුව තේරුම් ගැනීමට ඉවහල් වන මේ කාරණය සියලු අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට ලක් විය යුත්තකි.

මෙය තේරුම් නොගෙන ඇත්ත ප්‍රශ්නයකට වැරදි විසඳුම් යෝජනා කිරීමෙන් සිදුවිය හැක්කේ ප්‍රශ්නය විසඳිම වෙනුවට ප්‍රශ්නය තව තවත් අවුල් ජාලාවක් බවට වීමය.

  • ඉසුරු ප්‍රසංග

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top