- ඉරානය යනු 2015 වසරේදී ලෝකයේ ජනගහනයට සාපේක්ෂව වැඩිම ඉන්ජිනේරු උපාධිධාරීන් බිහි කරන රට වන අතර ඒ වසරේදී එරට බිහි වූ ඉන්ජිනේරුවන් සංඛ්‍යාව 233695කි. සංඛ්‍යාත්මකව මෙහි ඉහළම තැන රුසියාවට හිමි වුවද ජනගහනය සාපේක්ෂව එහි ඉහළම තැන ඉරානයට හිමිවේ.
- ඉරානය වනාහී ලෝකයේ කාර් නිෂ්පාදනය අතින් විසි වන ස්ථානය හිමි රටවන අතර, ඔවුහු වසරකට කාර් මිලියන එකහමාරක් පමණ නිපදවති. එරට දළ ජාතික ආදායමෙන් සීයට දහයක පමණ කොටසක් හිමිවන්නේ කාර් නිෂ්පාදනය මඟිනි.
- 2022 දී ලෝකයේ නැනෝ තාක්ෂණයට අදාළව වැඩියෙන්ම පර්යේෂණ පත්‍රිකා පළ කර ඇති රටවල් අතර හතර වැනි ස්ථානය හිමිකර ගත්තේ ඉරානය විසිනි. චීනය, ඇමරිකාව, ඉන්දියාවට පිළිවෙළින් මෙහි පළමු ස්ථාන හිමි වූ අතර 2022 දී ඉරානය මේ විෂයට අදාළව නිකුත් කළ පත්‍රිකා සංඛ්‍යාව 11473කි.
- මේ වන විට ලෝකයේ විවිධ රටවල අභ්‍යාවකාශ පර්යේෂණ ආයතන 70කට වැඩි ගණනක් තිබුණද 2022 වන විට ඒ අතරින් සාර්ථක මෙහෙයුම් දියත් කළ රටවල් පැවතියේ 16 පමණි. ඉරානය ඒ අතරින් එකක් වන අතර, 2005දී ඉරානය තම පළමු කෘත්‍රිම චන්ද්‍රිකාව වූ Sina – 1 ගුවන් ගත කිරීමට සමත් විය.
- ඉරානය කාලයක් තිස්සේ කෘත්‍රිම හදවතක් ගැන සාර්ථක පර්යේෂණ පවත්වමින් සිටින අතර, 2018 දී එරට ෆාරිෆ් විශ්වවිද්‍යාලය කෘත්‍රිම සමක්ද නිර්මාණය කළේය. ඒ දියවැඩියා ආදී රෝගවලින් ඇතිවන තුවාල සනීප කිරීමේ මෙවලමක් වශයෙනි.
- ඉරානය වනාහී අඩු මිලට සිදුකෙරෙන සාර්ථක ප්ලාස්ටික් සැත්කම් සඳහාද බෙහෙවින් ප්‍රසිද්ධ රටකි. යුරෝපයේ සිට පවා බොහෝ දෙනා ප්ලාස්ටික් සැත්කම් සඳහා ඉරානයට පැමිණෙන්නේ මේ නිසාය.
- එමෙන්ම ලෝකයේ ඉහළම ඩ්‍රෝන තාක්ෂණය සහිත රටක් වන ඉරානය තමන්ටම අදාළ වෙබ් බ්‍රව්සර්, ඇන්ඩොයිඩ් වැනි ඇප් ආදියද නිපදවා තිබේ.
- ග්ලෝබල් ෆයර් පවර් නම් ශ්‍රේණිගත කිරීම අනුව 2024 වසරේ යුද ශක්තිය අතින් ඉරානය ලෝකයේ 14 වැනි ස්ථානය හිමි රට වූ අතර, ඊශ්‍රායලයට හිමි වූයේ එහි 17 වැනි ස්ථානයයි.
- ඉරානය ඉස්ලාම් රටක් වුවද එරට විද්‍යා තාක්ෂණික විෂයන්ට අදාළ උපාධිධාරීන්ගෙන් සීයට හැත්තෑවක්ම කාන්තාවන් වීමද විශේෂ කරුණකි.
- විද්‍යාවේ දියුණුවට අමතරව ඉරානය වනාහී එකී දියුණුවේ ප්‍රතිලාභ මහජනයා වෙත උරුම කර දුන් ආර්ථිකයක් සහ ඉහළ ජීවන තත්ත්වයක්ද සහිත රටකි.
- රාජ්‍ය ව්‍යවසායකත්වයට මුල් තැන දෙන ආර්ථිකයක් හා ඉහළ කාර්මීකරණයක් සහිත රටක් වන ඉරානය පෑනේ, පැන්සලේ, සබන් කැටයේ සිට ගුවන් යානා, යුධ ටැංකි, සබ්මැරීන් දක්වා බොහෝ දේ තම රට තුළම නිෂ්පාදනය කරයි.
- දියුණු අධ්‍යාපන ක්‍රමයක් හා සෞඛ්‍ය සේවයක් සහිත ඉරානය ඒ සේවා දෙකම නොමිලේ ලබාදීම සිදු කෙරේ. ඉරානයේ මානව සංවර්ධන දර්ශක අගය 0.8 ට ආසන්නව පවත්වාගත හැකි වී ඇත්තේ මේ නිසාය. අද වන විට විදේශ රටවල සිසුහුද විශාල වශයෙන් ඉරාන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබති.
- අනෙක් විශේෂම කාරණය වන්නේ ඉරානය මේ සියලු ජයග්‍රහණ අත් කරගෙන ඇත්තේ බටහිර රටවලින් පැනවූ සම්බාධක ඇතුළු දහසකුත් එකක් බාධා, ප්‍රහාරයන් මැද වීමය.
- එහෙත් ඉරානය පිළිබඳ ලංකාවේ බොහෝ දෙනා තුළ ඇත්තේ බටහිර මාධ්‍ය විසින් අපට නිතර කියන ඒකාධිපති ආගමික මුලධර්මවාදී රටක් පිළිබඳ කතාවමය. ඒ නිසා ලංකාවේ මිතුරෙකුද වන ඉරානයේ විද්‍යාව, තාක්ෂණය, ආර්ථික දියුණුව හෝ සමාජ සුබසාධනය ගැන ලංකාවේ බොහෝ දෙනා කතා නොකරති.
- ඉරානය වනාහී සැලකිය යුතු ආගමික නැඹුරුවක් සහිත රටක් වන බව සැබෑය. එරට මූල්‍ය පද්ධතිය පවා පාලනය ඉස්ලාම් නීති අනුව පාලනය කෙරෙන අතර, එරට කාන්තාවන්ට හිජාබය පැලඳීමද නීතියෙන් අනිවාර්ය කර තිබේ. එමෙන්ම ඉරානයේ ඇල්කොහොල් භාවිතයද සපුරා සම්පූර්ණ තහනම් දෙයකි.

- ඉරානය කරන ඒ සියලු දේවල් නිවැරදි යැයි කීම හෝ ඉරානය පරමාදර්ශී රටක් ලෙස හුවාදැක්වීම අපේ අභිලාෂය නොවේ. එහෙත් අප මෙතැනදී වටහාගත යුතු වැදගත් කාරණා කීපයක් තිබේ.
- එකක් නම් බටහිර ලෝකය තම පස මිතුරු රටවල් පිළිබඳ සිය මාධ්‍ය ඔස්සේ ගොඩනඟන පින්තූරය කොතෙක් විකෘති එකක්දැයි වටහා ගැනීමට ඉරානය කදිම නිදසුනකි.
- අනෙක අතින් රටක බරපතළ ආගමික නැඹුරුව සහ ඒ රටේ ආර්ථික විද්‍යාත්මක ජයග්‍රහණ අතර අප හිතන ආකාරයේ සරල සම්බන්ධයක් නැති බව වටහාගැනීමටද ඉරානය අපට අනුබල දෙයි. ඒ කාරණය ලංකාවේ අපට වැදගත් වන්නේ පන්සල් යාම නිසා විද්‍යාවේ දියුණුව නැවතී රට බංකොලොත් වනවා යැයි සිතා සිටින, සැබෑ ලෝකය ගැන හසරක් නොදන්නා පණ්ඩිතයන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ජීවත් වන නිසාය.
- අනෙක් අතට රටක දියුණුව යනු තමන්ට අනන්‍ය ක්‍රමවේද ඔස්සේ අත්කරගත යුත්තක් මිස බටහිර නූතනත්වය ගෙඩි පිටින් වැලඳගැනීම නොවන බව අවබෝධ කරගැනීමටද ඉරානයේ අත්දැකීම අපට වැදගත්ය. ඒ සියල්ලට අමතරව යල් පැන ගිය ඒක ධ්‍රැවීය ලෝකය වෙනුවෙට නූතන බහුධ්‍රැවීය ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීම සඳහාද ඉරානය අපට වැදගත් වන උදාහරණයකි.
- ඉසුරු ප්‍රසංග



