උඩකැන්දවල හිමියන්ට ධර්මපාලතුමා මුණගැසුණු හැටි

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ පූජ්ය උඩකැන්දවල සිරි සරණංකර හිමිපාණන්ය.

උන්වහන්සේ ලියූ ස්වයං – චරිතාපදානය “ සටනක සටහන් ” ලෙසින් පළ වී තිබේ. උන්වහන්සේ මුල් ම වතාවට ශ්රීමත් අනගාරික ධර්මපාලතුමන් මුණ ගැසුණු ආකාරය එම කෘතියේ සටහන් කර ඇත්තේ මෙලෙසිනි.

1921 දී දිනෙක මම ප්රවෘත්ති පත්රයක ශ්රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් ලියන ලද ලිපියක් දැක කියෙව්වෙමි. දඹදිව ධර්ම ප්රචාරය සඳහා කුඩා ස්වාමින් වහන්සේලා දස නමක් අවශ්ය බවත් ඒ දස නමට පළමුව පස් අවුරුදු අධ්යාපනයක් ශාන්ති නිකේතන විද්යාලය මඟින් දෙන බවත් එහි සඳහන් ව තිබිණි. මේ ලිපිය මගේ හිත තදින් ඇද ගත්තේ ය. මම කලක් ඉන්දියාවට ගොස් ඉගෙනීම ගැනද සිහින දුටුවෙමි. එහෙත් ඒ බොරු සිහිනයක් මිස සැබෑ සිහිනයක් නම් වෙතැයි මා කිසි විටෙක සිතුවේ නැත.

ධර්මපාලතුමාගේ ලිපිය දුටු විගස එ දින රාත්රි රහසිගත ව ලිපියක් ලියා ධර්මපාලතුමාට තැපැල් කොට යැවීමි. දින කීපයකින් පිළිතුරක් ලැබිණ. එය ඉතා කෙටි ලිපියකි. එහි සඳහන් වූයේ තමා පදිංචි ව සිටින කොල්ලුපිටියේ ඇලෝ ඇනියු නිවෙසට පැමිණ මුණ ගැසෙන ලෙසටය. ලියුම ලැබුණ දින කීපයකින්ම මම කොල්ලුපිටියට ගියෙමි. මින් පෙර කිසි ම දිනෙක කොල්ලුපිටියට ගොස් නැතත්, දුම්රියෙන් කොල්ලුපිටියට ගොස් රිෂෝ රථයකින් මම ධර්මපාලතුමාගේ නිවසට ගියෙමි.

එතුමා මට වාඩිවීමට දී තොරතුරු විමසන විට එතුමා ගෙන් ලැබුණු ලිපිය ඉදිරිපත් කෙළෙමි. ලියමන බලා සිනාවක් පළ කළ ධර්මපාලතුමා ” සිංහල ජාතියේ අර ලොකු ලිපි ලියන පුංචි හාමුදුරුවෝ ඔබ වහන්සේ දැ යි ඇසී ය. මම නිහඬ ව බිම බලා ගතිමි. ඊට පසු ” ඒවා ඔබ නමින් ලියා දෙන්නේ කවරෙක් දැයි ඇසී ය. ” ඒවා ලියන්නේ කවුරුවත් නෙවෙයි, මම මයි ලියන්නේ ” යි මම උත්තර දුන්නෙමි.

ඊට පසු මගේ වයස, ගම රට, පන්සල, ගුරුවරුන් ආදී විස්තර රාශියක් විමසා, ” හොඳයි තමුන්නාන්සේ දඹදිව එක්ක යන්න පුළුවනි. නමුත් තව අවුරුදු කීපයකට පසුවයි. ඔබවහන්සේගේ වයස අඩුයි. ඒ නිසා තව අවුරුදු කීපයකට පස්සේ සූදානම් වෙන්න ” යැයි කී ය. මේ කතාවෙන් පසු මා තුළ හටගත් කණගාටුව නොකිව හැකි තරම් ය. මට ඉවසුම් නැති විය. මට තව දුරටත් කතා කරන්නට සිතිණ.

එහෙත් ඉතා සිත් ගන්නා කසාවතකින් සැරැසී බද්ධ පර්යංකයෙන් හිඳින, සෘජු කයකින් යුක්තධර්මපාලතුමා සමඟ තවත් කතා කිරීමට තරම් මට චිත්ත ධෛර්යයක් නැති විය. එතුමාගේ ශරීරය අලුතින් නිමවා ලූ ප්රතිමාවක් සේ චිත්තාකර්ෂණීය ය. සකල ශරීරය වාත්තු කළා මෙනි. එතුමා යළිත් මගෙන් ධම්ම පදයෙන් ගාථා කීපයක් හා ලංකා ඉතිහාසයෙන් ප්රශ්න කීපයක් විමැසී ය. සමහර ඒවාට මම නිවැරැදි පිළිතුරු දුන්නෙමි.

ඊට පසු මා එකලාව දුම්රියෙන් පැමිණි බැව් අසා මුදල් කොයින් දැයි ඇසී ය. මා මුදල් ළඟ තබාගෙන සිටින බැව් අසා මට දොස් කීවේය. හැම හාමුදුරු නමක්ම මුදල් පරිහරණය කරන බව මම කීවෙමි. ඊට උත්තර වශයෙන් භික්ෂූන්ට බැණ වැදුණු ධර්මපාලතුමා ” දැන් භික්ෂූන් රටට ජාතියට කිසි දු වැඩක් නැති, මුදල් සෙවීම එකම ව්යාපාරය කොට ගත් පිරිසකැයි කීය.

මම නිහඬ ව එතුමාගේ දේශනයට සවන් දීගෙන සිටියෙමි. තම වැඩ කටයුතු ආදිය ගැන කිසිත් නො බලා එතුමා මට විනාඩි හතළිස් පහක් පමණ නා නා අදහස් ඉදිරිපත් කරමින් කතා කෙළේ ය. මෙසේ කතා කැරැගෙන යන අතර එක්තරා මහලු ස්ත‍්‍රියක් පැමිණ දන් වේලාව ළංවුණු බව කියා මා ගෙය ඇතුළට කැඳෙව්වාය. මම ධර්මපාලතුමා දෙස බැලීමි. එතුමා මට දන් වළඳන්නට යන ලෙස කී ය.

මහළු ස්ත‍්‍රිය ආදරණීය මවක මෙන් මට දන් වැළඳවූවා ය. ඇගේ කරුණාබර ගති පැවැත්ම ගැන මම පුදුම වීමි. දන් වළඳන අතර ම ” ඔබ වහන්සේ පැමිණියේ කුමකට දැයි ඕ තොමෝ ප්රශ්න කළාය. මම සපුරා විස්තරය කීවෙමි. ඕ සිනාසී ‘ තමුන්නාන්සේ දඹදිව යාමට ඔය තරම් කැමැත්තක් පාන්නේ මන්දැයි ප්‍රශ්න කළා ය. මෑ ගෙදර වගකිව යුතු තැනැත්තියකැයි සිතූ මම ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙළ කැරැ දෙන ලෙස ඇයට මතක් කෙළෙමි. එයට කිසිදු පිළිතුරක් නුදුන් ඒ තැනැත්තිය තවත් මොනවා දෝ කෑමට මට ළං කළා ය.

ඒ අතර ඇය ධර්මපාලතුමාගේ නෑයෙක් දැයි මම විමැසීමි. ” ඔව්. මම එතුමාගේ ළඟම නෑයෙක්. මම තමයි එතුමාගේ මවු ” යැයි ඈ කීවේ දයාබර දරු සෙනෙහස මුහුණින් පළ කරමිනි. මල්ලිකා හේවාවිතාරණ උපාසිකාව ගැන අසා සිටි මම ඇය හඳුනා ගන්නට ලැබීම නිසා බෙහෙවින් සතුටට පැමිණියෙමි. ඇගේ සරල පැවැත්ම, කාරුණික ගතිය දැක එවැනි උතුම් කාන්තාවක හඳුනා ගැනීමට ලැබීමේ ප්‍රීතිය මට ඇති විය.

ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙල කැරැ දෙන මෙන් මම නැවතත් ඇයගෙන් ඉල්ලා සිටියෙමි. මෙහි දී මවක සිය පුතු කෙරෙහි සෙනෙහස පාන්නා සේ ඉතා ආදරයෙන් මගේ අත අල්ලා ගෙනම ධර්මපාලතුමා වෙත ගොස්, ” මේ පුංචි හාමුදුරුවොත් දඹදිව එක්ක යන්නැයි ඉල්ලා සිටියා ය. ” ඔව්. අම්මා කියනවා නම් පොඩි උන්නාන්සේ එක්ක යන්න බැරුව යැ ” සිය මවගේ කීමට පිළිතුරු දුන් ධර්මපාලතුමා කීවේය.

ධර්මපාලතුමාගේ මාතෘ ප්රේමය දැක මම පුදුම වීමි. කිසි ම හරස් කතාවක් නො කොට මවගේ කතාව එක් වරම පිළිගැනීමෙන් පෙනී යන්නේ එතුමාගේ අචල මාතෘ භක්තිය හැර අනෙක් කුමක්ද?

ඊට පසු ධර්මපාල මාතාව මා එහි වාඩි කරවා ආපසු ගෙට ගොස් බුලත් වට්ටියකුත් අතේ ඇති ව පැමිණියා ය. ඒ දුටු ධර්මපාලතුමාගේ මුහුණ නරක් විය. ඔහු එකක් වර ම, ” ඔන්න අම්මාගේ සර්දාව. ඉතින් හාමුදුරුවරු හැදෙන්නේ කොහොම ද? මේ පුංචි හාමුදුරුවන්ටත් බුලත් වට්ටියක්. ඕක පුරුදු වුණාම හප හපා පඩික්කම් පුරවනවා. බුදියනවා විතරයි හාමුදුරුවරු කරන්නේ. ඒ නිසා හැදෙන හාමුදුරුවරුන්ට බුලත් දෙන්න එපා” යැ යි අම්මාට අවවාද කළේය.

මම ඊට පෙරත්, ගෙදර සිටි ළමා කාලයේ දීත් බුලත් කෑමටවත්, දුම් බීමටවත් පුරුද්දක් ඇති ව නො සිටියෙමි. මගේ පියා සුරා පානය කළත් මට බුලත් විටක්වත් නො කන ලෙස අවවාද කෙළේ ය. පැවිදි වීමෙන් පසු භික්ෂූන් ආශ්රයෙන් ඒ පුරුදු මට තරමක් දුරට පුරුදු විය හැකි ව පැවැති නමුත් ධර්මපාලතුමාගේ ආශ්රය ලැබීම නිසා බුලත් කෑමට හෝ දුම්බීමට මා පුරුදු වූයේ නැත.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top