මලලසේකර ඩික්ෂනරිය සහ ගුණපාල නම් ගොන් තඩියා

දිනක් පානදුර රන්කොත් විහාරයේ අමද්‍යප සංගමයේ රැස්වීමකට ගොස් සිටි අනගාරික ධර්මපාලතුමා එහි සිටි තරුණයෙකුගෙන් උඹේ නම මොකක් ද ඇසීය.

ජෝර්ජ් පීරිස්… තරුණයා පිළිතුරු දුන්නේය.

ගොන් තඩියා, අද ඉදන් උඹ ගුණපාල

මේ කියන්නේ පානදුර මාල මුල්ලෙහි මලලගේ සියදෝරිස් පීරිස් මලලසේකර සෙනෙවිරත්න වෙද මුහන්දිරම් රාළහාමිට දාව දෝන සෙලෙස්තිනා කුරුප්පු ජයවර්ධන මැතිනියට උපන් ජෝර්ජ් පීරිස් හෙවත් ගුණපාල මලලසේකර ගැනය. එතුමාගේ උපත සිදුවූයේ 1899 නොවැම්බර් 8 වැනිදාය. බොහෝ දෙනා මලලසේකර ගැන දැන ගත්තේ මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය නිසාය. එහෙත් එතුමන් ගැන දැන ගත යුතු තව දෑ අපමණය.

වෙද මුහන්දිරම් රාළහාමිගේ අභිමතය පරිදි හොදින් ඉගෙන ලංකා වෛද්‍ය විද්‍යාලයයට ඇතුළු වන මලලසේකර තරුණයාගේ වෛද්‍ය අධ්‍යාපනය කඩා කප්පල් වන්නේ පියාගේ අභාවය හේතුවෙනි. මේ ගැන දැන ගන්නා දම්පල්හු “උඹ වගේ සමත්කම් ඇති උන් ඉගෙනීම අත ඇරලා කොහොමදැ” යි අසා උපකාරද සලසා මලලසේකරයන් නැවත වැඩිදුර ඉගෙනුමට යොමු කළහ.

එවර ලන්ඩන් සරසවියේ ශාස්ත්‍ර වේදී උපාධිය සඳහා බාහිර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන හෙතෙම අවුරුදු 20 වන්නටත් පෙර, ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිත ව උපාධිය දිනා ගත්තේය. මේ විද්‍යාර්ථියා 26 හැවිරිදි වියෙහි දී “Pali literature in Ceylon” නම් සම්භාවනීය පර්යේෂණ නිබන්ධනය සකසමින් ලන්ඩන් සරසවියෙන් ම ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය.

ප්‍රථම උපාධියෙන් පසු ආනන්දයේ ගුරුවරයකු ලෙස සේවය කළ එතුමා, නාලන්දා විදුහල පිහිටුවීමෙහි දී එහි මුල්ම විදුහල්පතිවරයා ද වූයේය.

පසු කලෙක ලංකා යුනිවර්සිටි කොලීජියට සහ එහි අනුප්‍රාප්තික ලංකා විශ්ව විද්‍යාලයයට සිය සේවය දුන් එතුමෝ වටිනා ග්‍රන්ථ ගණනාවක් ශාස්ත්‍රීය ලෝකයට දායාද කළහ. බෞද්ධ විශ්ව කෝෂයේ ප්‍රධාන සංස්කාරකකම ද ඉසිලූහ. රිස් ඩේවිඩ් වැනි කීර්තිමත් විද්වතුන් සමග විවිධ අධ්‍යයන වල ද නියැලුනු එතුමා ලොව පුරා නොයෙක් ශාස්ත්‍රීය සමුළුවල ද අසුන් ගත්තේය.

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ තනතුරු දරමින් කීර්තිමත් මෙහෙයක් ඉටු කළ එතුමාගේ සංකල්පයකි, ලෝක බෞද්ධ සහයෝගිතාවය. එතුමා එහි ආරම්භක සභාපතිවරයා ද විය. අප රට සෝවියට් සමූහාණ්ඩුව සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගන් විගස, එහි මුල් ම ශ්‍රී ලාංකික තානාපතිවරයා ලෙස පත් වූවෝ ද මලලසේකර සූරීහුමය. එවක පෝලන්තය රුමේනියාව සහ වෙකොස්ලෝවැකියාව පිළිබඳ දූත මෙහෙවරද එතුමා යතෙහිම විය. පසුව කැනඩාවෙහි, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සහ බ්‍රිතාන්‍යයෙහි ද ශ්‍රී ලාංකික තානාපති නොහොත් මහ කොමසාරිස් පදවිය දැරූ එතුමා ඒ සෑම තැනක ම අප රට වෙනුවෙන් අනුස්මරණීය සේවයක් ඉටු කර පැමිණියේය.

ඉන් අනතුරුව එතුමා ජාතික උසස් අධ්‍යාපන කොමිසමේ, සභාපති තනතුර දැරීය. ලංකා කලා සංගමය, ගුවන් විදුලිය ප්‍රතිසංවිධානය කිරීමේ කමිටුව, සිංහල ශබ්ද කෝෂ සම්පාදක මණ්ඩලය, අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභාව, උසස් අධ්‍යාපනය සඳහා ස්වභාෂා කොමිසම, රාජ්‍ය භාෂා කොමිසම ආදී විවිධ ආයතනයන්හි ප්‍රමුඛ තනතුරු ද එතුමා ඉටු කළ සෙසු වගකීම් අතර වෙයි. නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ පසු පත් කරන ලද අධ්‍යාපන කමිටුවෙහි ද එතුමා සිටියේය. මේ සටහන කෙටි කරනු වස්, එතුමා වෙත පිරිනැමුනු අනෙකවිධ විදෙස් සම්මාන අපි මෙහි සඳහන් නොකරමු.

කලු සුද්දන්ගේ කෙළි බිමක් වූ යුනිර්වර් සිටි කොලීජිය සහ ලංකා විශ්ව විද්‍යාලයය තුළ මලලසේකරයෝ සිය අදින පෞරුෂය මැනවින් විදහා පෑහ. ඩී. එස් සේනානයක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉටු කර ගත නොහෙන ජාතිකාභිලාෂයන් උදෙසා වෙනත් බලවේගයක් ගොඩ නැගිය යුතු බව මුලින් ම වටහා ගත් නායකයන් අතර එතුමා ද විය. 56 පෙරැළිය පිටුපස පුළුල් භූමිකාවක් ඉටු කළ එතුමා කිසි දාක පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොසෙවීය. බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට ආරාධනා ලද්දේ අන්කවරකුත් නොව, මලලසේකර මහතාය. සිරිමාවෝ මැතිණිය ද පුද්ගලිකව ම ඉල්ලීම් කළත් එතුමා ඊට එකඟ නොවීය.

මහැදුරු මලලසේකරයෝ හැත්තෑ තුන් වසක් ආයු වළඳා 1973 අප්‍රියෙල් 23 වැනි දින අප ජාතිය හැර ගියහ. සංස්කෘතික හීනමානයෙන් නොපෙළුන ඔදවත් උගතකුද. ජාතියට මග පෙන්වූ නායකයකු ද වූ එතුමන්ගේ මතකය චිරාත් කාලයක් අප ජාතිය අතර පවතීවායි පතමු.

  • සුමුදු අධිකාරි

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top