ජේතවනාරාමය යනු අප කවුරුත් දන්නා බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවූ සිද්ධස්ථානයකි.
එහෙත් ජේතවනාරාමය යනු පැරණි කාලයට විශාලතම ඉදිකිරීම් අතර ලෝකයේ දෙවැනි ස්ථානය හිමි වන නිර්මාණය බව සහ විශාලත්වය අතින් එය දෙවැනි වන්නේ ඊජිප්තුවේ ගීසා පිරමිඩයට පමණක් බවත් ඒ බොහෝ දෙනා නොදනිති. මේ කෙටි සටහන ඒ ගැනය.
ජේතවනාරාමයේ උස මීටර් 122 හෙවත් අඩි 400කි. මෙය ඉදිකිරීම සඳහා ගඩොල් නවකෝටි තිස්තුන් ලක්ෂයක් (93300000) පමණ වැයවූ බව සඳහන් වේ.
ජේතවනාරාමේ ඉදිකර ඇත්තේ ක්‍රි.ව. 276 – 302 අතර කාලයේදී අනුරාධපුරයේ රජ කළ මහසෙන් රජු විසිනි. ඒ සා ඈත කාලයක එවැනි විශාල ඉදිකිරීම් කළ රටවල් ලෝකයේ ඇත්තේ අතලොස්සකි. ග්‍රීසිය, ඉරාකය, ඉන්දියාව, තුර්කිය, මෙක්සිකෝව, ගෝතමාලාව වැනි ඒ රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වේ.

20 වන සියවසට පෙර ඉදිවුණු ලෝකයේ විශාලතම ආකෘති 200ක පමණ ලැයිස්තුවක් විකිපීඩියා විශ්වකෝෂයේ දක්නට ලැබේ. ඒ අතරින් අති බහුතරය ක්‍රි.ව. 1000 න්වත් පසුව මෑත කාලයේදී ඉදි කළ නිර්මාණ වේ.
ක්‍රිස්තු පූර්ව ගණන්වල ඉදි කළ නිර්මාණ මේ ලැයිස්තුවේ ඇත්තේ 17ක් පමණක් වන අතර, ඒ අතරින් තුනක්ම ලංකාවේ නිර්මාණ වීම විශේෂ කරුණකි. ඒ මිරිසවැටිය (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය (ක්‍රි.පූ. 161-137) හා අභයගිරිය (ක්‍රි.පූ. 89-76) යන අසමසම නිර්මාණ ත්‍රිත්වයයි. මේවායේ උස පිළිවෙළින් අඩි 192ක්, අඩි 300ක් හා අඩි 245කි.
ජේතවනාරාමය ඉදිවනුයේ ක්‍රි.ව. 276න් පසු වන අතර, එය ඉහත කී චෛත්‍ය තුනටම වඩා විශාලය. එය පැරණි කාලයට අයත් ලෝකයේ විශාලතම ආකෘති අතර දෙවැනි ස්ථානය ගන්නා නිර්මාණය වන්නේ ඒ අනුවය.
ක්‍රිස්තු පූර්ව සියවස්වල සහ ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවස වැනි අතීත කාලයක අභයගිරිය, රුවන්වැලිසෑය, ජේතවනාරාමය වැනි විශාල නිර්මාණ බිහිකළ ශිෂ්ටාචාර ලෝකයේ ඇත්තේ අතලොස්සකි.
විශාලත්වයෙන් නොනැවතී අව්ව, වැස්ස, සුළඟ, කුණාටු ආදී සියල්ලට මුහුණ දෙමින් ගිලාබැසීම් හෝ කඩාවැටීම්වලින් තොරව වසර 2000ක පමණ කාලයක් තිස්සේ පවතින ආකාරයට මේවා නිර්මාණය කිරීමට අපේ මුතුන් මිත්නන් සමත් වී තිබේ.
වැදගත්ම කාරණය වන්නේ ජේතවනාරාමය විශාලත්වයෙන් පළමු එකද, දෙවැනි එකද යන්න නොව ඒසා අතීත කාලයක එවැනි විස්මිත නිර්මාණ බිහි කළ හැකි මට්ටමේ තාක්ෂණයක් අප සතුව තිබීමය. එවැනි තාක්ෂණයක් සහිත ශිෂ්ටාචාර අතලොස්ස අතර අපේ දිවයිනටද වැදගත් තැනක් හිමිව තිබීමය.
දැගැබ් වනාහී හුදු ආගමික සංකේත පමණක් නොව ඒවා අපේ පැරණි සිංහලයන්ගේ දැනුම පිළිබඳ ජීවමාන සාධක වන්නේ ඒ අර්ථයෙනි.
අද අප දුවා දරුවන් සමඟ මේ සිද්ධස්ථාන නැරඹීමට යා යුත්තේද හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස් මේවායේ ඓතිහාසික වැදගත්කම විද්‍යාත්මක කියැවීමක් සහිතව නොවේද?
- ඉසුරු ප්‍රසංග



