මේ ඡායාරූපයේ සිටින පිරිමියා කවුද?
ඔහු සනීපාරක්ෂක තුවායක් නිසා මහා ආන්දෝලනයකට ලක් වූ පුදුමාකාර පිරිමියෙකි.

නමින් අරුණාචලම් මුරුගානන්දන් නම් වූ ඔහු 1961 ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් ගම්මානයේ උපන්, පුංචි පුංචි රැකියාවලින් දිවි ගැට ගසා ගත් දුප්පතෙකි. මුරුගානන්දන් සිය ආදරණීය බිරිද ඇගේ ඔසප් දිනවලදී සනීපාරක්ෂාව සදහා කිලිටි රෙදි කඩවල් හා කඩදාසි සොයා ළතැවීම මෙන්ම ආසාදනවලට ලක්වීම දෙසද ශෝකයෙන් බලා සිටියේය.
බහුජාතික සමාගම්වලින් නිපදවන සනීපාරක්ෂක තුවාවල මිල දුප්පත් ඉන්දීය කාන්තාවන්ට දරා ගත නොහැකි බවත්, රුපියල් 10 ක් වියදම් කර තැනිය හැකි තුවා පැකට්ටුවක් එමෙන් හතලිස් ගුණයක මිලකට අලෙවි වන බවත් ඔහු දුටුවේය.
එදා සිට ඔහුගේ එකම සිහිනය වූයේ දුප්පත් කාන්තාවන් සදහා අඩු මිලට සනීපාරක්ෂක තුවායක් නිර්මාණය කිරීමය.
මේ පුදුමාකාර හා ලැජ්ජා සහගත සිහිනය නිසා ඔහු ගම්වාසීන් අතර මහත් සේ සමච්චලයට ලක්විය. ග්‍රාමීය කාන්තාවෝ මුරුගානන්දන් යනු උන්මත්තකයෙකු බව කියමින් ඔහුව ප්‍රතික්ෂේප කළහ.
ඒ නිසා පර්යේෂණ මට්ටමේ තිබූ ඔහුගේ නිෂ්පාදනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පවා ගමේ කිසිදු කාන්තාවක් ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවෙන් නගරයට ගොස් වෛද්‍ය ශිෂ්‍යාවන් හමු වී ඔවුන්ට ඒවා නොමිලේ බෙදා දෙන්නට ඔහුට සිදුවිය.
එහිදී රුධිරය උරා ගැනීමේදී තුවාවල හැඩය වෙනස් වීම ප්‍රධාන බාධාව බවත්, මේ සදහා බහු ජාතික සමාගම් සෙලියුලෝස් කෙදි භාවිත කරන බවත්, එය ලබා ගන්නේ ෆයින් ගස් පොතුවලින් සාදා ගන්නා පල්පයකින් බවත් ඔහුට වැටහුණි.
මේ පල්පය සකසන විදේශීය යන්ත්‍රයක් ඉන්දියන් රුපියල් මිලියන 35 ක් පමණ වූ නිසා වෙනත් දේශීය යන්ත්‍රයක් ඔහු ඔහුට අවශ්‍ය ආකාරයට සකසා ගත්තේය. වැඩි දියුණු කරගත් දේශීය යන්ත්‍රය මගින් ෆයින් දැව පල්ප අඹරවා, කෙදිවලට වෙන්කොට, පාරජම්බූල කිරණවලින් විෂබීජ හරණය කොට අනර්ඝ සනීපාරක්ෂක තුවායක් කොයිම්බතූර් කාන්තාවන්ට ලබා දීමට අවසානයේදී ඔහු සමත් විය.
වසර 2006 දී සුළුවට තුවා නිෂ්පාදනය කළ මුරුගානන්දන් මදුරාසියේ ඉන්දියානු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කළ “ජාතික නව නිෂ්පාදන සමුළුවට යන්නේ සිය සමාජ ව්‍යාපාරික යෝජනා එළි දැක්වීමේ අරමුණෙනි.
මුරුගානන්දන්ගේ අරුම පුදුම, හුරුබුහුටි, මිල අඩු තුවා මැෂිම දුටු බලධාරීන් හිසේ අත් ගසාගන්නේ ඔහුට එම සමුළුවේ ග්‍රාමීය කර්මාන්ත තාක්ෂණය පිළිබද ප්‍රථම ත්‍යාගය ලබාදීමෙන් නොනැවතී ඔහු නමින් “Jaya sri Industries”නම් සමාගමද ලහි ලහියේ ලියා පදිංචි කරදීමෙනි.
ඔහුගේ යන්ත්‍රය Self Help Groups නමින් සංවිධානය කළ කුඩා කාන්තා කණ්ඩායම්වලට පහසු මිලට ලබාදුන් රජය දිළිදු පවුල්වලට ආදායම් මාර්ගයක් විවර කළා පමණක් නොව ඉන්දියාවේ කාන්තා බහුතරයකගේ සනීපාරක්ෂාව දැරිය හැකි මිලට සැපයීමටද සමත් විය.
ඒ නිසා අරුණාචලම් මුරුගානන්දන් මුළු ලෝකයේම ගෞරවයට පාත්‍ර වූවා පමණක් නොව මහා ධනවතෙකු බවටද පත් විය.
අද වන විට ඔහුගේ තුවා නිෂ්පාදන යන්ත්‍ර 2500ක් පමණ ඉන්දියාව පුරාම බෙදා හැර තිබේ. එයින් ග්‍රාමීය කාන්තාවන් 24000කට රැකියා අවස්ථා හිමි වී ඇති අතර, කාන්තාවෝ මිලියන 13ක් ඔවුන්ගේ නිෂ්පාදන පරිහරණය කරති. අද වන විට මුරුගානන්දන්ගේ වාර්ෂික ආදායම ඉන්දියානු රුපියල් කෝටි 250කට අධිකය.

2018 දී තිරගත වූ පෑඩ් මෑන් නම් අක්ෂේ කුමාර් රගපාන ප්‍රකට හින්දි චිත්‍රපටයට පවා නිමිති වූ අරුණාචලම්ගේ සැබෑ ජීවිත කතාව දැන් අපූර්ව ඉන්දියානු පුරාවෘත්තයකි.
අහෝ දෙවියනි! ආදරය මිනිසුන් පිස්සන්, බේබද්දන්, ලේඛකයන් පමණක් නොව මහා සමාජ ව්‍යවසායකයන් බවටද පත් කරයි. මුරුගානන්දන්ගේ කතාව අපට හඩ ගා කියා දෙන්නේ එය නොවේද?
- වින්දන විදුර කුමාර



