වරාය යනු අද මෙරට දේශපාලනයේ නිතර ඇසෙන වචනයකි. වරායන් යනු ලංකාවේ ආර්ථිකයට හෝ දේශපාලනයට අතීතයේ සිටම ආගන්තුක වූ දෙයක් නොවේ.
පෙරදිග අපරදිග යා කරන මුහුදු මාර්ගයේ සුවිශේෂී සන්ධිස්ථානයක ලංකාව පිහිටා තිබීම ඇතුළු විවිධ සාධක හේතුවෙන් ක්‍රිස්තු පූර්ව සියවස්වල සිටම මේ කුඩා දූපත මහා බාහිර ලෝකයට විවෘත වූ රාජ්‍යයක්ව පැවතිණි. එතැනින් නොනැවතී එය පෙරදිග අපරදිග යා කෙරෙන වැදගත් හුවමාරු මධ්‍යස්ථානයක්ද විය.

දෙස් විදෙස් ලේඛකයන් විසින් රචිත විවිධ ග්රන්ථ, සංචාර සටහන්, සාහිත්‍ය කෘති, සන්දේශ කාව්‍ය, වංශ කතා, ඉතිහාස පොත්, ශිලා ලේඛන ආදිය පුරාණ ලංකාවේ වරායන් ගැන කරුණු හෙළි වන මූලාශ්‍ර වෙයි. වරායන් පිළිබඳ ඉතිහාසයේ බොහෝ දැෑ ලියැවී ඇති අතර, පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින්ද ඒ කරුණු බොහොමයක් සනාථ වී තිබේ.
මේ අනුව පුරාණ ලංකාවේ වෙරළ තීරය වටා තිබූ බව පැවසෙන වරායන්ද ගණනාවකි.
- මහාතිත්ථ, මාතොට හෙවත් මන්නාරම වරාය
- ජම්බුකෝලපට්ටන හෙවත් දඹකොළ පටුන (කොඩ්රින්ටන්ට අනුව මේ ස්ථානය වර්තමාන කන්කසන්තුරේය.)
- ගෝකන්න හෙවත් ත්‍රිකුණාමලය
- ගොඩවාය හෙවත් ගොඩපවත වරාය – අම්බලන්තොට
- ලංකා පටුන – ත්‍රිකුණාමලය (මෙය හේමමාලා සහ දන්ත කුමරු ලංකාවට ගොඩබට ස්ථානය ලෙස සැලකේ.)
- වැලිගම්පටුන, වැලිතොට හෙවත් වැලිගම
- කිරින්ද (විහාරමහා දේවිය රුහුණට ගොඩබට බව පැවසෙන ස්ථානය)
- කොලොම්තොට හෙවත් කොළඹ වරාය
- කළුගල්තොට හෙවත් කළුතර
- තලෙයි මන්නාරම් තොට
- පුත්තලම්තොට හෙවත් පුත්තලම
- භීමතිත්ථ හෙවත් බෙන්තොට
- මඩකලපුව
- ඌරාතොට හෙවත් කයිට්ස් වරාය
- කල්පිටිය
- දොඩන්දූව
- පානදුරාතොට හෙවත් පානදුර
- තංගල්ල
- මීගමුව
- ගාල්ල
- බේරුවල
- සලාවත්තොට හෙවත් හලාවත
මීට අමතරව සක්කරසොබ්බ, හල්ලතිත්ථ, ගෝතමතිත්ථ, මත්තිකාවාටතිත්ථ ආදී ලෙස පැවති ස්ථානය හඳුනාගත නොහැකි වරාය කීපයක්ද තිබේ.
විවිධ කාලවලට අයත් මේ වරායන් අතර තිබෙන අලුත්ම වරාය වුවද සියවස් කීපයක් පැරණි විය යුතුමය. ඇතැම් වරායන්ගේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂයට ඉහත සියවස් කීපයක් කරාම ඈතට දිවෙයි.
මේ දළ ඉතිහාස සටහනේ වර්තමාන වැදගත්කම කුමක්ද?
වරායන් පිළිබඳ මේ ඉතිහාස තොරතුරුවලින් පෙනී යන කාරණය වනුයේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම නිසාම එය අතීතයේ සිටම විවිධ ජාතීන් ගොඩබට හා පෙරදිග අපරදිග යා කළ හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවය. මේ ඓතිහාසික සත්‍යයය වනාහී ලංකාව තම නූතන සංවර්ධන ඉලක්ක කරා යාමේදී කිසිසේත්ම නොසලකා හළ හැක්කක් නොවේ. ස්වභාවික පිහිටීම ඔස්සේ අපට ලැබුණු මේ දායාදය නූතන ආර්ථික උපාය මාර්ගික සිතියම තුළ දැනුවත්ව හා සැලකිල්ලෙන් කළමනාකරණය කළ යුත්තක් නොවේද?
- ඉසුරු ප්‍රසංග



