මේ කියන්න යන්නේ ලංකාවෙන් බිහිවුණු ඒත් ලංකාවේ අතිබහුතරයක් දෙනා නමවත් තාම අහලා නැති විශිෂ්ට සංගීතඥයෙක් ගැන. ලංකාවේ මිනිස්සු නමවත් අහලා නොතිබුණාට අදටත් ඉන්දියාවේ හා විශේෂයෙන් මධ්‍ය ප්‍රදේශයේ මිනිස්සු දේවත්වයෙන් සලකපු අපූරු ලාංකිකයෙක් ගැන.
ඉතින් ඔහු කවුද? මොනවාද කළේ? ඇයි ලංකාව ඔහු ගැන නොදන්නේ? ඔහු ඇයි ඉන්දියාවට ගියේ? පස්සේ කොහොමද අපි ඔහු ගැන දැනගත්තේ කියන කාරණා පිටුපස තියෙන්නේ අපූරු කතා පෙළක්.
මේ විශිෂ්ටතම සංගීතඥයාගේ නම උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි.
ඇත්තටම මෙතන උස්තාද් කියන්නේ නමක් නෙමෙයි. උස්තාද් කියන්නේ ඉන්දියාව තුළ සංගීතයේ අති විශිෂ්ට දක්ෂතා පෙන්වන මුස්ලිම් ජාතිකයන්ට හිමිවන ගරු නාමයක්. මේක දිනාගත් එකම මුස්ලිම් නොවන මිනිසා සහ එකම ලාංකිකයා වෙන්නේ පොඩි අප්පුහාමි.
මේ කියන්න යන්නේ ඔහුගේ පුදුමාකාර කතාව ගැන.
උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි උපත ලබන්නේ 1924 අගෝස්තු 22 කුලියාපිටියෙ අස්වැද්දුම කියන ගමේ. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහුගෙ පළමු සංගීත ගුරුවරයා වෙන්නෙ පී. එම්. විජේසිංහ. සංගීතයට ඔහුගෙ ඇති දක්ෂතාව නිසාම 1951 දි එඩ්වින් සමරදිවාකර, ටියුඩර් සුබසිංහ, සද්ධාතිස්ස වඩිගමංගාව යන මහත්වරුන්ගෙ උපකාරයෙන් ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයට යනවා.
ශාන්ති නිකේතනයේ මූලික හැදෑරීම් නිමා කළාට පස්සේ ඔහු අද මධ්‍ය ප්‍රදේශ් කියලා හදුන්වන මයිහාරයේ සංගීත විද්‍යාලයට බැදෙනවා. ඒකේ ප්‍රධානියා ඒ වෙද්දි භාරතයෙ හිටපු ශ්‍රේෂ්ඨතම සංගීතඥයා වෙලා හිටපු අලව්දීන් ඛාන්. ඔහු තමයි පණ්ඩිත් රවි ශංකර්ගේ ගුරුවරයා. ඩේවිඩ් අප්පුහාමි අලව්දීන් ඛාන් යටතේ වසර 22ක් සංගීතය ප්‍රගුණ කරනවා.
ඊට පස්සෙ අලවි දීන් ඛාන් මයිහාරයෙ සංගීතය විදුහලෙ විදුහල්පතිකම ඔහුට බාර දෙනවා. එය මහාචාර්ය තනතුරක් හා සමාන තනතුරක්. එහි කටයුතු කරන අතරතුර මහත් සම්භාවනාවට පාත්‍රවෙච්චි සංගීතඥයන් රාශියක් බිහි කිරීමට ඔහුට හැකියාවක් ලැබෙනවා.
මේ සම්බන්ධය හා බැදීම නිසා අලව්දීන් ඛාන් අප්පුහාමිට සලකන්නේ තමන්ගේ පුත්‍රයෙකුට වගේ. ඒ නිසාම තමයි ඔහු මුස්ලිම් ජාතිකයන්ට පමණක් හිමිවන උස්තාද් කියන ගරු නාමය අප්පුහාමිට පුද කරන්නේ. පණ්ඩිත් රවි ශංකර් වතාවක් කියපු විදිහට අලව්දීන් ඛාන් කියන ශ්‍රේෂ්ඨ සංගීතඥයගෙ හොඳම නිර්මාණය උස්දාත් ඩේවිඩ් අප්පුහාමි.
මීළග වැදගත් කරුණ තමයි රාග සංචිතයට “මයිහාර් රාග්”, “හේම් ගෝපිකා”, “දුර්ඝාවතී” අලුතින් රාග තුනක් එක් කිරීමට අප්පුහාමි සමත්වීම. මොකද රාගයක් අලුතින් නිර්මාණය කිරීම ඉතා අසීරු කරුණක්. ඒ සඳහා සංගීතය පිළිබඳ පරිසමාප්ත දැනුමක් තිබිය යුතුයි.
ඩේවිඩ් අප්පුහාමි වරින්වර ලංකාවට ඇවිත් යම් යම් ප්‍රසංග කිහිපයක් පවත්වලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් ලංකාවේ නිසි ඇගයීමකට ලක් වෙලා නෑ. ඒ නිසා ඔහු තම වාස භූමිය ලෙස ඉන්දියාවම තෝරාගෙන තිබෙනවා.
ඔහු ඇන්දේ භාරතීය ඇඳුම්. අනුගමනය කළේ භාරතීය වත් පිළිවෙත්. ඌෂා දේවී ගෞතම් කියන කුලීන භාරතීය කාන්තාව සමඟ විවාහ වුණු ඔහුට පුෂ්පේන්ද්‍ර ගෞතම්, ධිරේන් ගෞතම්, රිතික් ගෞතම්, අනිල් ගෞතම් නමින් පුතුන් හතර දෙනෙක් සිටිනවා.
ඔය විදිහට ඔහු වර්ෂ 2002 වෙනකල් ඉන්දියාවේ මයිහාර් ප්‍රදේශයෙ ජීවත් වෙනවා. ජීවත් වෙලා මයිහාරයේ සංගීත දෙවිඳු කියන ගෞරව නාමයත් සමඟින් ඔහු මිය යනවා.
ඇත්තටම මේ කලාකරුවා ගැන ලංකාවට තොරතුරු අනාවරණය වීම පිටුපස ඇත්තේත් අපූරු කතාවක්.
ලංකාවේ කිසිවෙක් නොදැන සිටි පොඩි අප්පුහාමි ගැන කතාව අපට මෙහෙම හරි හෙළිදරව් වෙන්නේ ප්‍රේමසිරි වැවගෙදර කියන අපූරු පුද්ගලයා නිසා.
ප්‍රේමසිරි වැවගෙදර කියන්නේ රූපවාහිනී සංස්ථාවේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක්. ඔහුට 1998 දි විතර මුලින්ම මේ කියන පොඩි අප්පුහාමි ගැන අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන්නේ අප්පුහාමි මියගියා කියලා. ඊට පස්සේ ඔහු ඒ වසරේ දීම කිසිම තොරතුරක් ඉන්න තැනක් ලිපිනයක් නොදැන අප්පුහාමි ගැන හොයන්න ඉන්දියාවට යන්න තීරණය කරනවා. බොහෝ දුෂ්කරතා මැද ඔහු ඒ ගමන යන්නේ බිරිදගේ ගුරු වැටුපට අදාළ ණයක් අරගෙන.
ඒ විදිහට මැරුණු අප්පුහාමි කෙනෙක් ගැන හොයන්න ඉන්දියාවට ගිය ඔහුට අහන්න ලැබෙන්නේ ඇස් අදහාගත නොහැකි කතාවක්.
ඒ තමයි අප්පුහාමි තාම මැරිලා නෑ ජීවතුන් අතර ඉන්නවා කියන එක. අවසානයේදී මැරුණු අප්පුහාමි කෙනෙක් හොයාගෙන ගිය ඔහුට ජීවත්ව ඉන්න අප්පුහාමි ඇත්තටම මුණ ගැහෙනවා.
ඊට පස්සේ ඔහු එහිදී හොයාගත් තොරතුරු අනුව පොතක් ලියන්න සහ වාර්තා චිත්‍රපටයක් හදන්න කටයුතු කරනවා. ඒකෙන් තමයි මේ සැගවුණු කතාව එළියට එන්නේ.
ප්‍රේමසිරි ඉන්දියාවට ගිහින් අවුරුදු හතරකට පස්සේ ඒ කියන්නේ 2002 දී ඇත්තටම මේ මහා සංගීතඥයා ජීවිතයෙන් සමුගන්නවා.
ඒත් ඔහු සමුගන්නේ සංගීතයේ මහා පෙරළිකාරයෝ බිහිවුණු, සංගීත ක්ෂේත්‍රෙය් දැවැන්ත තරගකාරීත්වයක් තිබෙන ඉන්දියාවේ ජීවත් වෙලා ඒ තරගයෙන් ඉහළ ජයග්‍රහණ අත් කරගත් කෙනෙක් විදිහට. ඉතින් එතුමාව වගේම එතුමා ගැන තොරතුරු සොයා දුෂ්කර චාරිකාවක නිරත වූ ප්‍රේමසිරි මහතාටත් ලාංකිකයන් විදිහට අපේ ගෞරවය හිමි විය යුතුයි.
- ඉසුරු ප්‍රසංග



