රිචඩ් ද සොයිසා ඝාතනය කළ අයට මොකද වුණේ?

රිචඩ් ද සොයිසා යනු 88-89 භීෂණ සමයේදී ඝාතනයට ලක්වූ ප්‍රකට මාධ්‍යවේදියෙකි. පසුගිය දිනවල තිරගත වූ අශෝක හඳගමගේ රාණි චිත්‍රපටය නිසා මෑතකදී නැවත රිචඩ් පිළිබඳ කතාබහක් ඇති වූ අතර, මේ සටහන ඒ වෙනුවෙනි.

රිචඩ් ද සොයිසා උපත ලද්දේ 1958 මාර්තු 18 වැනිදාය. ඔහුගේ පියා ලූෂන් ද සොයිසා සිංහල ජාතිකයෙක් වූ අතර, මව වූ විශේෂඥ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු දෙමළ ජාතික කාන්තාවක වූවාය. ඔහුට තව සහෝදරයෙක් හා සහෝදරියක්ද සිටියේය.

රිචඩ් වනාහී ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්, නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයෙක් ලෙසද පුළුල් පරාසයක සිය හැකියාවන් ප්‍රකට කරමින් සිටි අයෙකි.

වයස අවුරුදු 32 දී ඝාතනයට ලක් වන විට ඔහු ඉන්ටප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස කටයුතු කරමින් සිටියේය.

යුගාන්තය හා සත්‍යග්‍රහය නම් සිනමා නිර්මාණ, වේදිකා නාට්‍ය මෙන්ම සුප්‍රකට යශෝරාවය ටෙලි නාට්‍යයටද හේ රංගනයෙන් දායක වී තිබිණි.

රිචඩ් ද සොයිසා ඝාතනයට හේතුව වූයේ ඔහු එකල ජනතා විමුක්ති පෙරමුණට හිතවාදීව සෝමවංශ අමරසිංහ, සමන් පියසිරි ප්‍රනාන්දු වැනි ජවිපෙ ඉහළම නායකයන් සමඟ සමීපව කටයුතු කිරීම හා රජයේ ඝාතන ආදී සිදුවීම් විදෙස් මාධ්‍යවලට අනාවරණය කිරීමය.

මේ ආදී හේතූන් මත රිචඩ් පැහැරගන්නා ලද්දේ 1990 පෙබරවාරි 18 වැනිදාය. එදින අලුයම 3.30ට රිචඩ්ගේ රාජගිරිය වැලිකඩවත්ත නිවසට පැමිණි සන්නද්ධ පිරිසක් ඔහුව හැඳ සිටි සරම පිටින්ම, අංක 32ශ්‍රී 4748 දරන ජීප් රථයට නංවාගෙන ගොස් තිබිණි.

හරියටම ඊට පසුදින සවස 4ට පමණ රිචඩ්ගේ ප්‍රාණය නිරුද්ධ දේහය මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසල මුහුදු වෙරළට ගොඩ ගසා ඇති ආකාරය, බෝට්ටු හිමියෙකු වූ මාකස් ප්‍රනාන්දුගේ ඇස ගැටී තිබිණි.

මළ සිරුර හඳුනාගත නොහැකි තරමට ඉදිමී විකෘති වී තිබුණද එදින සවස 6ට පමණ කළුබෝවිල රෝහලට ගිය රිචඩ්ගේ මව තම පුත්‍රයාගේ සිරුර හඳුනාගත්තාය.

මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ රිචඩ්ගේ ගෙල සහ වම් කණ අසලට වැදුණු රයිෆල් උණ්ඩ නිසා මරණය සිදුවී ඇති බවය.

ඔහුව පැහැරගත් පිරිස ඒ මොහොතේම ගල්කිස්ස මුහුදු වෙරළට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කොට මළ සිරුරේ ගල් ගැට ගසා බෝට්ටුවකින් මඳ දුරක් ගෙන ගොස් සිරුර මුහුදට දැමූ බව පසුව අනාවරණය වී තිබිණි.

රිචඩ් ඝාතනය මෙහෙයවා තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ විසිනි. ඔහුගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ ඇතුළු පිරිසක් විසින් පැහැරගැනීම සිදුකර තිබිණි.

පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරුණු අතර, ලාල් ක්‍රිෂාන්ත ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා ඉදිරියේ නඩුව විභාග විය. රිචඩ්ගේ පාර්ශ්වය වෙනුවෙන් අධිනීතිඥ බැටී වීරකෝන් ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

එහෙත් නඩුවේ තීන්දුව ලැබීම දිනෙන් දින කල් යන බවක් පෙනිණි. විපක්ෂයේ මන්ත්‍රීවරු රිචඩ් ඝාතනය සම්බන්ධ කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා සිටියද එය ක්‍රියාත්මක නොවීය.

මේ අතර රිචඩ්ගේ මව වූ මනෝරාණි භීෂණ සමයේදී ඝාතනයට ලක් වූ දූ පුතුන්ගේ මව්වරු හා වැන්දඹුවන්ගේ අයිතීන් වෙනුවෙන් පිහිටුවන ලද මව් පෙරමුණ සංවිධානයේ සභාපතිනිය ලෙස කටයුතු කරමින් ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් සිය හඬ අවදි කළාය.

මව් පෙරමුණේ මංගල රැළිය 1991 පෙබරවාරි 19 වැනිදා කොළඹ නවනගර ශාලාවේදී පැවැත්විණි.

මේ අතර 1994 දී පොදු ජන එක්සත් පෙරමුණ බලයට පත් වුවද රිචඩ් ඝාතනය සම්බන්ධව විපක්ෂයේ සිටියදී ඔවුන් ඉල්ලා සිටි කොමිසම පත් කිරීම ඒ ආණ්ඩුව යටතේද සිදුවූයේ නැත.

ඒ අතර තම පුත්‍රයාගේ ඝාතනය පිළිබඳ අධිකරණ තීන්දුව හෝ ප්‍රකාශයට පත්වීමට පෙර 2001 පෙබරවාරි 14 වැනිදා රිචඩ්ගේ මව වූ මනෝරාණි සරවනමුත්තු මහත්මිය ජීවිතයෙන් සමුගත්තාය. මිය යන විට ඇය කොල්ලුපිටියේ නිවසක හුදකලා ජීවිතයක් ගත කර තිබිණි.

මේ සියල්ල සමඟ දිනෙන් දින කල් ඇදුණු රිචඩ් ඝාතනයේ තීන්දුව ලබාදීමට වසර පහළොවක් ගත විය.

අවසානයේ දී 2005 නොවැම්බර් 9 වැනිදා නඩු තීන්දුව නිකුත් වූ අතර, ඒ අනුව රිචඩ් ඝාතනයේ සියලු චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීන්දු කොට තිබිණි.

රිචඩ්ගේ ඝාතනය මෙහෙයවූ බව කියන පොලිස් අධිකාරී රොනී ගුණසිංහ මහතා ඊට වසර දොළහකට පෙර ජීවිතක්ෂයට පත් වී තිබුණේ 1993 මැයි පළමු වැනිදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය කිරීම සඳහා පුපුරුවා හරින ලද ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට හසු වීමෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top