- ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් ඉතා කුඩා රටක් බවත්, කුඩා බව නිසා අසරණ වූ රටක්ය යන හැඟීමත් අප බොහෝ දෙනා තුළ කාලයක් තිස්සේ මුල් බැසගෙන තිබෙන්නකි.

- පදනමක් නැති කවි කතන්දර ඔස්සේ ගොඩ නැගුණු ආකල්ප මෙන්ම, ලෝක සිතියමේ ලංකාව කුඩා තිතක් ලෙස පෙනීමද මේ ආකල්පයට හේතු වී තිබේ.
මේ කියන්නට යන්නේ මෙය කෙතරම් වැරදි ආකල්පයක් දැයි වටහා ගැනීමට අදාළ කාරණා කීපයකි. - ලෝකයේ රටවල් ලෙස පැහැදිලිව පිළිගන්නා ස්වාධීන රාජ්‍ය 195ක් පමණ තිබේ.
- විශාලත්වය අනුව මේවා ලොකු එකේ සිට කුඩා එකට පෙළ ගැස්වූ විට ලංකාවට හිමිවන්නේ ඒ ලැයිස්තුවේ 120 වැනි ස්ථානය වන අතර, මේ අනුව ලංකාවට වඩා කුඩා රටවල් 75ක් පමණ ලෝකයේ ඇති බව පැහැදිලි වේ.
මේ සරල කාරණයෙන්ම ලංකාවේ කුඩා බව පිළිබඳ මිත්‍යාව බිඳ වැටෙන නමුදු අපේ ඊනියා කුඩා බව පිළිබඳ මිත්‍යාවේ බරපතළකම මැනවින් වටහා ගැනීමට නම් පහත කාරණාද අවදානයට ගැනීම වැදගත්ය. - ලංකාවට වඩා කුඩා රටවල් ලෝකයේ 75ක් පමණ ඇති අතර, ඒ අතරින් 26ක්ම දියුණු යැයි සම්මත යුරෝපා රටවල්ය.
- සංවර්ධනයේ ඉහළම මට්ටමක පවතින ඩෙන්මාර්කය, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, බෙල්ජියම යන රටවල්ද මේ 26ට ඇතුළත්ය.
- කාලයක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගෙන සිටි පෘතුගාලයේ විශාලත්වය ලංකාව මෙන් එකහමාරක් පමණ වේ. (වර්ග කි.මි. 91568)
තවත් කාලයක් ලංකාවේ ප්‍රදේශ යටත් කරගෙන සිටි ලන්දේසීන්ගේ රට වන නෙදර්ලන්තය ලංකාවට වඩා කුඩා රටක් වන අතර, එහි විශාලත්වය වර්ග කි.මි. 41198කි. - ලෝකයේ රටවල් ගණනාවක යටත් විජිත පිහිටවූ බෙල්ජියමද ලංකාවට වඩා කුඩා රටකි.
- එපමණක්ද? ලංකාව පමණක් නොව ලෝකයේ ප්‍රදේශ ගණනාවක් යටත් කරගනිමින් හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩ නැගූ එංගලන්තයේ විශාලත්වය ලංකාව මෙන් දෙගුණයකටත් මදක් අඩුය.
- එංගලන්තය, ස්කෝට්ලන්තය හා වේල්සය යන කොටස් තුනම අයත් වන මහා බි්‍රතාන්‍යයේ විශාලත්වය ලංකාව මෙන් සිව් ගුණයකටත් අඩුය.
මෑත කාලීනව වේගවත් දියුණුවක් අත් කරගත් සිංගප්පූරුව, ඊශ්‍රාලය යන රටවල් සලකා බැලුවද ඒවා ලංකාවට වඩා බෙහෙවින් කුඩා රටවල් වේ.
ලෝක සිතියම් ඇඳීමට භාවිත කරන මර්කේටර් ප්‍රක්ෂේපනය නිසාද ලංකාව වැනි සමකාසන්නයේ පිහිටි රටවල් කුඩාවට හා ධ්‍රැව ආසන්නයේ පිහිටි රටවල් විශාලව ලෝක සිතියමේ දිස්වන අතර, මේ කාරණයද ලංකාවේ කුඩා බව පිළිබඳ වැරදි ආකල්පයට ප්‍රබල හේතුවකි. - එසේම ලෝක ගෝලයෙන් අපට හිමි වර්ග කිලෝමීටර් 65610 යනු සහරාව මෙන් කාන්තාරයක් නොව සංවර්ධන විභවයන් කන්දරාවක් සහිත සරුබිමක් බවද අප කිසිසේත්ම අමතක කළ යුතු නැත.
- මෙයින් පැහැදිලි වන කාරණය නම් කිසියම් රටක ස්වාධීනත්වය, ආර්ථික ශක්තිය, සංවර්ධනය, දේශපාලන බලය ආදිය සහ රටේ භූමි ප්‍රමාණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවය.
- ලංකාවේ දියුණුවටද අදාළ වෙනත් බොහෝ ප්‍රශ්න සීමාකම් තිබිය හැකි වුවද කිසිසේත්ම භූමි ප්‍රමාණය ඊට අදාළ සාධකයක් නොවේ.
- අපට වඩා දෙගුණයක් විශාල එංගලන්තය මෙන් ලෝකයේ අනෙක් රටවල් විනාශ කරමින් මහා අධිරාජ්‍යයක් ගොඩනැගීමට අපට අවශ්‍ය නැත.
එහෙත් අපට ස්වාධීනව නැගී සිටීමට අපේ භූමිය සහ එහි ඇති සම්පත් සම්භාරය හොඳාකාරවම ප්‍රමාණවත් වන අතර, ඒ සඳහා අවශ්‍ය වන්නේ පුංචි මානසිකත්වයෙන් මිදී කල්පනා කරන ප්‍රජාවක් සහ ඊට ගැලපෙන ප්‍රබුද්ධ දේශපාලන නායකත්වයකි.
- ඉසුරු ප්‍රසංග



