පස් වන සියවසේ සිට නිදහස දක්වා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ඉතිහාසය

  • ඉස්ලාමයේ උපතටත් පෙර සිට අරාබි හා පර්සියානු වෙළඳුන් ආසියාව සමඟ ගනුදෙනු කළහ. පර්සියාවේ අධිරාජ්‍යයකු වූ අනුර් ශර්වාන් ක්‍රි.ව. 571 – 578 කාලයේදී අනුරාධපුර රාජ සභාව සමඟ සම්බන්ධතා පවත්වා තිබූ අතර ඔවුන් ලංකාව හඳුන්වන ලද්දේ ජසිරතුල් යකුත් හෙවත් රත්නදීපය යන නාමයෙනි.
  • ක්‍රි.ව. හය වන සියවසේදී (ක්‍රි.ව. 570 – 632) කාලයේදී ඉස්ලාම් දහම බිහිවිය. ඒ සමග අරාබි ලෝකය ශක්තිමත්ව ඒකාබද්ධ වූ අතර, සෞදි අරාබිය, පර්සියාව, බටහිර ආසියාව, උතුරු අප්‍රිකානු ප්‍රදේශ තුළ ඉස්ලාමය හා අරාබි භාෂාව ව්‍යාප්ත විය.
  • ඉබ්නු ෂාහ්රයර් තමාගේ අජෛබුල් හින්ඩ් කෘතියේ වාර්තා කරන පරිදි ලංකාවේ දූත පිරිසක් නබිතුමා හමුවීමට මදීනා නගරයට ගොස් ඇති අතර, ඔවුන් එහි ළඟාවී ඇත්තේ නබිතුමාගේ මරණින් පසුය. අනතුරුව උමාර් කාලිෆ්තුමා හමුවූ දූත පිරිස ලංකාවට පැමිණියද ආපසු එන දුෂ්කර ගමනේදී ඔවුන් මියගොස් ඇත.
  • අනුරාධපුර යුගයේ ප්‍රධාන වරාය හා පෙරඅපර දෙදිග සුප්‍රකට වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මාන්තෙයි හෙවත් මහාතිත්ථ වරාය ආශ්‍රිත ප්‍රදේශවලින් 8 – 11 සියවස්වලට අයත්, අරාබි කාසි, පිඟන් බඩු හා මුස්ලිම් මිනීවළවල් මත පිහිටුවන ලද ශිලා ලේඛන තුනක් හමුවී ඇත. මිහින්තලා රෝහල් භූමියේ නටඹුන් අතර අරාබි මැටි බුජම් හමුවී ඇත.
  • 9 -10 සියවස් වන විට පර්සියන් බොක්කේ සිට චීනය දක්වා මුහුදු මාර්ගවල වෙළෙඳ ආධිපත්‍යය අරාබිවරුන්ට හිමිව තිබිණි. මේ කාලය තුළ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලට අරාබි වෙළෙඳුන්ගේ පැමිණීමෙන් මුල්ම මුස්ලිම් ජනාවාස ඇති විය.
  • අබ්බසිඩ් අධිරාජ්‍යය (Abbasid caliphate) සමයේ බැග්ඩෑඩයේ රචනා වූ හා පරිවර්තනය කළ ග්‍රන්ථ රාශියක් ලංකාවට රැගෙන විත් ඇති බව ලංකාවේ බි්‍රතාන්‍ය අග විනිසුරුවරයෙකු වූ ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් විසින් පෙන්වා දෙයි.
  • මුස්ලිම් ආගමික කටයුතු සඳහා බැග්ඩෑඩයෙන් ලංකාවට එවන ලද ඛාලිඩ් ඉබන් අබු බකායා නම් පූජකවරයෙක් ගැන 10 වන සියවසට අයත් අරාබි ශිලා ලේඛනයක සටහන්ව ඇත.
  • ඉබන් කුර්දාබ්දිබිග් (ක්‍රි.ව. 345) සුලෙයිමාන් තජීර් (ක්‍රි.ව. 850) අල්මසුදි (ක්‍රි.ව. 930) ඉබන් ෂාරියර් (ක්‍රි.ව. 953) අල් ඉස්ථබරි (ක්‍රි.ව. 950) අල්ක්විස්වින් (ක්‍රි.ව. 1283) අල් බෙරුනි, ඉබන් බතුතා වැනි මුස්ලිම් ලේඛකයන්ගේ සටහන්වල ලංකාව ගැන බොහෝ තොරතුරු සඳහන්ව ඇත.
  • අති ප්‍රසිද්ධ අරාබි ප්‍රබන්ධ කතා සංග්‍රහයක් වන අරාබි නිසොල්ලාසයේ සින්බාද් නැවියා ගැන කතාවේ ලංකාවේ හා බැග්ඩෑඩයේ රජු අතර පැවති සම්බන්ධතා ගැන සඳහන්ව ඇත.
  • මුස්ලිම්වරු නම වන සියවසේ පමණ සිට විශාල ලෙස ශ්‍රී පාද වන්දනාවට පෙළඹුණු අතර, එය ඔවුන් සලකන ලද්දේ ආදම්ගේ කන්ද වශයෙනි.
  • 10 – 12 සියවස් වන විට බැග්ඩෑඩයේ බලය ක්‍රමයෙන් බිඳ වැටිණි. මේ කාලය හා ඉන් පසුව ඉන්දියාවෙන් පාකිස්ථානයෙන් පැමිණි මුස්ලිම් වෙළෙන්ඳන් ලංකාවේ මුස්ලිම් ජනාවාස ඇති කිරීමට දායක වී ඇත.
  • මුස්ලිම්වරු ලංකාව ආක්‍රමණය කිරීමට ගත් එක් උත්සාහයක් ගැන රාජාවලියේ සඳහන්ව ඇත. කෝට්ටේ රජ කළ ධර්ම පරාක්‍රමබාහු (1489 – 1513) රජ සමයේදී කදිරායන නමැත්තෙකු කෝට්ටේ රාජ්‍යය ආක්‍රමණය කළ අතර, එය පැරදවීමට සිංහල රජු සමත් විය.
  • නමුත් සමස්තයක් ලෙස සියවස් ගණනාවක් පුරා මුස්ලිම්වරු ලංකාවේ සිංහලයන් හා රජවරුන් සමඟ ඉතා සාමකාමීව කටයුතු කර ඇත. මුස්ලිම්වරුන් හා විවාහ වූ සිංහල දෙමළ කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් ඉස්ලාම් ආගම වැළඳ ගත්තද තම ආගම පැතිරවීමට ඔවුන් උත්සාහ ගත් බවක් අසන්නට නැත.
  • සිංහලයා ගොවිතැනට නැඹුරුව සිටියදී මුස්ලිම්වරුන්ගේ වෙළෙඳ කටයුතු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇත. වෙළෙඳාමට අමතරව, නාවික කටයුතු, වෛද්‍ය කටයුතු, ගණිතය, රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා, භාෂා හැකියාවන් ආදිය මගින් ඔවුන් සිංහල රජවරුන්ට හා රාජ්‍යයන්ට විශාල මෙහෙයක් ඉටු කළහ.
  • ශ්‍රී ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීමත් සමඟ මුස්ලිම්වරුන්ට බරපතළ තර්ජන එල්ල විය. මුස්ලිම් ආගම ඇදහීම පවා තහනම් වූ අතර, පෘතුගීසි ප්‍රදේශවල වූ පල්ලි හා පන්සල් ක්‍රිස්තියානි පල්ලිවලට පවරා ගැනිණි. පෘතුගීසි හා එක්වූ බුවනෙකබාහු රජ මුස්ලිම්වරුන් වෙරළබඩ ප්‍රදේශවලින් පලවා හැරීමට කටයුතු කළ අතර, ඊට එරෙහිව මුස්ලිම්වරු මායාදුන්නේ හා ඔහුගේ පුත් රාජසිංහ රජු හා එක්වී පෘතුගීසීන්ට විරුද්ධව සටන් කළහ.
  • පෘතුගීසීන්ගෙන් එල්ල වූ තර්ජන නිසා සෙනරත් රජු (1604 – 1635) යටතේ පාලනය වූ උඩරට රාජධානියට මුස්ලිම්වරු විශාල වශයෙන් සංක්‍රමණය වූහ. රජු ඔවුන්ව උඩරට රාජධානිය, මඩකලපුව ආදී ප්‍රදේශවල පදිංචි කරවීය.
  • ලන්දේසීන් විටෙක මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කළදී ඔවුන්ට මුස්ලිම් ජාතිකයන්ගේ සේවය නැතිව බැරි විය. ගම්මුලාදෑනීන්, වෛදවරුන්, මුදල් අයකැමියන්, භාෂා පරිවර්තකයන්, ඔත්තුකරුවන් ලෙස ඔවුන්ට ලන්දේසි යටතේ පත්වීම් ලැබිණි.
  • ලංකාවට ඉංග්‍රීසීන් පැමිණීමෙන් පසු මුස්ලිම්වරුන් හා උඩරට රාජ්‍යය අතර තිබූ සම්බන්ධතාව බිඳ දැමීමේ අරමුණින් මුස්ලිම්වරුන්ට එරෙහි ලන්දේසීන්ගේ තහංචි ඉවත් කිරීමට ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරයා කටයුතු කළේය. මේ තත්ත්වය මත 1818 කැරැල්ලේදී මුස්ලිම්වරුන්ගේ සහය තමන් වෙත දිනාගැනීමට ඉංග්‍රීසිහු සමත් වූහ.
  • 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් මුස්ලිම්වරුන්ට කොළඹ හා පිටකොටුවේ ඉඩම්, දේපල, නිවාස මිලදී ගැනීමට ලන්දේසීන් විසින් පනවා තිබූ තහනම ඉවත් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු විශාල ලෙස නාගරික ප්‍රදේශවල ඒකරාශී වෙමින් වාණිජ ක්ෂේත්‍රයේ වැදගත් ස්ථානයක් හිමි කරගත්තෝය.
  • මුස්ලිම් අධ්‍යාපනය, සිද්ධි ලෙබ්බේ, ටී. බී. ජයා, ඔරබි පාෂා වැන්නවුන් ඉංග්‍රීසී පාලන සමය තුළ මුස්ලිම් ආගමික හා සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් කටයුතු කළ අතර, 1894දී ඔවුන් ආරම්භ කළ පාසල 1913 සිට මරදාන සහිරා විදුහල බවට පත්විය.
  • 1833 ව්‍යවස්ථාදායක සභාව පිහිටවූ මුත් 1899 වන තුරුම කිසිදු මුස්ලිම් නියෝජිතයෙකු ඊට පත් වූයේ නැත. 1899 සිට 1924 දක්වා මුස්ලිම් නියෝජිතයන් නම් කළේ ආණ්ඩුකාරයා විසිනි. 1924දී මුස්ලිම්වරුන්ට ව්‍යවස්ථාදායකයේ ආසන පහක් වෙන්වූ අතර, එයින් දෙකක් සඳහා නියෝජිතයන් ඡන්දයෙන් තෝරාගත යුතු විය.
  • ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ලබාදීමේ සෝල්බරි කොමිසමේ යෝජනාවන් ඉදිරිපත් වූ විට සියලු මුස්ලිම් සාමාජිකයෝ ඊට පක්ෂව ඡන්දය දුන්හ.
  • (මෙහි දක්වා ඇත්තේ මහාචාර්ය ලෝනා දේවරාජ විසින් රචිත ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු නම් කෘතියේ එන තොරතුරුවල සාරාංශයකි. මෙහි ඇතැම් කරුණු පිළිබඳ විවාදාත්මක අදහස් පළවී ඇතත් හුදු අධ්‍යයනයේ වැදගත්කම තකා මෙය මෙහි පළ කළ අතර, ඒ අදහස් සංවාදයට නතුවීම වැදගත් යැයි අප විශ්වාස කරමු.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top