සීනි යනු කාබෝහයිට්රේට වර්ගයට අයත් සංයෝගයකි. සීනි වර්ග ගණනාවක් තිබුණද, අප අතර එදිනෙදා සුලබව භාවිත කරන සීනි අයත් වන්නේ සුක්රෝස් නැමති ඩයිසැකරයිඩ වර්ගයටය.
ලංකාවේ ඒක පුද්ගල සීනි පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 30ක් පමණ වන අතර, ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් ලක්ෂ හයක් පමණ වෙයි. මෙය සාපේක්ෂව ඉහළ අගයකි.

මෙයින් මෙයින් 90%ක් පමණ ආනයනය කෙරෙන අතර, ඒ සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 250ක් 300ක් පමණ වැය වෙයි. එය සමස්ත ආනයන වියදමින් 1.5% සිට 2.7% දක්වා වන අගයකි.
මේ අනුව ශ්‍රී ලංකාව තුළ නිපදවෙන සීනි ප්‍රමාණය ජාතික සීනි අවශ්‍යතාවයෙන් සීයට දහයට අඩුය. එය එසේ වී ඇත්තේ දේශීයව සීනි නිෂ්පාදනයට අවශ්‍ය සියලු සාධක ශ්‍රී ලංකාව තුළ තිබියදී වීම බරපතළ ගැටලුවකි.
ශ්‍රී ලංකාව වනාහී උක් වගාවට මෙන්ම සීනි නිෂ්පාදනයටද අවශ්‍ය සියලු පරිසර සාධක සහිත රටකි. උක් වගාවට අවශ්‍ය ඉඩම්, පස, දේශගුණය ආදී සියල්ල මෙහි ඇති අතර, එය ගොවියාටද වාසි සහගත වගාවකි.
ශ්‍රී ලංකාවේ උක්වගාවට සුදුසු බිම් හෙක්ටයාර 80000ක් පමණ තිබුණද ඉන් උක් වගාව සිදුවන්නේ හෙක්ටයාර 10000ක පමණ බිම් ප්‍රමාණයක පමණි. වටිනා පරිසර කලාප විනාශ නොකර, හෙක්ටයාර 60000ක පමණ උක් වගා කිරීමෙන් ලංකාවේ සීනි අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපුරාගත හැකිය.
කන්තලේ, හිගුරාණ, සෙවණගල හා පැල්වත්ත යන සීනි කර්මාන්තශාලා හතරක් ලංකාවේ තිබුණද කන්තලේ සීනි කම්හල 1994 සිට අක්‍රියව තිබෙන්නකි. සෙසු කර්මාන්ත ශාලා තුළද නිෂ්පාදන කටයුතු සිදුවන්නේ බොහෝ ගැටලු, බාධා, අකාර්යක්ෂමතා රාශියක් මධ්‍යයේය.
එසේ වුවද විධිමත්ව සිදුකරන්නේ නම් සීනි නිෂ්පාදනය යනු වටිනා අතුරු පල රාශියක් සහිත ආර්ථික වශයෙන් පලදායී නිෂ්පාදනයකි. ඒ මන්දැයි කෙටියෙන් විමසා බලමු.
සීනි නිෂ්පාදනයේදී ඉවතලන උක් රොඩු ඉන්ධනයක් ලෙස භාවිත කළ හැක්කකි. සීනි නිෂ්පාදනාගාරවල ඇඹරුම් යන්ත්‍ර ක්‍රියාත්මක වනුයේ මේ ඉන්ධන මඟින් ජලය රත්කොට ඇති කරගන්නා හුමාලයෙන් හෙවත් වාෂ්ප බලයෙනි.
මේ වාෂ්ප බලය ටර්බයින කැරකැවීම සඳහා යොදා ගත හැකි බැවින් විදුලි බලය සීනි නිෂ්පාදනයේ වැදගත් අතුරු ඵලයකි. මෙය කම්හල්වල අභ්‍යන්තර බලශක්ති අවශ්‍යතා සඳහා යොදා ගැනේ. මහා පරිමාණයෙන් සීනි නිපදවන රටවල සීනි කම්හල් මඟින් ජාතික විදුලි බල පද්ධතියටද දායකත්වයක් ලබාගැනීම සිදුකරයි.

උක් දඬු අඹරා ලබාගත් සීනි ද්‍රාවණයේ ඇති අපද්‍රව්‍ය හෙවත් පෙරුම් මඩ :ත්‍සකඑැර පමා* පොහොරක් ලෙස භාවිත කෙරෙන අතර එය සීනිවල තවත් අතුරු නිෂ්පාදනයකි.
සීනි ස්ඵටීකරණය කිරීමෙන් පසුව ඉවත් කෙරෙන ද්‍රව කොටස හඳුන්වනු ලබන්නේ මොලෑසස් නමිනි. මොලෑසස් සත්ත්ව ආහාරයක් වන අතර, මොලෑසස් මගින් එතනෝල් නිපදවීමද කළ හැක්කකි. සීනි එතරම් ලාභදායක නිෂ්පාදනයක් නොවුණද එතනෝල් භාවිතයෙන් මත්පැන් නිෂ්පාදනය කිරීම අතිශය ලාභදායී ව්‍යාපාරයකි.
එසේම එතනෝල් විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස යොදාගත හැකිය. අමෙරිකාව, බ්‍රසීලය, යුරෝපා සංගමය, චීනය, තායිලන්තය, කැනඩාව, ඉන්දියාව වැනි රටවල් රැසක සැහැල්ලු වාහන ධාවනය සඳහා එතනෝල් ඉන්ධන සුලබව භාවිත කෙරේ.
සීනි නිෂ්පාදන ක්‍රියාවලියේදී පරිසරයට බැහැර කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ඝන බවට පත්කර ගිනි නිවීම ආදී කටයුතු සඳහා භාවිතයට ගත හැකිය.
මේ අනුව ලංකාවේ දැනට පවතින අඩු දියුණු තාක්ෂණය තුළ වුවද උක් ටොන් එකක් හෙවත් කිලෝග්‍රෑම් 1000ක් මඟින් සීනි කිලෝ 80 -100ක්, එතනෝල් ලීටර 13ක්, විදුලි බලය කිලෝවොට් 700ක්, කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 3ක්, සත්ත්ව ආහාර සහ පොහොර යන දෑ නිපදවා ගත හැකිය. දියුණු කර්මාන්තශාලා තුළ මේ අගයන් මීට වඩා වැඩිය. එමෙන්ම උක් වගාව ආශ්‍රිතව වෙනත් අතුරු බෝග වගා කිරීම, සත්ත්ව පාලනය ආදී කටයුතුද සිදු කළ හැකිය.
මේ අනුව අතුරු පල රාශියක් ඇතුළු ප්‍රතිලාභ බොහොමයක් තිබියදී අප තවමත් මේ නිෂ්පාදනයේ නිසි ප්‍රයෝජන ලබාගැනීමට අසමත්ව සිටිමු.
උක් වගාවට අවශ්‍ය සියලු පහසුකම් සහිතව, රටට අවශ්‍ය සීනි ප්‍රමාණය රටේම නිපදවීමේ හැකියාව තිබියදී, සමස්ත ආනයන වියදමින් සීයට දෙකක මුදලක් වැය කරමින් සීනි ආනයනය කිරීමත්, අධික ලෙස සීනි පරිභෝජනයට හුරුව තිබීමත්, අඩුම තරමේ රටේ අවශ්‍යතාවයෙන් සීයට තිහ හතළිහක් හෝ සීනි නිපදවා ගත නොහැකි වීමත්, සීනි නිෂ්පාදනයේ වටිනා අතුරුපල සියල්ලට පයින් ගැසීමත්, ඛේදවාචකයක් නොවේද?
මෙහි දක්වා ඇත්තේ ජාතික සීනි නිෂ්පාදනය නගා සිටුවීමට අවංක වුවමනාවක් ඇති ඕනෑම බලධාරියෙකුගේ අවධානයට නතු විය යුතු කාරණා ප්‍රමාණයකි.
- ඉසුරු ප්‍රසංග



