යාපනයේ ඈත ගමකින් හමුවූ වසභ රජුගේ රන් තහඩුව

1936 වසරේදී කෝවිලක් සෑදීම සඳහා පදනම් කානු පාදමින් සිටි පිරිසකට අපූරු රන්පතක් දැකගන්නට ලැබිණි. මේ රන්පත එහි තිබූ පැරණි ගොඩනැගිල්ලක පාදමට යටව තිබියදී සොයාගෙන තිබේ.

මේ රන්පත හමු වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ පිහිටා ඇති වල්ලිපුරම් නම් ගමෙනි. සිංහලෙන් මේ ප්‍රදේශය වැලිපුර ලෙස හැඳින්වේ. ඒ අනුව මේ රන්පත වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස යනුවෙන් නාමකරණය වූ අතර, එය ලංකාවෙන් හමුවු බෙහෙවින් ආකර්ෂණීය පුරාකෘතියකි.

මේ රන්පතේ පළල අඟල් හතරක් හා උස අඟල් එකක් පමණ වන අතර, වර්තමානයේ මෙය කොළඹ ජාතික කෞතුකාගාරයේ අභිලේඛන මැදිරියේ ප්‍රදර්ශනයට තබා තිබේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් මේ පිළිබඳ ලියා ඇති අතර, ඊට අදාළ ලිපිය එතුමාගේ ෑචසටර්චයස් ’ැහක්බසජ් කෘතියේ III වැනි කාණ්ඩයේ පළව ඇති අතර, එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිංහලට පරිවර්තනය කර ඇත.

මෙම රන්පත ලියා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ පළමු සියවසට අයත් පුරාණ සිංහල භාෂාවෙන් සහ ඒ යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂරවලිනි. මේ ලේඛනය සටහන් කළ තැනැත්තා එය පැරණි පන්සලක පදනමේ තැන්පත් කළේ කුමක් නිසාද යන්න ගැටලු සහගත කාරණයකි. පරණවිතාන මහතාගේ මතය අනුව ලිපිය ශක්‍ර දෙවියන්ගේ දැකීම සඳහා එසේ තැන්පත් කරන්නට ඇති බව සැලකේ.

මේ දුර්ලභ ලේඛනයේ පෙළ පහත පරිදි වෙයි.

සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසිගිරයේ නකදිව බුජමෙනි
බදකර අතනෙහි පියගුක-තිස
විහර කරිතෙ

එහි අර්ථය මෙසේය.
යහපතක්ම වේවා ! වහ(බ) මහරජුගේ රාජ්‍ය කාලයේ අමාත්‍ය වූ ඉසිගිරය නකදිව පාලනය කරන කල්හි, පියගුකතිස නම් තැනැත්තා බදකර-අතන නම් ස්ථානයෙහි විහාරයක් කරවන ලදි.

මහාචාර්ය පරණවිතානයන්ට අනුව මෙම ලිපියේ දැකවෙන වහ(බ) යනු ක්‍රිස්තු වර්ෂ 65 – 109 කාලයේ මෙරට පාලනය කළ වසභ රජුය. එහෙත් මෙහි දැක්වෙන ඉසගිරය නම් අමාත්‍යවරයා හෝ පියගුකතිස නමැති දානපතියා ගැන වෙනත් මූලාශ්‍රවල සඳහන් නොවේ.

මේ ලේඛනය උතුරු නැඟෙනහිර කලාපයේ පැවති බව කියන සාම්ප්‍රදායික දෙමළ නිජබිම පිළිබඳ කල්පිතයට එරෙහි එක් පුරාවිද්‍යාත්මක සාක්ෂියකි. ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවස වන විට පවා මේ ප්‍රදේශය අනුරාධපුරයේ රජ කළ වසභ රජුගේ පාලනයට අනුගතව පැවති බව මෙයින් සනාථ වේ.

මෙකල එතුමාගේ නිලධාරීන් විසින්ම මේ ප්‍රදේශය පාලනය කළ බව කඳුරුගොඩ විහාරයෙන් හමුවන මැටි පාත්‍රයේ ලියා තිබූ ලේඛනවලින්ද සනාථ වේ.

පහත දැක්වෙනුයේ මේ පිළිබඳ සෙනෙරත් පරණවිතාන මහතා ලියූ සටහනකට මාලිනි ඩයස් මැතිනිය විසින් සැපයූ පරිවර්තනයේ කොටසකි.

දෙවන ශතවර්ෂයේ දි නාගදීපය අනුරාධපුරයේ රජුගේ අමාත්‍යයෙකු විසින් පාලනය කළ බවද, සිංහල භාෂාව එකල එහි ව්‍යවහාර භාෂාව වූ බවද, බෞද්ධ සිද්ධස්ථාන එහි ගොඩනැගෙමින් පැවති බවද මේ රන්පත් ලිපිය සනාථ කරයි. ලංකාවේ ලියැවුණු පාලි ග්‍රන්ථ මෙන්ම වංශකතාවලද නාගදීපය ගැන සඳහන් කරුණුවලින් හෙළිවන්නේ අද පවත්නා සේ නොව මෙම ප්‍රදේශයන්හි පුරාණයේ විසූ ජනයාගේ ජාතිය, භාෂාව හා ආගම අතින් වෙනස් නොවූ බවකි. මේ අනුව පැරණි සිංහල ජනයාගේ දේශපාලන, ආගමික හා සංස්කෘතික ඉතිහාසයට දිවයිනේ උතුරුකරයද සෑම අතින්ම සම්බන්ධ වූ බව සනාථ වෙයි.

ජනගහනයේ දෙමළ ජන අනුපාතය දිවයිනේ සෙසු ප්‍රදේශවලට වඩා ක්‍රමයෙන් මෙහි වර්ධනය වෙමින් පැවතුනත් ඉහත කී තත්ත්වය පොළොන්නරු යුගයේ අවසාන භාගය දක්වා නොකඩවා පැවතියේය.

මෙම ලේඛනයේ නකදිව යනුවෙන් අදහස් කර ඇත්තේ අද එනමින් හඳුන්වනු ලබන දූපත පමණක් නොව සම්පූර්ණ යාපන අර්ධද්වීපයම වේ.

ලංකාවේ කීර්තිමත් විද්වතෙකු වූ පෝල් ඊ. පීරිස් මැතිතුමා විසින් විවිධ මුලාශ්‍ර උපකාර කරගනිමින් නාගදීප යනු සමස්ත යාපන අර්ධද්වීපයම බව පෙන්වා දී තිබුණේ වල්ලිපුරම් සන්නස හමුවීමටත් පෙරාතුවය. එතුමාගේ ඒ අදහස වැඩිදුර සනාථ කිරීමට මේ රන් සන්නසද උපකාරී වූ බව කිව යුතුය.

(චන්දිම අඹන්වල මහතාගේ ලිපියක් ඇසුරිනි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top