1969 වසරේ පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රදේශයේ උපත ලැබූ ඔහු යුධ හමුදාවට සම්බන්ධ වූයේ වයස අවුරුදු 22 දීය.
2000 වසරේදී යුද හමුදාවේ ස්නයිපර් බලකායට සම්බන්ධ වූ ශූර සෙබලෙකු වූ ඔහු හමුදා මෙහෙයුම් අතරේ නොයෙක් වර ප්‍රහාරයන්ට ගොදුරුව තුවාල ලැබුවද අඛණ්ඩව සේවයේ නිරත විය.

අතිදක්ෂ වෙඩික්කරුවෙකු ලෙස කා අතරත් ප්‍රකට වූ ඔහු සිය ගිනි අවියෙන් ත්‍රස්තවාදීන් 217ක් විනාශ කිරීමට සමත් විය.
2009 වසරේ මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලබා සිටියදී පවා වෛද්‍ය උපදෙස් නොතකා ඔහු නැවත යුද බිමට අවතීර්ණ විය. ඒ අවසන් සටනේ අවසන් ජයග්‍රහණය සිදුවන මොහොත වන විට තමාද එතැන සිටිය යුතු බව අවධාරණය කරමිනි.
බොහෝ කැපවීමෙන් එවැනි අභියෝගාත්මක මෙහෙවරක නිරත වුවද ම්ලේච්ඡ කොටි සංවිධානයේ පරාජය සියැසින් දැකගන්නා තුරු ජීවත් වීමට තරම් වාසනාවක් ඔහුට නොතිබිණි.
යුද්ධය නිමාවීමට හරියටම දින 20කට පෙර පුදුමාතලන්හි පස් බැම්මක් මත එල්ටීටීඊයේ ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරුව මරු වැළඳගන්නා විට ඔහු වයස අවුරුදු 40ට පා තැබුවා පමණි.
මේ ලියා ඇත්තේ ලංකාවේ බොහෝ දෙනා අතර, නීරෝ යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි සම්මාන පදක්කම් රාශියකින් පිදුම් ලැබූ වික්‍රමසිංහ හිටිහාමිලාගේ රංජිත් ප්‍රේමසිරි රණවිරුවා ගැනය.
2021 දී ඇරිමැක් ලංකා පුද්ගලික සමාගම ඔහුට ගෞරවයක් පිණිස නීරෝ නමින් වීඩීයෝ ක්‍රීඩාවක් එළිදැක්වීමට කටයුතු කළේය. එය සමහර විට අපේ රණවිරුවෙකුගේ නමින් වීඩියෝ ක්‍රීඩාවක් නිර්මාණය වූ පළමු අවස්ථාව වන්නටද පුළුවන.
ලෝකයේ වෙනත් රටවල් තම අභිවෘද්ධිය වෙනුවෙන් දිවි දුන් මෙවැනි වීරයන් වෙනුවෙන් දහසක් දේ කළද බොහෝ විට අපේ සිරිත වන්නේ ඉතා ඉක්මනින් අපේ සැබෑ වීරයන් අමතක කර දමා කලින් කලට පහළ වන ව්‍යාජ වීරයන් කර තබාගෙන යාමය.



