සුද්දා බිම තැබූ බර කරට ගත් ලංකාවේ රැඩිකල් කළු සුද්දෝ

මේ පින්තූරයේ ඇත්තේ කුමක්ද? එය පිටුපස ඇත්තේ අපූරු කතාවකි.

අතීතයේදී ලෝකය ආක්‍රමණය කළ බටහිර ජාතීහු ලෝකයේ අන් සියලු ශිෂ්ටාචාර හා සංස්කෘතීන්ට අයත් ජනයා වනචාරී, මිත්‍යා දෘෂ්ටික, ම්ලේච්ඡ ගෝත්‍රිකයන්, අශිෂ්ටයන් ලෙස සැලකූහ.

එපමණක් නොවේ. මේ නොදියුණු අශිෂ්ට ජනයා දියුණු තත්ත්වයට හෙවත් ශිෂ්ටත්වයට ගෙන ඒම තමන්ට දෙවියන් විසින් හා ඉතිහාසය විසින් පැවරූ මහා බරක් වගකීමක් ලෙස ඔවුහු සැලකූහ.

ඔවුන් මේ ඊනියා වගකීම හඳුන්වන ලද්දේ වයිට් මෑන්ස් බර්ඩ්න් හෙවත් සුදු මිනිසාගේ බර නමැති අපූරු යෙදුමකිනි. මේ යෙදුම 1899 වසරේදී අමෙරිකානු ලේඛකයෙකු වූ රුඩ්යාඩ් කිප්ලින් විසින් රචිත කවියක තේමාව ඇසුරෙන් නිර්මාණය වූවකි.

මේ පින්තූරයේ දැක්වෙනුයේ ඒ කවියේ කියූ කතාවට අනුරූපව 1899දී අමෙරිකාවේ න්‍මාටැ නමැති සඟරාවේ පළවූ කාටූනයකි. අමෙරිකාව හා බි්‍රතාන්‍ය නිරූපණය කෙරන සංකේතාත්මක චරිත දෙකක් වූ අන්කල් සෑම් හා ජෝන් බුල් විසින් ලෝකයේ විවිධ රටවල අශිෂ්ටයන් කූඩවල පටවාගෙන ඔවුන් ශිෂ්ටත්වය කරා ඔසවාගෙන යන ආකාරය මෙයින් නිරූපණය වේ.

මෙහිදී ශිෂ්ටත්වය හා දියුණුව යනුවෙන් අදහස් කළේ අන් කිසිවක් නොව ලෝකයේ අනෙක් සියලු ශිෂ්ටාචාර, ආගම්, සංස්කෘතීන්, දැනුම් පද්ධති ආදිය විනාශ කරමින් තමන්ගේ ආගම, සංස්කෘතිය, භාෂාව හා දැනුම පමණක් ලෝකය පුරා ව්‍යාප්ත කිරීමය.

මේ අනුව ලෝකය ශිෂ්ට කිරීම තමන් සතු බරක් යැයි එදා සුදු මිනිසා පාරම් බෑවේය. අවංකවම ඔවුන් එසේ සිතුවාටත් වඩා ඔවුන්ගේ අරමුණ වූයේ ඒ තර්කය යොදාගනිමින් සිය යටත්විජිත කොල්ලය සාධාරණීකරණය කිරීමය.

ඒ යටත්විජිතවාදයේ අතීතයයි. වර්තමානයේද ඒ ක්‍රියාවලිය නොයෙක් ස්වරූපයෙන් දියත් වුවද වර්තමාන බටහිර ජාතීහු ඒ බව ප්‍රසිද්ධියේ නොකියති. ඔවුහු අද සුදු මිනිසාගේ බරක් ගැන කෙලින්ම කතා නොකරති. ඒ වෙනුවට ඔවුන් අද කරනුයේ නාමිකව හෝ අනෙකාගේ ආගමික අයිතිය ගැන, සංස්කෘතික අයිතිය ගැන භාෂා උරුමය ගැන කතා කරමින් නාමිකව හෝ ඒවා ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමය.

එහෙත් මේ ගැන කිසිවක් නොදත් ලංකාවේ බොහෝ රැඩිකල් මහත්වරුන් තවමත් අශිෂ්ට ගෝත්‍රික ලංකාවට බැනවදිමින් ශිෂ්ට යුරෝපයක් ගැන කතා කරති. ඔවුන්ගේ ලිබරල් සංස්කෘතිය ලෝකයේ එකම සංස්කෘතිය විය යුතු යැයි විශ්වාස කරති. ඇත්තෙන්ම ඔවුන් තවමත් ජීවත් වන්නේ නූතන යුගයේ නොව රුඩ්යාඩ් කිප්ලින්ලා සුදු මිනිසාගේ බර ගැන ලියූ යුගයේය.

සුදු මිනිසා අද නාමිකව හෝ ඒ බර බිම තබා තිබුණද ලංකාවේ රැඩිකල් කළු සුද්දෝ තවම ඒ බර උසුලාගෙන ඇවිදිති. එවැනි අයගේ කියුම් කෙරුම් ලංකාවේ සමාජ මාධ්‍ය තුළද තවමත් සුලබව දක්නට ලැබේ.

  • ඉසුරු ප්‍රසංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top