දියුණු රටවල රජය ව්‍යාපාර කරන්නේ නැද්ද? – ස්වීඩනයේ අත්දැකීම ඇසුරෙන් විමසා බලමු

රජය ව්‍යාපාරවල නියැලීම වරදක් බව ශ්‍රී ලංකාව තුළ කාලයක් තිස්සේ ජනප්‍රියව පවතින මතයකි. නූතන ලෝකයේ ආර්ථිකය දියුණු යැයි පැවසෙන ලිබරල් රටවල රජය ව්‍යාපාර නොකරන බව පවසන මේ මතය නියෝජනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ බටහිර ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සඳහා පෙනී සිටින විවිධ පුද්ගලයන් හා සංවිධාන විසිනි. එසේ වුවද අද මේ අදහස පක්ෂ භේදයකින් තොරව ලංකාවේ බොහෝ දෙනා අතර ජනප්‍රියව ඇති අතර, වර්තමාන මාලිමා රජය නියෝජනය කරන ඇතැම් පිරිස් ද ඇතැම් විට මේ මතය පුනරුච්චාරණය කරන බව පෙනේ. මේ ලිපියේ අරමුණ එක් රටක අත් දැකීම් ඇසුරෙන් මේ මතයේ වලංගුභාවය විමසා බැලීමය.

ස්වීඩනය යනු ලෝකයේ හොඳම ලිබරල් රාජ්‍යයක් ලෙස නිල පිළිගැනීමක් පවතින රටකි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා සිතන ආකාරයට නිදහස් වෙළෙඳ ආර්ථිකය ඉහළින් ක්‍රියාත්මක වන රටකි. එසේ වුවද සැබෑ ස්වීඩනය යනු ප්‍රධාන හා මහා පරිමාණ ව්‍යාපාර ගණනාවක් රජයේ අයිතිය යටතේ පවතින රටක් වන අතර, පහත දැක්වෙන්නේ එරට රජයට අයත් සමාගම් වල නම් ලැයිස්තුවකි.

Akademiska Hus
Apoteket
Green Cargo
Infranord
Jernhusen
LKAB
RISE – Research Institutes of Sweden
Samhall
SJ
Sveaskog
Svenska Spel, Casino Cosmopol
Swedavia
Svevia
Swedish Space Corporation
Systembolaget
Teracom
Vattenfall

මෙහි සඳහන් සමාගම් හා ඒවායේ කාර්යභාරය පිළිබඳ මීළඟට සැකෙවින් විමසා බලමු.

Apoteket යනු ඖෂධ වෙළෙඳාම සම්බන්ධ විශාල ඒකාධිකාරයක් පවත්වා ගන්නා ස්වීඩනයේ විශාලතම රාජ්‍ය සමාගමකි. Vattenfall යනු ස්වීඩන් රජයට අයත් මහා පරිමාණ බල ශක්ති සමාගමකි. මේ සමාගම ඩෙන්මාර්කය, පින්ලන්තය, නෝර්වේ, ජර්මනිය වැනි යුරෝපා රාජ්‍යයන් ගණනාවකට සේවා සපයයි. මීළඟට LKAB නම් රජයට පූර්ණ වශයෙන් අයත් සමාගම මගින් ස්වීඩනයේ පතල් කර්මාන්තයට ප්‍රධාන දායකත්වය සැපයේ.

Green Cargo යනු දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනයට දායක වන රජයට අයත් සමාගමකි. SJ යනු ඔවුන්ගේ ප්‍රධාන මගී ප්‍රවාහන දුම්රිය සේවාවයි.

මීළඟට Infranord යනු ස්වීඩනයේ සහ නෝර්වේවල බොහෝ මෙහෙයුම් සිදු කරන දුම්රිය මාර්ග නඩත්තුව සම්බන්ධව ඉන්ජිනේරු සේවා සපයන සමාගමකි. Jernhusen සමාගම මගින් ඒ රට දුම්රිය මාර්ග ජාලයට අයත් සියලු ගොඩනැගිලි පවත්වාගෙන යාම සිදුකෙරේ.

ස්වීඩනයේ මහා මාර්ග හා යටිතල පහසුකම් ප්‍රධාන ආයතනය වනුයේ Svevia නම් රජයට අයත් විශාල ඉන්ජිනේරු සමාගමකි.

ලංකාවේ ටෙලිකොම් සමාගම වැනි තොරතුරු හා සන්නිවේදන කටයුතු සම්බන්ධ රාජ්‍ය ආයතනයක් ස්වීඩනයේද ඇති අතර එය හැඳින්වෙනුයේ Teracom නමිනි.

Swedish Space Corporation යනු ස්වීඩනයේ අභ්‍යාවකාශ පර්යේෂණ සම්බන්ධ රාජ්‍ය ආයතනයයි.

මේ කාරණා අනුව අපට පෙනී යනුයේ ස්වීඩනයේ ප්‍රවාහනය, බල ශක්තිය, මහා මාර්ග, ඖෂධ වැනි රටේ සමස්ත ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් කළ හැකි සියලු මර්මස්ථාන රජය යටතේ පවතින බවය. ඒ මන්දයත් මෙකී සාධක මත රටේ සමස්ත ආර්ථිකය රඳා පවතින බැවින් ඒවා පුද්ගලික සමාගම්වල ලාභ වුවමනා අනුව පාලනය කිරීමට ඉඩදීම කිසිසේත්ම ලොව පිළිගත් ක්‍රම වේදයක් නොවන බැවිනි.

අපූරු කාරණය වනුයේ මෙකී බල ශක්තිය, මහා මාර්ග වැනි දේවලින් නොනැවතී ඒ රටේ ප්‍රධාන මධ්‍යසාර අලෙවිකරුවාද රජය වීමය. ස්වීඩනය තුළ ඇල්කොහොල් ප්‍රතිශතය 3.5% ට වැඩි මත්පැන් අලෙවි කිරීමට අවසර ඇත්තේ රජයට අයිති Systembolaget නම් දැවැන්ත සමාගමට පමණි.

එතැනින් නොනැවතී කැසිනෝ වගේ සුදු වලින් ලැබෙන ආදායම කළමණාකරණයට පවා ඔවුන් Svenska Spel, Casino Cosmopol වැනි රාජ්‍ය සමාගම් පිහිටුවා තිබේ.

ස්වීඩනය පමණක් නොව අනෙක් දියුණු යැයි කියන ලිබරල් රටවල් ගැන සලකා බැලුවද මේ කාරණා පිළිබඳ ඕන තරම් උදාහරණ සපයාගත හැකිය. ඒ අනුව පෙනී යන කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ ජිවත් වන ලිබරල් යැයි කියාගන්නා අයගේ ආර්ථික සූත්‍ර අනුව ආර්ථිකය ගොඩනංවා ගත් රටවල් ලෝකයේ විරල බව මිස අන් යමක් නොවේ.

එසේ වුවද ලිබරල් රටවල හා ඔවුන්ගේ මතවාද ලෝකය පුරා පතුරුවන්නන්ගේ වංචනික පිළිවෙත වී ඇත්තේ තමන්ගේ රටවල ආර්ථිකයන් සම්බන්ධව රාජ්‍ය මැදිහත්වීම ඉහළින් පවත්වා ගන්නා අතරේ. ලංකාව වැනි පරිධීය රටවල ආර්ථිකය රාජ්‍ය මැදිහත්වීමෙන් නිදහස් කිරීමට උපදෙස් සැපයීමය.

ප්‍රශ්නය වී ඇත්තේ ආර්ථිකය සම්බන්ධව බලවත් රටවල මතවාද පතුරුවන්නන්ගේ ඝෝෂා මිස මේ කාරණාවල සැබෑ තත්ත්වය පිළිබඳ ගැඹුරු සංවාදයක් ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ දක්නට නොලැබීමය.

  • ඉසුරු ප්‍රසංග

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top