ඔබ ජිවත් වුණේ මීට අවුරුදු දෙසීයකට කලින් කියලා හිතන්න. එහෙම නම් ඒ කාලේ ඔබට පොටෝ එකකින්වත් කාගෙවත් ලිංගික දර්ශන බලන්න ඉඩක් තිබුණේ නෑ. එක්කෝ චිත්‍රයක්, පිළිමයක් දිහා බලන්න ඕන. නැත්නම් සජීවී දර්ශනයක් දිහා බලන්න ඕන. ඒත් ප්‍රවාහනය, සන්නිවේදනය මුකුත් දියුණු නැති ඒ කාලේ මිනිහෙකුට ජිවිත කාලේ තුළ සජීවීව දකින්න ලැබෙන ගැහැනු ප්‍රමාණය කොයි තරම් අඩුද?

හැබැයි අද කාලේ පිරිමින්ට අන්තර්ජාලය නිසා ලෝකේ එක එක රටවල ඉන්න එක එක ජාතියේ කාන්තාවන් මිලියන ගාණක ලස්සන රූප, නැලවිලි පැද්දිලි විතරක් නෙමෙයි නිරුවත් දර්ශන පවා ඇති තරම් නැරඹීමේ හැකියාව ලැබිලා තියනවා. එතකොට මිනිස්සුන්ට මේ හැකියාව ලැබුණේ මානව ශිෂ්ටාචාරේ අපි දන්න අන්තිම කෙළවරේදී. මේ ගෙවී යන්නේ 2025 වර්ෂය.
ඊට අනුව බැලුවොත් හෝමෝ සේපියන් සේපියන්ගේ වයස අද වෙද්දි අවුරුදු ලක්ෂ තුනක් විතර වුණාට ඡායාරූපයේ වයස තාම අවුරුදු 199යි. සිනමාවේ වයස අවුරුදු 130යි. ගූගල් සමාගමේ වයස අවුරුදු 26යි. ඒ නිසා තමයි මේක අපි අන්තිම කාලේ පැන්න පිම්මක් වෙන්නේ.
එතකොට අතීතයේ අන්තඃපුරයක් රජවරුන්ට විතරයි. හැබැයි අද කාලේ හැම පිරිමියාටම අන්තර්ජාලය විසින් රජවරුන්ටත් වඩා විශාල මිලියන ගාණක අසීමිත අන්තඃපුරයක් සපයා දීලා තියනවා. ඒ තමයි ඩිජිටල් තාක්ෂණය ලිංගිකත්වයට බලපාපු හැටි.
එතකොට මේක හරහා මෙතෙක් මිනිසා වසර ලක්ෂ ගණනක් තිස්සේ ගෙවා දැමූ සාමාන්‍ය ලිංගික ඇවතුම් පැවතුම් සහිත සාමාන්‍ය ලිංගික ක්රියාකාරීත්වයේ ස්වභාවය එක වරම නොසිතූ විරූ තරමේ මහා විපර්යාසයකට ලක්වී තිබෙනවා.

ඒ විපර්යාසය මිනිස් මොළයට, මනසේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට, යම් යම් අහිතකර බලපෑම් ඇති කරන නිසා තමයි පෝන් ඇඩික්ෂන් හෙවත් ලිංගික දර්ශන වලට ඇබ්බැහි වීම කියන මාතෘකාව ගැන අද කතා බහක් ඇති වී තියෙන්නේ.
සරලව ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් දේ තමයි මේ ලිංගික දර්ශන බලන්න බලන්න ඒ ගැන තියන කුතුහලය උනන්දුව අඩු වෙලා සාමාන්‍යකරණය වෙනවා කියන එක. හැබැයි ඇත්තටම වැඩිපුර වෙන්නේ උනන්දුව අඩු වෙන එක නෙමේ වැඩි වෙන එක. හැමෝටම මේක එක විදිහට බලපාන්නේ නැතත් සාමාන්‍යයෙන් ඒක වෙන්න පුළුවන් දෙයක්. මේකට තමයි අපි පෝන් ඇඩිෂන් කියලා කියන්නේ. ඊළඟට බලමු ඇයි මිනිස්සු මේවාට ඇබ්බැහි වෙන්නේ කියන එක ගැන.
බොහෝ ජීවීන්ගේ ලක්ෂණයක් තමයි විරුද්ධ ලිංගයාගේ විවිධත්වය වැඩිවන විට ලිංගිකව එකතු වීමේ උනන්දුව වැඩි වන එක. මේක වැඩිපුරම බලපාන්නේ පිරිමි සතුන්ට.
ඒ කියන්නේ මීයෙක් වගේ යම් සතෙකුට යම් කාල පරාසයක් තුළ එකම ගැහැනු සතෙක් එක්ක නැවතනැවත ලිංගිකව එක් වෙන්න ලැබුණොත් ඌට ඒ වැඩේට තියන උනන්දුව එන්න එන්න අඩු වෙනවා. හැබැයි ඌට ඒ කාලය තුළම අලුත් අලුත් ගැනු සත්තු හම්බ වුණොත් ලිංගිකව එක් වෙන්න තියන උනන්දුවත් එන්න එන්න වැඩි වෙනවා. මේ සංසිද්ධිය අපි හඳුන් වන්නේ කුලේජ් ආචරණය (Coolidge effect) කියලා. එතකොට මේ කුලේජ් ආචරණය කියන එක සත්තුන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් ජීව විද්‍යාත්මකව අදාළ කාරණයක්.

මේක වෙන්නේ මිනිස්සුන්ගේ නින්ද, අවදි වීම, මතකය, චලනය, සතුට, ප්‍රීතිය වගේ දේවල් පාලනය කරන ඩොපමීන් (Dopamine) කියන රසායනික ද්‍රව්‍ය නිසා. ආදරය ලිංගිකත්වය ගැන ගත්තත් ඩොපමින් වලින් තමයි ජිවින්ගේ ලිංගික උනන්දුව, සතුට, ප්‍රීතිය ඇති කරන්නේ. එතකොට එකම ගැහැනු සතෙක් දිගට ඇසුරු කරද්දී වෙන දේ තමයි එයා සම්බන්ධව මේ ඩොපමීන් මට්ටම ඉහළ යාම අඩු වෙන එක. එතකොට අලුත් අලුත් ගැහැනු සතුන් ලැබුණොත් වෙන දෙයක් තමයි පිරිමි සතාගේ ඩොපමින් මට්ටම නැවත නැවත ඉහළ යන එක. ඒ කියන්නේ ලිංගික උනන්දුව අලුත් වෙන එක.
මේ අනුව සංස්කෘතියෙන් මොන බාධා යොදා තිබුණත් සොබා දහමෙන් පිරිමියා ගැහැනියට වඩා ලිංගික විවිධත්වයට දක්වන සංවේදීතාව වැඩියි. ඒකේ අදහස සංස්කෘතියෙන් එය සීමා වීම වැරදියි කියන එක නෙමෙයි.

එතකොට මේ පෝන් වීඩියෝස් නරඹන කොටත් වෙන දේ තමයි ඒවායේ තියන අසීමිත විවිධත්වය එක්ක, අලුත් අලුත් දර්ශන දකින කොට අපේ ඩොපමින් මට්ටම නැවත නැවත ඉහළ යන එක. ඩොපමීන් ලෙවල් එක නැවත නැවත ඉහළ යන කොට මිනිස්සුන්ගේ සතුට වැඩි වෙනවා. ඒ නිසා ඔවුන් නැවත නැවත ඩොපමින් මට්ටම ඉහළ දා ගන්න උත්සාහ කරනවා. ඒ සඳහා අලුත් අලුත් ගැහැනු රූප හොයන්න පෙළඹෙනවා. එතකොට එක දවසක් දෙකක් බලපු වීඩියෝ එක ආයේ බලන්නේ නෑ තව තව ඒවා හොයනවා. කොච්චර වීඩියෝ තිබුණත් ඒවා මදි වෙනවා. ඒ විදිහට තමයි ඒක ඇබ්බැහියක් බවට පත් වෙන්නේ.

මිනිසා ඇතුළු ජීවීන් ස්වභාවිකවම මේ ලිංගික විවිධත්වයට සංවේදී වීම සාමාන්‍ය දෙයක්. හැබැයි අන්තර්ජාලය නිසා වෙන දේ තමයි ස්වභාවික පරිසරය තුළ මිනිසාට අත් විදින්න ලැබෙන සාමාන්‍ය ලිංගික විවිධත්වය අසීමිත ලෙස දරාගත නොහැකි ලෙස ඉක්මවා යාම. එතකොට මේ අසාමාන්‍ය තත්ත්වය නිසා යම් යම් හානිකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒවා සම්පූර්ණ නවත්තන්න කාටවත් බැරි වුණත් මේ ගැන දැන සිටීම ඒවායින් ඇතිවන අහිතකර ප්‍රතිපල අවම කිරීමට හේතු වෙනවා.
- ඉසුරු ප්‍රසංග



