එතකොටත් ලංකාව පාලනය කරන්නේ ඉංග්‍රීසි කාරයෝද?
අකාල සන්ධ්යා ටෙලි නාට්යයේ මහනුවර යුගයේ සිට 1990 ගණන්වලට කාලය හරහා ගමන් කරපු නාගසිංහගෙන් ඔහුගේ ගුරුතුමා එහෙම ප්රශ්නයක් අහනවා.
නෑ. හැබැයි අපේ ඔළු පාලනය කරන්නේ ඉංග්රීසි කාරයෝ…
මේ ටෙලි නාට්යය මුලින්ම බලපු ළමා කාලේ පවා මේ දෙබස මගේ හිතට අමුත්තක් ඇති කළ එකක්. ඒකේ අදහස එදා හරියට තේරුණේ නැතත් ඒ මොකක්ද කියලා හිතන කුතුහලයක් එදා ඒකෙන් ඇති වුණා. අද සමාජ මාධ්ය හැසිරීම් දිහා බලද්දී ඒ කතාව කොයි තරම් ගැඹුරු ඇත්තක්ද කියලා අපට හොඳින්ම වැටහෙනවා.
ලංකාවේ කලාව, සිනමාව, සාහිත්යය ඇතුළේ හැමදාම ඉහළම පිළිගැනීමක් තිබුණේ රැඩිකල් වාමාංශික අදහස් දරන අයට. හැබැයි ජයන්ත චන්ද්රසිරි තමන්ගේ මුල් කාලීන නිර්මාණවල සිටම පෙන්නුවේ ජාතිකත්වට නැඹුරු මතයක්. ඇත්තටම එහෙම අය ලංකාවේ හිටියේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. බොහෝ දෙනෙක් ජාතිකවාදී අදහස් වෙනුවෙන් තදින් පෙනී නොසිටින කාලයක ජයන්ත වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්යා වගේ ටෙලි නාට්යය හැදුවා. අද වගේම එදාත් සුපුරුදු විදිහට නිරාගමික, රැඩිකල් අදහස් දරපු අය ජයන්තගේ නිර්මාණවලට පැල් බැඳගෙන පහර දුන්නා. නලින් ද සිල්වා වගේ අය ඒවාට ප්රහාරාත්මකව ප්රතිඋත්තර දුන්නා. ඒ කාලේ විශ්වවිද්යාලවල එහෙම සංවාද දියත් වුණා. කවුරු බැන්නත් මිනිස්සු ඒ නිර්මාණ ආදරයෙන් වැලඳගත්තා.
පාසල් යන කාලේ කියවපු සමහර විකල්ප සඟරාවලින් ජයන්තට එල්ල කළ ප්රහාරයන් මට තවම මතකයි. එක්තරා ප්රකට මාක්ස්වාදී විචාරකයෙකු ජයන්තව හඳුන්වලා තිබුණේ බොදු බැතියෙන් අලෝලනය වූ ප්රතිගාමී විඥානවාදියා කියන නමින්. ඒවා කියවන කාලේ මමත් ඒ වාමාංශික අදහස් තදින් නියෝජනය කරපු හද්ද රැඩිකල් නිරාගමිකයෙකු වුවත්, ජයන්තට කවුරුත් එහෙම බනිනවාට මගේ කැමැත්තක් තිබුණේ නෑ. මමත් බොදු බැතියට තදින් විරුද්ධ නිරාගමිකයෙකු වුණත් ජයන්තගේ නිර්මාණ ගැන ඒ කාලේ සිටම තර්කානුකූලව පැහැදිලි කළ නොහැකි මොකක්දෝ බැඳීමක් තිබුණා.
ඒ බැඳීම පිටිපස්සේ තිබුණේ ඔහු එදා තමන්ගේ නිර්මාණ තුළින් හිමින් සීරුවේ අප තුළ රෝපණය කරපු ජාතිකත්වයේ මුල් බිජුවටවල බලපෑම. ජාතිකත්වය ගැන න්යායික කියවීම්වලට කලින් ජයන්ත ඒක සියුම්ව අපේ හැඟීම්වලට එන්නත් කරලා තිබුණා. ඒ වගේම කලාව ඔස්සේ තමන් තරයේ අකමැති මතයක් ගැන වුණත් සහනශීලී ආකල්පයක් කෙනෙක් තුළ ඇති කරන්න පුළුවන්. මොකද කලාව බොහෝ වෙලාවට තර්ක බුද්ධිය අභිභවා නැගී සිටිනවා.
ජයන්තගේ මේ පුදුමාකාර භාව කලම්බනයට කේමදාස මාස්ටර්ගේ සංගීතයෙනුත් සෑහෙන බලපෑමක් වුණා. මට දැනෙන හැටියට නම් ජයන්තගේ නිර්මාණ අපට කරපු බලපෑමේ ගෞරවයෙන් සීයට පනහක්වත් කේමදාස මාස්ටර්ට අයිති විය යුතුයි. මාස්ටර්ගේ අභාවය නිසා ජයන්තගේ නිර්මාණවලට සිදුවූ අඩුව මැකිය හැකි කිසිම සංගීතඥයෙක් තවම බිහි වී නැහැ කියන එකයි මගේ පෞද්ගලික හැඟීම.
පස්සේ කාලෙක මම මේ විඥානවාදී කතාව ගැන ජයන්ත අයියාගෙන් ඇහුවා.
ඇත්ත නේන්නම් මල්ලි… මම බොදු බැතියෙන් ආලෝලනය වූ විඥානවාදියෙක් තමයි. ඒක මට කරන අපහාසයක් නෙමෙයි ගෞරවයක්… ජයන්ත ඔහුගේ අපූරු නාටකීය ස්වරයෙන් හිනාවෙවී එහෙම උත්තර දුන්නා.
මේ විදිහට තමයි ජයන්ත ජාතිකත්වය වෙනුවෙන් නිර්මාණ බිහි කළේ. පස්සේ කාලේ ජනප්රිය රැල්ලට ජාතිකවාදී වෙලා රජ කතා, බණ කතා හදපු හුඟක් අය හිටියට එහෙම චිත්රපට හදපු බොහෝ අයට කලාව ගැන සූක්ෂ්ම අවබෝධයක් තිබුණේ නෑ. ඒ හුඟක් අය මුදලාලිලා.
හැබැයි ජයන්තට ජාතිකත්වය ගැන හැඟීම වගේම කලාව කියන්නේ මොකක්ද කියන අවබෝධයත් එදා ඉඳලාම තිබුණා. ඒක තමයි ඔහුගේ කල් පවත්නා සාර්ථකත්වයට හේතුව. මොකද ජයන්ත කවදාවත් ප්රචාරකවාදී විදිහට අපේ සංස්කෘතිය මාරයි කියන්න නාට්ය හැදුවේ නැහැ. එහෙම හැදුවා නම් ඒවා සදාතනික අගයක් සහිත නිර්මාණ වෙන්නේ නැහැ. වෙද හාමිනේ වගේ නාට්යයක් නම් ටිකක් හෝ ප්රචාරකවාදී කියන්න පුළුවන් වුණත්, දඬුබස්නාමානය, අකාල සන්ධ්යා වගේ නාට්යවල ඒ ගතිය තිබුණේ නැහැ. අපේ සංස්කෘතියේ තිබුණු සියුම් ප්රබලතා වගේම දුබලතාත් ඒවායින් නිරූපණය වුණා. කුල භේද, පන්ති භේද වගේ සමාජ ගැටලු වගේම මිනිස්සු තුළ තියන ධනකාමය, බලකාමය, ආක්රමණශීලිත්වය වගේ දුර්ගුණාංග ගැන ඒවායේ හොඳ සංවාදයක් තිබුණා. ඒ නාට්යවල අපි දැක්කේ මනුෂ්යත්වයට අදාළ ජාගර ලක්ෂණ අඩුවැඩි වශයෙන් තියන යථාර්ථවාදී චරිත මිසක් කෘත්රිම විදිහට හදපු පිරිසිදු සිංහල බෞද්ධ බෝධිසත්ත්ව චරිත නෙමෙයි.
හැබැයි ඒවා අතරින් බෝධිසත්ත්ව ගුණාංගවල වටිනාකම් ජයන්ත බොහොම සියුම්ව ඉස්මතු කළා. ඒකට හොඳම උදාහරණයක් තමයි සේතුපාල ගුරුන්නාන්සේගේ චරිතය. දේශපාලන අදහස් වෙනස් වුණත් ඒ චරිතය රඟපාපු බුද්ධදාස විතානාරච්චි මගේ හොඳ හිතවතෙක්. මට තවමත් ඔහුව පේන්නේ සේතුපාල විදිහට මිසක් බුද්ධදාස විදිහට නෙමෙයි. ඒ බව මම බුද්ධි අයියාට කීප වතාවක්ම කියලත් තියනවා. ඒක තමයි කලාවේ අතාර්කික බලපෑම. ඒ විදිහට තමයි ජයන්ත තමන්ගේ නිර්මාණවලින් එදා සිටම ජාතිකත්වය වගේම මනුෂ්යත්වයට අදාළ විශ්ව සාධාරණ වටිනාකම් පිළිබඳ සංවාදයක් ගොඩනැගුවේ.
ඔහු පස්සේ කාලේ කරපු ගරිල්ලා මාකටින් චිත්රපටය කියන්නේ සරල පක්ෂ භේදවලින් තොරව අපි ජීවත් වන යුගයේ දේශපාලනය ගැන අතිශය සියුම් විශ්ලේෂණයක් සහිත ඉතා ගැඹුරු සිනමා කෘතියක්. ඒ චිත්රපටයේ සියුම් යටිපෙළ අරුත් ගැන අවශ්ය නම් වෙනම ශාස්ත්රීය නිබන්ධනයක් ලියන්න තරම් දේවල් තිබෙනවා. අවාසනාවට අපේ රටේ ඒවා ගැන ගැඹුරු සංවාදයක් ඇති වී නැහැ.
ජයන්තගේ මුල්කාලීන නිර්මාණ අද නැවත නැවත බැලුවත් වෙනදා නොදැනුණු අලුත් අලුත් අර්ථයන් මතු කළ හැකි ගතියක් ඒවායේ හොඳින්ම තිබෙනවා. ඔහු පුද්ගලිකව මගේ අදහස් හා චින්තනය වෙනස් කිරීමට ප්රබල බලපෑමක් කළ නිර්මාණකරුවෙක්. ජයන්ගේ නිර්මාණ ගැන මේ හදිසි සටහන ලියන්න හිතුණේ ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණය ළඟදී තිරගත වීමට නියමිත නිසා. ඒ ගැනත් ඉදිරියේදී වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ ලිපියේ තිබෙන ජාතිකත්වය, මාක්ස්වාදය, විඥානවාදය, භෞතිකවාදය වගේ වචන සහ ඒවායින් ඇඟවෙන සංකීර්ණ අරුත් ගැන මෙහි වැඩිදුර පැහැදිලි කිරීම් සිදුකොට නැති බැවින් ඒ ඔස්සේ පටු බෙදීම්, පැතලි නිගමන ඇති කර නොගෙන මෙය කියවීමේ වැදගත්කම ගැනත් අවසාන වශයෙන් සිහිපත් කළ යුතුයි.
– ඉසුරු ප්‍රසංග



