යෝනියක් තුළ ජීවත් වූ යක්ෂයා සහ ජපානයේ ශිශ්න උත්සවය

👉 ජපානයේ තියනවා එක්තරා පුදුමාකාර උත්සවයක්. මේකට කියන්නේ ශිෂ්ණ උත්සවය හෙවත් පීනස් ෆෙස්ටිවල් කියලා.

👉 මේ උත්සවය පැවැත්වෙන කාලෙට දැවැන්ත පුරුෂ ලිංගවල අනුරූ හදලා පාරේ අරන් යනවා. තරුණියෝ මේවා උඩ නැගලා පොටෝ ගන්නවා. ගෑනු ළමයි ශිශ්න හැඩේට හදපු අයිස් ක්රීම් ලොලිපොප් වගේ දේවල් කනවා. ශිශ්න වෙස්මූණු දාගෙන මිනිස්සු පාරේ නටනවා. ශිශ්න හැඩේට හදපු ඉටිපන්දම් ඇතුළු නොයෙක් දේවල් මේ කාලෙට හැම තැනම දකින්න ලැබෙනවා.

👉 මේ ගැන ලියන්නේ නිකම්ම නිකම් සාමාන්ය දැනීමට අදාළ කුතුහලය සහිත තොරතුරක් කියන්න නෙමෙයි. එතනින් එහාට ගිහින් සංකල්පීය වශයෙන් ලංකාවේ අපට තේරුම්ගන්න වැදගත් දෙයක් මේකේ තියන නිසා. ඒ ගැන කියන්න කලින් ශිශ්න උත්සවය ගැන හැඳින්වීමක් කරලා ඉන්නම්.

👉 මේ කිව් ශිෂ්ණ උත්සවයට ජපන් භාෂාවෙන් කියන්නේ කනමරා මත්සුරි කියලා. ඒකේ තේරුම වානේ ශිශ්නයේ උත්සවය කියන එක.

👉 මේ උත්සවය පැවැත්වෙන්නේ කවසාකි නගරය කේන්ද්ර කොට ගෙන. කවසාකි කියන්නේ ජපානයේ අට වැනි වැඩිම ජනගහනය සහිත නගරය.

👉 මේක කවසාකි නගරයේ තිබෙන ෂින්ටෝ ආගම එක්ක සම්බන්ධ කනයාමා කියන දේවාලයේ ඉන්න දෙවියෙක් හා දේවතාවියක් මුල් කරගත්ත උත්සවයක්. මේ උත්සවය හා සම්බන්ධ පුරාණ අත්භූත කතාවක් තියනවා.

👉 ඒ කතාව අනුව එක්තරා ලස්සන ගෑනු ළමයෙක් එක්ක උල් දත් තියන යක්ෂයෙක් ප්රේම සම්බන්ධයක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඒත් ඒ තරුණිය මේකට විරුද්ධ වීම නිසා යක්ෂයා තරුණියගේ යෝනි මාර්ගයට ඇතුළු වෙනවා. ඉන් පස්සේ වෙනත් කෙනෙකුට තරුණිය විවාහ කරගන්න බෑ. ඒ ඇයව විවාහ කරගන්නා මනාලයන්ගේ පුරුෂ ලිංගය කඩාගෙන කෑමට යක්ෂයා කටයුතු කරන නිසා.

👉 ඉන් පසු මේ තරුණිය කම්හලට ගිහින් වානේ ශිශ්නයක් හදාගෙන එනවා. ඊට පස්සේ මේ රාක්ෂයා ඒකත් හපන්න ගිහින් උගේ දත් ටික කැඩිලා යනවා. ඊට පස්සේ ඌ තරුණිය අතෑරලා යන්න තීරණය කරනවා. ඕක තමයි කතාව. එතකොට මේ කතාවේ ඉන්න තරුණිය බේරෙන්නේ වානේ ශිශ්නය නිසා.

👉 එතකොට අර කලින් කිව්ව කනයාමා කියන දේවාලයේ තමයි යකඩ හා පතල් සම්බන්ධ දෙවියෝ හා දේවතාවිය හිටියා කියන්නේ. මේ දෙවියන්ගේ නම කනයාමා හිකෝ. දේවතාවිය කනයාමා හිමේ.

👉 එතකොට 17 වැනි සියවසේ විතර කවසාකි නගරේ හිටිය ගණිකාවෝ සමාජ රෝගවලින් ආරක්ෂා වෙන්න මේ දෙවියන්ට බාර හාර වුණා කියලා කියනවා. ඔය විදිහට තමයි අර යක්ෂයාගේ කතාව දේවාලයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේ දේවාලයේ වානේ ශිශ්නයක් ඉදි කළා කියලා කියනවා.
පස්සේ කාලේ සමාජ රෝගවලින් බේරෙන්න විතරක් නෙමේ. දරු පල ලැබෙන්න. දරු ප්රසූතිය පහසු වෙන්න. විවාහ ජීවිතේ සාර්ථක වෙන්න වගේ විවිධ දේවල්වලට මේ දේවාලේ භාරහාර වුණා කියනවා. මේක තමයි ශිශ්න උත්සවයේ ඓතිහාසික පසුබිම.

👉 එතකොට ඉතිහාසයේ ඉඳන් ආපු මේ උත්සවය අභාවයට ගිහින් තිබිලා නැවත 1969දි ආපහු පටන් අරන් තියනවා.

👉 අද මේ උත්සවය ඉතාම ජනප්රියයි. මේකට විශාල වශයෙන් විදේශ සංචාරකයෝ එනවා. විශාල ආදායමක් ඒ හරහා ලැබෙනවා. එතකොට ලිංගාශ්රිත ඒඩ්ස් වැනි රෝග මර්දන කටයුතු සඳහාත් මේ ආදායමෙන් කොටසක් යොදවන බව කියනවා.

👉 දැන් මම එන්නම් මේකෙන් ලංකාවට වැදගත් වෙන දේ මොකක්ද කියන තැනට.

👉 මොකද ලංකාව විද්යාත්මක දියුණුව අතින් පහළ තැනක ඉන්න රටක් වුණත් අපි නිතරම අපේ ආගමික සංස්කෘතික කාරණා විද්යාවේ අඩිකෝදුවෙන් මනිමින් ඒවාට පහර දෙනවා සමච්චල් කරනවා. ඒ දේවල් මිත්යාවන් ලෙස සලකනවා.

👉 හැබැයි අපට වඩා විද්යාව දන්නා ජපානය වගේ රටවල මිනිස්සු තවමත් පැරණි අත්භූත කතා මත පදනම් වූ ශිශ්න උත්සව සමරනවා.

👉 මේක ඒ කාරණයට අදාළ තවත් එක උදාහරණයක් විතරයි. අවශ්ය නම් මේ බව සනාථ කෙරෙන මීටත් වඩා ප්රබල උදාහරණ ලෝකය පුරාම ඕනෑ තරම් තිබෙනවා.

👉 අද අපට පේන දෙයක් තමයි මේ විද්යාව දන්නා රටවල් සංස්කෘතිය සංස්කෘතිය ලෙසත් විද්යාව විද්යාව ලෙසත් පවත්වා ගත්තත් ලංකාවේ අපි මේ දෙක අතර නිතරම අනවශ්ය ගැටුමක් හදාගන්න උත්සාහ ගන්නවා කියන එක.

👉 නමුත් මේ ජපානය වගේ රටවල් තමන්ගේ සංස්කෘතික කාරණා පවත්වා ගන්නා ගමන් ඒවා නූතන විද්යාව එක්කත් නව යුගයට අවශ්ය විදිහට බද්ධ කරනවා. අර සමාජ රෝග මර්දනයට මේ ශිශ්න උත්සවය ඉවහල් කරගැනීමෙන් ඒ කාරණය තමයි අපට පේන්නේ.

👉 මේ ඇසුරින් අපට මූලික කාරණා කීපයක් තේරුම් ගන්න පුළුවන්.

1. ආගමික සංස්කෘතික කාරණා හුදු විද්යාවේ මිනුම් දඬුවලින් පමණක් මැන බැලීම සාධාරණ නෑ කියන එක.

2. විද්යාව තාක්ෂණය කොතරම් දියුණු වුවත් ආගම්, ඇදහිලි, සංස්කෘතීන් සපුරා අහෝසි නොවන බව

3. මිනිසා වනාහී හුදු තර්කය, බුද්ධිය අනුව පමණක් කටයුතු කරන තාර්කික, බුද්ධිවාදී, විචාරශීලී සත්ත්වයෙකු නොවන බව

4. තර්කයට, බුද්ධියට, විචාරයට අනුකූල නොවන බොහෝ අතාර්කික දෑ මිනිසාගේ මානසික, ආධ්යාත්මික ලෝකය තුළ පවතින බව. සහ එය මිනිස් ස්වභාවයක් බව

5. විද්යාව, තර්ක බුද්ධිය සේම මේ අතාර්කික, මානසික කාරණා මිනිසාගේ පැවැත්මට වැදගත් මෙහෙයක් ඉටු කරන බව.

6. ලංකාවේ බොහෝ දෙනා හිතන පරිදි විද්යාවේ දියුණුවට ආගම හෝ සංස්කෘතිය බාධාවක් නොවන බව.

👉 ශිශ්න උත්සවය පමණක් නොවෙයි නූතන ලෝකයේ බොහෝ ආගමික සංස්කෘතික උත්සව, චාරිත්ර වාරිත්ර ආදිය දිහා බැලීමේදී අපට මේ කාරණා කොතෙක් සාධාරණද නැද්ද කියලා නිගමනය කරන්න පුළුවන්.

👉 ශිශ්න උත්සවය ඊට අදාළ එක උදාහරණයක් විතරයි. මේ උත්සවය ගැන ඡායාරූප ආදි විස්තර  අන්තර්ජාලයේ ඉතා සුලබව හමුවන බැවින් අවශ්‍ය කෙනෙකුට පහසුවෙන් මීට අදාළ රසවත් තොරතුරු සොයාගැනීමට හැකියාව තිබෙනවා.

– ඉසුරු ප්රසංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top