හයි ස්පීඩ් ගියාට ලක්ෂ ගාණක දඩයක් සහ තව දඬුවම් පෝළිමක් – පින්ලන්තයේදී ලාංකිකයෙක් මුහුණ දුන් අපූරු අත්දැකීම

👉 ලංකාවේ හයි ස්පීඩ් ගිහින් අහුවෙන එක පොඩි දඩයක් ගහන සරල වැරැද්දක්. හැබැයි පින්ලන්තේ ඒ වගේ දෙයක් වුණොත් මොකද වෙන්නේ? ලංකාවෙන් එහෙ ගිය මට ඒ අපූරු රසවත් අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා.

👉 එදා රෑ දහය හමාරට විතර මම වැඩ ඇරිලා ගෙදර යමින් හිටියේ. පාරේ එකම එක වාහනයක්වත් නෑ. මහන්සිය නිසා ඉක්මනට ගෙදර යන්න ටිකක් හයියෙන් පෑගුවා විතරයි. පොලිස් වාහනයක් මගේ ඉස්සරහින් ඇවිත් මාව නතර කළා.

👉 නතර කළ ගමන් එයාලා මම බීලද කියලා පරීක්ෂා කරන මැෂින් එක මගේ කටට ඇල්ලුවා. මම බීලා නෑ. හැබැයි හයි ස්පීඩ් ඇවිත්. පාරේ යන්න පුළුවන් වේගය හැටයි. මම ආපු වේගය සීයයි.

👉 මේ වගේ වෙලාවක ලංකාවේ වගේ පොලිස් කාරයාට කීයක් හරි දීලා, අඳුරන කෙනෙකුට කෝල් එකක් දාලා බේරෙන්න මෙහෙ බෑ. මොකද මාව අල්ලන කොටම මම ගැන සියලු විස්තර එයාලාගේ දත්ත පද්ධතියට ඇතුළත් වෙලා ඉවරයි. පොලිස් වාහනය ඇතුළෙම ඒකට ඕන සියලු තාක්ෂණික පහසුකම් තියනවා.

👉 මම පොලිස් කාරයාට පින්සෙන්ඩු වුණාට කරන්න දෙයක් නෑ. මට දෙන්න පුළුවන් එකම සහනය පාරේ වාහන තිබුණේ නෑ, මම මහන්සි වෙලා හිටියේ වගේ මම කියන නිදහසට කාරණා ටික ඉහළට වාර්තා කරන එක විතරක් බව පොලීසිය මට දැනුම් දුන්නා.

👉 ඒ සේරම ඒ විදිහටම වාර්තා කළත් කිසිම තේරුමක් වුණේ නෑ. මෙහෙ තව අපූරු දෙයක් තියනවා. ඒ තමයි මේ වගේ වැරදිවලට දඩ ගහන්නේ වරද කළ කෙනාගේ ආදායම් මට්ටම අනුව. ආදායම අඩුයි නම් දඩය අඩුයි. වැඩියි නම් වැඩියි.

👉 ඒ අනුව මගේ ආදායම අනුව මට දඩය නියම වුණා. ආදායම අනුව කියලා ගහපු දඩය වුණත් ඒක මට දරාගන්න පුළුවන් ගාණක් නෙමෙයි. දඩය යුරෝ 808ක්. වර්තමාන විනිමය අනුපාතය අනුව ලංකාවේ රුපියල්වලින් දෙලක්ෂ අනූදාහක විතර ගාණක්.

👉 මේක මට ගෙවන්න ලේසි ගාණක් නෙමෙයි. අන්තිමට මම වාරික එකොළහකින් මේ දඩය ගෙවන්න පොරොන්දු වුණා. මම වාරික ගෙවන එක දවසකින් හරි පරක්කු වුණොත් මම වැඩ කරන තැනට දඩේ එනවා මෙයාගේ පඩියෙන් වහාම මේක කපා ගන්න කියලා.

👉 එතනින් කතාව නතර වෙන්නේ නෑ. ඊට පස්සේ මාස දෙකකට මගේ ලයිසන් එක කැන්සල් වෙනවා.

👉 ලයිසන් එක කැන්සල් වුණාම වැඩට යන්නේ කොහොමද? ඊට පස්සේ මට සිද්ධ වෙනවා තව රුපියල් හැටදාහක් විතර වියදම් කරලා පාපැදියක් මිලදී ගන්න. ඒකට ගිය සල්ලිවලටත් වඩා අමාරු වැඩේ තමයි මාස දෙකක් තිස්සේ මහ රෑ පට්ට සීතලේ මේ බයිසිකලේ පැදගෙන වැඩට යන එක. හැබැයි මාස දෙකක්ම ඒ පරිප්පුව කන්නත් මට සිද්ධ වුණා.

👉 එතකොට වැඩේ එතනින් ඉවරයිද? නෑ තව තියනවා. ලයිසන් එක කැන්සල් කළාට අමතරව එයාලා මට ආපහු ඩ්රයිවින් ස්කූල් යන්න නියම කරනවා. ඩ්රයිවින් ස්කූල් එකට ගිහින් ඒකේ ලෙසන් හතරකට ඔන් ලයින් සම්බන්ධ වෙලා ඒවා ඉවර කරන්න ඕන. ඒකටත් ලංකාවේ මුදලින් තව රුපියල් හැටදාහක් විතර ගෙවන්න සිද්ධ වුණා.

👉 කතාව එතනින් ඉවර වෙන්නෙත් නෑ. ඊට පස්සේ මම කරපු මේ වරද නිසා මට අවුරුදු පහක් යන කල් ඒ රටේ පබ්ලික් ට්රාන්ස්පෝර්ට්වලට අදාළ කිසිම ලයිසන් එකක් ගන්න ඉල්ලුම් කරන්න බැහැ. ඒ කියන්නේ මට අවුරුදු පහක් යන කල් එහේ බස්, ටැක්සි, ඇම්බියුලන්ස් වගේ පොදු ප්රවාහනයට භාවිත කරන වාහන එලවීම තහනම්.

👉 තව ටිකක් තියනවා. ඉතිරි කොටස තමයි ඒ රටේ පීආර් දෙනකොට කවදා හරි කරපු මේ වගේ වැරැද්දක් තියනවා නම් ඒක නැවත සලකා බලන එක.

👉 ලංකාවේ නම් මෙහෙම වැරැද්දක් කළාම උපරිම දඬුවම වින්දත් වෙන්නේ තැපැල් කන්තෝරුවකට එවෙලෙම ගිහින් පොඩි දඩ මුදලක් ගෙවීම විතරයි. එතනින් වැඩේ ඉවරයි. හැබැයි පින්ලන්තේ හයිස්පීඩ් එලවීම කියන්නේ කෙලින්ම අපරාධ වරදක්. ඒ වරද කළොත් එක දඬුවමක් නෙමෙයි දඬුවම් පෝලිමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

👉 ලක්ෂ තුනකට කිට්ටු දඩ මුදල, ලයිසන් එක මාස දෙකකට කැන්සල් වීම, බයිසිකලයක් සඳහා තව රුපියල් හැටදාහක් වියදම් වීම, මාස දෙකක් පට්ට සීතලේ බයිසිකලේ වැඩට යන්න වීම, ඩ්රයිවින් ස්කූල් එකට යන්න වීම, ඒකට තව රුපියල් හැටදාහක් ගෙවන්න වීම, පොදු ප්රවාහනයට අදාළ වාහන එලවීම තහනම් වීම, පීආර් ගැනීමට ගැටලුවක් වීම කියන සේරටම මුහුණ දෙන්න මට සිද්ධ වුණා.

👉 අන්තර් ජාලයේ තියන තොරතුරු අනුව පින්ලන්තේ මිලියනපතියෙක් මේ වරද කරලා අහුවුණා නම් වදින දඩය යුරෝ 140000ක් වගේ වෙන්න වුණත් පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ රුපියල්වලින් කිව්වොත් රුපියල් කෝටි පහක වගේ මුදලක්. විශ්වාස කරන්නත් බෑ වගේ නේද?

👉 මම මේ ගැන කිව්වේ මෙහෙ තියන හැමදේම හොඳයි කිසි වරදක් නෑ කියන්න නෙමෙයි. හැබැයි මේ වගේ දේවල් සම්බන්ධව විධිමත් සිස්ටම් එකක් ක්රියාත්මක වීම වැදගත්.

👉 නැත්නම් මිනිස්සු කියන්නේ කොහේ හිටියත් වැරදි කරන්න පෙළඹෙන අය. අපේ ලංකාවේ අය හිතනවා වගේ යුරෝපේ ඉන්න සුද්දෝ කියන්නේ දෙවිදේවතාවුන් වගේ රහසින්වත් පවු නොකරන ජාතියක් නෙමෙයි. මේ තරම් නීති තිබුණත් පින්ලන්තේ මිනිස්සුත් වැරදි කරනවා.

👉 roadpol.eu වෙබ් අඩවියේ තියන විදිහට 2024 අවුරුද්දේ පින්ලන්තය තුළ මත්ද්රව්ය හෝ මත්පැන් බීලා වාහන එලවපු අය 9907ක් පොලීසියෙන් අල්ලලා තියනවා. 2025 අවුරුද්දේ මේ ගාන 10385ක්.

👉 ඒ වගේම 2014 සිට 2023 දක්වා ඒ රටේ සිදුවූ මාරක රිය අනතුරු 1499න් 528කටම හේතු වෙලා තියෙන්නේ මත්ද්රව්ය හෝ මත්පැන් ගෙන රිය පැදවීම. ඒ කියන්නේ මාරක රිය අනතුරුවලින් සීයට 37ක් වෙලා තියෙන්නේ මත්ද්රව්ය හෝ මත්පැන් නිසා.

👉 ඒ තමයි මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු කියන්නේ කොතනත් සත්ත්ව ලක්ෂණ අඩුවැඩි ලෙස තියන පිරිසක්. හැබැයි විධිමත් විදිහට සිස්ටම් ක්රියාත්මක වෙන එකෙන් මිනිස්සුන්ගේ ඒ හැසිරිම් පාලනය වෙනවා. ඒක තමයි මේ වගේ දේවල් සම්බන්ධව අපට පින්ලන්තයෙන් ඉගෙන ගන්න තියන පාඩම.

– නුවන් ප්රේමචන්ද්රගේ අත්දැකීම්ක් ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top