ලෝකයේ සාර්ථකම සහ ධනවත්ම ව්‍යාපාරිකයන් ගැන කතා කරන විට අපට මුලින්ම සිහියට Elon Musk, Jeff Bezos, Bill Gates Warren Buffett වැනි බටහිර පන්නයේ බිලියනපතියන්ගේ නම් පමණි. නමුත් ආසියාව හා විශේෂයෙන්ම වියට්නාමය වැනි මෑතකදී ආර්ථික වර්ධනයක් අත්කරගත් රට වලින් බිහි වූ බිලියනපතියන් ගණනාවක් අද ලෝකයේ ඉහළම ධනවතුන්ගේ ලැයිස්තු වල සිටින අතර, මේ කියන්නට යන්නේ ඒ අතර ප්‍රමුඛස්ථානය හිමි වන පුද්ගලයෙකු ගැන සුවිශේෂී කතාවකි. ඔහු නමින් පාම් න්යට් වුන්ග් (Pham Nhat Vuong) නම් වෙයි. අද වන විට ඔහු වියට්නාමයෙන් බිහි වූ ප්‍රථම බිලියනපතියා පමණක් නොව, එරට ධනවත්ම පුද්ගලයා ලෙසද කිරුළු පළඳා සිටී. නමුත් ඔහුගේ මේ මහා ව්‍යාපාරික අධිරාජ්‍යයේ ආරම්භය මෝටර් රථ කර්මාන්තයෙන්, උසස් තාක්ෂණයෙන් හෝ දේපළ වෙළඳාමෙන් සිදුවූවක් නොවේ. ඒ සියල්ලටම පෙර, ඔහුගේ මුළු ජිවිතයම උඩුයටිකුරු කළ අත්තිවාරම තැබුණේ අප කවුරුත් දන්නා සාමාන්‍ය ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවකිනි.
අළු දූලි මතින් නැගී සිටි පක්ෂියා
පාමි න්යට් වුන්ග් උපත ලබන්නේ 1968 අගෝස්තු 5 වනදා වියට්නාමයේ හැනෝයි (Hanoi) නගරයේදීය. ඒ කාලය වියට්නාම් ඉතිහාසයේ අතිශය අඳුරු මෙන්ම කැළඹිලි සහිත වටපිටාවකි. වියට්නාම් යුද්ධයේ දරුණුතම අවසන් අදියර ක්‍රියාත්මක වෙමින් පැවති බැවින්, මුළු රටේම ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණි. එවැනි වටපිටාවක සාමාන්‍ය පවුල්වල ජීවිතය ගෙවුණේ අතිශය දුෂ්කර සහ කටුක අත්දැකීම මැදය. ඔහුගේ පියා වියට්නාම ගුවන් හමුදාවේ සේවය කළ අයෙකු වූ අතර, මව පදික වේදිකාවේ වීදි වෙළෙන්දියක් ලෙස සුළු වෙළඳාමක නිරත වෙමින් පවුල නඩත්තු කිරීමට දැඩි වෙහෙසක් ගත්තාය. සුඛෝපභෝගී ජිවිතයක සේයාවක්වත් ඔහු කුඩා කාලයේදී දැක තිබුණේ නැත. නමුත් ඔහු සතු වූ එකම වත්කම වූයේ අධ්‍යාපනයට තිබූ දක්ෂතාවයි. කුඩා කල සිටම ගණිතයට සහ විද්‍යාවට දැක් වූ අසාමාන්‍ය දක්ෂතාවය නිසාම වුන්ග් හට විදේශ ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට හැකි විය. ඒ අනුව 1987 වසරේදී ඔහු සෝවියට් දේශය බලා පිටත්ව ගියේ Moscow Geological Prospecting Institute වෙතින් භූ විද්‍යාව සහ පතල් ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහාය.
1991 වසර ලෝක ඉතිහාසය වෙනස් කළ වසරක් විය. ඒ වසරේ දී සෝවියට් සංගමය (Soviet Union) නිල වශයෙන් බිඳ වැටීමත් සමඟ රුසියාව සහ යුක්රේනය ඇතුළු රටවල් ගණනාවක් දැඩි දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. උද්ධමනය ඉහළ ගොස්, ජනතාවගේ දෛනික ජීවන වියදම අහස උසට නැගුණි. මෙවැනි අවස්ථාවක සාමාන්‍ය ජනතාවට දැරිය හැකි අවම මිලකට, ඉතා ඉක්මනින් පිළියෙළ කරගත හැකි ආහාර සඳහා රට තුළ විශාල ඉල්ලුමක් නිර්මාණය විය. ලෝකයේ බොහෝ දෙනා මෙම දැවැන්ත ආර්ථික කඩා වැටීම දුටුවේ බියකරු ගැටලුවක් ලෙසය. නමුත් තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූ පාම් න්යට් වුන්ග් එය දැක්කේ තමන්ගේ ජීවිතය වෙනස් කළ හැකි මහා ව්‍යාපාරික අවස්ථාවක් ලෙසය.
ණයට ගත් මුදලින් ඇරඹුණු ‘Mivina’ නූඩ්ල්ස් විප්ලවය
1993 වසරේදී වුන්ග් යුක්රේනයේ Kharkiv නගරය කේන්ද්‍ර කරගනිමින් Technocom නමින් නව සමාගමක් ආරම්භ කළේය. ඒ සඳහා ඔහුට විශාල මුදලක් තිබුණේ නැත. ඔහු කළේ තමන්ගේ සමීපතම මිතුරන්ගෙන් සහ බැංකු වලින් උපරිමයෙන් 8% ක් වැනි ඉහළ පොලී අනුපාත වලට ණය මුදල් ලබා ගැනීමය. මෙම අවදානම් සහගත මුදලින් ඔහු වෙළඳ පොළට හඳුන්වා දුන් ප්‍රධාන නිෂ්පාදනය වූයේ මිවීනා (Mivina) නමින් හැඳින් වූ ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකකි. මිවීනා යන නම ඉතා කෙටි කලක් ඇතුළත යුක්රේනය පුරා ලැව්ගින්නක් මෙන් ජනප්‍රිය විය. මිල අඩු, රසවත් මෙන්ම මිනිත්තු කිහිපයකින්
කුසගින්න නිවාගත හැකි මේ නිෂ්පාදනය යුක්රේන වැසියන් වැළඳ ගත්තේ පෙර නොසිතූ අයුරිනි. යුක්රේන භාෂාවෙන් ක්ෂණික නුඩ්ල්ස් හැඳින්වීම සඳහා මිවීනා යන වචනය පොදු නාමයක් වන තරමටම එය ජනප්‍රිය විය. සාර්ථකත්වයේ ඉහළටම ගිය වුන් නුඩ්ල්ස් වලට පමණක් සීමා නොවී ක්ෂණික සුප්, පොඩි කළ අල නිෂ්පාදන සහ වෙනත් විවිධ ක්ෂණික ආහාර වර්ගද වෙළෙඳ පොළට හඳුන්වා දුන්නේය. වසර කිහිපයක් යනවිට, යුක්රේනයේ ක්ෂණික ආහාර වෙළඳ පොළේ සැලකිය යුතු සහ ප්‍රමුඛතම කොටසක් ටෙක් නොකොම් සමාගම සතු කර ගැනීමට ඔහු සමත් විය.
ටෙක් නොකොම් සමාගමේ මේ ශීඝ්‍ර වර්ධනය ලෝකයේ දැවැන්ත බහුජාතික සමාගම්වල අවධානයට ලක්වීමට වැඩි කාලයක් ගියේ නැත. 2010 වසරේදී, ලොව විශාලතම ආහාර සහ පානීය නිෂ්පාදන සමාගම වන නෙස්ලේ සමාගම විසින් වුන්ග්ගේ ටෙක් නොකොම් සමාගම සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට ඉදිරිපත් විය. මෙම ගනුදෙනුවේ නිශ්චිත වටිනාකම දෙපාර්ශවය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළද, එය ඇමරිකානු ඩොලර් මිලියන 150කට වඩා වැඩි වටිනාකමකින් යුක්ත වූ මහා පරිමාණ ගනුදෙනුවක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. මෙම ගනුදෙනුවෙන් ලැබුණු අතිවිශාල ප්රාග්ධනය පාම් න්යට් වුන්ගේ ජීවිතයේ දෙවන සහ විශාලතම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය.
Vingroup අධිරාජ්‍යයේ උපත
ඩොලර් මිලියන සිය ගණනක ධනයක් අතට ආ විගස යුරෝපයේ හෝ අමෙරිකාවේ සුඛෝපභෝගී ජිවිතයක් තෝරා පහසුවෙන් කළ හැක්කකි. නමුත් වුන්ග් ඒ මාර්ගය තෝරා නොගත් අතර, ඔහු තමන් උපන් මව්ව්බිම වූ වියට්නාමය අමතක කළේ නැත. යුද්ධයෙන් බැටකා අසීරුවෙන් නැගී සිටීමට උත්සාහ කරන තම රටේ සංවර්ධනය වෙනුවෙන් මේ මුදල් ආයෝජනය කිරීමට ඔහු තීරණය කළේය. ඒ අනුව 2000 දශකයේ මුල් භාගයේදී ඔහු වියට්නාමයට පැමිණ Vingroup සමාගම ආරම්භ කළේය. අද වන විට වින්ගෲප් යනු වියට්නාමයේ පවතින විශාලතම සහ සාර්ථකම පෞද්ගලික ව්‍යාපාරික සමූහයකි. එය එකම එක ක්ෂේත්රයකට සීමා වූ සමාගමක් නොව, වියට්නාමයේ නගර සහ ජන ජිවිතය අලුතින්ම නිර්මාණය කළ මහා ව්‍යාපාරික අධිරාජ්‍යයකි.
වියට්නාම වැසියන්ට ජාත්‍යන්තර මට්ටමේ නිවාස සංකීර්ණ සහ සැලසුම්ගත නගර හඳුන්වා දීම. රට පුරා විහිදුණු නවීනතම මහා පරිමාණ සාප්පු සංකීර්ණ, සංචාරක ක්ෂේත්රය උඩු යටිකුරු කළ තරු පහේ හෝටල්, විනෝද උද්‍යාන සහ සුඛෝපභෝගී සංචාරක නිකේතන ඉදිකිරීම වින්ගෲප් සමාගම විසින් සිදු කරන ලදි. වියට් නාමයේ දැවැන්තම මහල් ගොඩනැගිල්ලක් වන Landmark 81 ද එම සමාගමේ ඉදිකිරීමකි. මීට අමතරව වියට්නාම ජනතාවට උසස් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ආරම්භ කළ ජාත්‍යන්තර නොවන ලාභදායී රෝහල් ජාලය, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ලෝක මට්ටමේ උසස් විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා වූ අධ්‍යාපන ආයතන පද්ධතිය (Vinschool and VinUniversity) ද මීට අයත් වේ. වුග්ගේ මූලිකම දර්ශනය වූයේ ව්‍යාපාරික ලාභය ලැබීම පමණක් නොව, වියට්නාමයේ නැගී එන මධ්‍යම පන්තියේ ජනතාවගේ ජිවන තත්ත්වය සහ රටේ යටිතල පහසුකම් ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීමය.
ලෝකය පුදුම කළ VinFast සහ වියට්නාමයේ Elon Musk
පාමි න්යට් වුන්ග් යනු කිසිවිටෙකත් එක තැන පල්වෙන මිනිසෙකු නොවීය. 2017 වසරේදී වින් ගෲප් සමාගම මුළු ලෝකයම මවිතයට පත් කළ තවත් දැවැන්ත නිවේදනයක් නිකුත් කළේය. ඒ විල්ෆාස්ට් (VinFast) නමින් වියට්නාමයේ ප්‍රථම දේශීය මෝටර් රථ නිෂ්පාදන සමාගම ආරම්භ කිරීමය. එම අවස්ථාවේදී බොහෝ ජාත්‍යන්තර ව්‍යාපාරික විශ්ලේෂකයන් පැවසුවේ මෙය අසාර්ථක වීමට නියමිත, සිහිනයක් පමණක් වූ ව්‍යාපෘතියක් බවය. ටොයෝටා, බීඑම්ඩබ්ලිව්. ෆෝඩ් වැනි දශක ගණනාවක ඉතිහාසයක් ඇති දැවැන්තයන් සිටින
ජාත්‍යන්තර මෝටර් රථ වෙළෙඳ පොළ සමග වියට්නාමය වැනි රටකට තරඟ කළ හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට සැක සංකා මතු විය. එහෙත් වුන්ග් ඒ කිසිවකින් සැලුණේ නැත. ඔහු ඉතා කෙටි කාලයක් තුළ ඉතාලි ජාතික සුප්‍රසිද්ධ මෝටර් රථ නිර්මාණ ශිල්පීන් (Pininfarina වැනි). ජර්මානු ඉංජිනේරුවන් සහ ලොව ප්‍රමුඛතම මෝටර් රථ විශේෂඥයන් තමන් වෙත ළං කරගත්තේය. ඔවුන්ගේ දායකත්වයෙන් ප්‍රථම වියට්නාම මෝටර් රථය නිපද වූ විල්ෆාස්ට් සමාගම පසුව ලෝක ප්‍රවණතාව හඳුනා ගනිමින් සම්පූර්ණයෙන්ම විද්‍යුත් වාහන (EV -Electric Vehicles) නිෂ්පාදනය වෙත මාරු විය.
අද වන විට විල්ෆාස්ට් යනු වියට්නාමයට පමණක් සීමා වූ සමාගමක් නොවේ. එය ඇමරිකාව. කැනඩාව, යුරෝපය සහ ආසියානු වෙළඳ පොළවල තමන්ගේම විද්‍යුත් මෝටර් රථ, විද්‍යුත් බස් රථ සහ විද්‍යුත් ස්කූටර් අලෙවි කරන ජාත්‍යන්තර සන්නාමයකි. එමෙන්ම ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ සහ ඉන්දියාවේ තමිල්නාඩුවේ දැවැන්ත ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉදිකිරීම සඳහාද ඔවුන් බිලියන ගණනින් ආයෝජනය කර ඇත. මෝටර් රථ ක්ෂේත්රයට සහ ඉලෙක්ට්‍රික් වාහන කර්මාන්තයට කළ මේ අභීත ආයෝජන නිසාම ජාත්‍යන්තර මාධ්‍ය අද ඔහුව හඳුන්වන්නේ “වියට්නාමයේ Elon Musk” යන අන්වර්ථ නාමයෙනි.
වින් ල්ෆාස්ට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු අවස්ථාව සනිටුහන් වූයේ 2023 වසරේ අගෝස්තු මාසයේදීය. ඒ, විල්ෆාස්ට් සමාගම ඇමරිකාවේ සුප්‍රසිද්ධ NASDAQ කොටස් වෙළෙඳ පොළ වෙත නිල වශයෙන් ඇතුළත් වීම ය. එහිදී වින් ල්ෆාස්ට් හි කොටස් අගය කොතරම් ශීඝ්‍රයෙන් ඉහළ ගියේද යත්. එක් අවස්ථාවකදී Ford, General Motors සහ Volkswagen වැනි ලොව පැරණිතම හා දැවැන්ත මෝටර් රථ සමාගම් පරදවමින් ලොව තුන්වන වටිනාම මෝටර් රථ සමාගම බවට පත් වීමට විල්ෆාස්ට් සමත් විය. මේ සමඟම ෆාම් න්යට් වුංගේ පෞද්ගලික වත්කම එක රැයකින් ඩොලර් බිලියන ගණනකින් ඉහළ ගියේය.
මාධ්‍ය වලින් සැඟවුණු ජීවිතය සහ ව්‍යාපාරික දර්ශනය
ලෝකයේ සිටින බොහෝ බිලියනපතියන් නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියට පැමිණෙමින්, සාද පවත්වමින් ප්‍රසිද්ධ ජිවිතයක් ගත කිරීමට ප්‍රිය කළද, ෆාම් න්යට් වුන්ග් යනු ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකි. ඔහු තරමක් සැඟවුණු සහ සරල ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කරයි. ඔහු මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබා දෙන්නේ කලාතුරකිනි. වුන්ග් වරක් ප්‍රකාශ කර තිබුණේ තමන්ට විශේෂ විනෝදාංශ නැති බවත්, තමන් වඩාත්ම ප්‍රිය කරන්නේ වැඩ කිරීමට සහ නව ව්‍යාපෘති සැලසුම් කිරීමට බවත්ය. වේගය, ගුණාත්මක භාවය සහ වෙනස” ඔහුගේ
ව්‍යාපාර වල මුලිකම තේමාවයි. අන් අය වසර 5 කින් කරන කාර්යයක් වසර 1 ක් හෝ 2 ක් වැනි කෙටි කාලයකින් නිම කිරීමට ඔහු තම කණ්ඩායමට නිරන්තරයෙන් උපදෙස් දෙයි. ඔහු විවාහ වී සිටින්නේ Pham Thu Huong මහත්මිය සමඟ වන අතර ඇයද ඔහුගේ ව්‍යාපාරික ගමනේ ආරම්භයේ සිටම සෙවණැල්ලක් මෙන් පිටුපසින් සිටි සුවිශේෂී කාන්තාවකි. ඔවුන්ට දරුවෝ තිදෙනෙක් සිටිති. පාම් න්යට් වුන්ග විසින් Kind Heart Foundation නමින් පුණ්‍යායතනයක් පිහිටුවා ඇති අතර, එහි පූර්ණ මූල්‍ය දායකත්වයෙන් වියට්නාමයේ දුප්පත් ජනතාවට නිවාස ඉදිකිරීම, වෛද්‍ය ආධාර සැපයීම සහ ස්වාභාවික ව්‍යසන වලින් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සිදු කරයි. විශේෂයෙන්ම වියට්නාමයේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ ව්‍යවසායකයන් සහ පර්යේෂකයන් දිරිමත් කිරීම සඳහා VinFuture Prize නමින් ලෝක මට්ටමේ සම්මානයක්ද ඔහු හඳුන්වා දී ඇත. මේ හරහා මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා කෙරෙන විද්‍යාත්මක සොයා ගැනීම් වෙනුවෙන් වසරකට ඩොලර් මිලියන ගණනක ත්‍යාග මුදල් පිරිනමනු ලැබේ.
වියට්නාමය ශ්‍රී ලංකාවට කියා දෙන පාඩම
පාම් න්යට් වුන්ගේ ජීවිත කතාව අප කියවා ගත යුත්තේ හුදු ව්‍යාපාරිකයෙකුගේ සාර්ථකත්වය පිළිබඳ සාම්ප්‍රදායික අර්ථයෙන් පමණක් නොවේ. ඔහුගේ මේ සුවිශේෂී සාර්ථකත්වයට බලපෑ සමාජ දේශපාලන සන්දර්භයද මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තකි. ශ්‍රී ලංකාව තවමත් කාර්මීකරණය අතින් සිටින්නේ බෙහෙවින්ම පහළ අඩියකය. ඉලෙක්ට්‍රික් වාහන තබා පාපැදියක්වත් ශ්‍රී ලංකාවේ සම්පුර්ණ නිපදවන බවක් අසන්නට නොලැබේ. වියට්නාමය ද මීට දශක හතරකට පහකට පමණ පෙර සිටියේ ශ්‍රී ලංකාවටත් වඩා දුෂ්කර
හා කාර්මීකරණය අතින් ඉතා පහත් අඩියක බව අප අමතක කළ යුතු නැත. එසේම දිගු කාලීන යුද්ධ වලින් ඒ රටට සිදුව තිබූ හානිය සුළු පටු නොවීය. මේ සියලු බාධා අභියෝග මැද ඉදිරියට ආ වියට්නාමය දශක හතරක පමණ කාලයක් ඇතුළත සුවිශාල පරිවර්තනයකට ලක් වී ඇති අතර, පාම් වැනි බිලියනපතියෝ ගණනාවක් අද වියට්නාමයෙන් බිහි ව සිටිති. මෙය ඒ පුද්ගලයන්ගේ ව්‍යාපාරික දක්ෂතාව පිළිබඳ කතාවක් පමණක් නොව ව්‍යවසායකයන්ට හා නව නිෂ්පාදකයන්ට ඉඩ සලසා දෙන රාජ්‍ය ආර්ථික වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය පිළිබඳවද වැදගත් උදාහරණයකි. එවැනි අනුබලයක් නොලැබෙන පරිසරයක ඔවුන් ජිවත් වූයේ නම් හුදු පුද්ගල හැකියාවෙන් පමණක් මෙවැනි මහා ජයග්‍රහණ අත්කර ගැනීමට වියට්නාමයේ ව්‍යවසායකයන්ට හැකියාවක් නොලැබෙන බව වටහා ගැනීමට ශ්‍රී ලංකාවද කදිම උදාහරණයකි. වියට්නාමය යනු තවමත් කොමියුනිස්ට් පක්ෂ පාලනයේ පවතින රජය විසින් මෙහෙයවන මධ්‍යගත සැලසුම් සහිත ආර්ථිකයක් සහිත රටකි. ඒ තුළ නව ව්‍යවසායකයන්ට නැගී සිටීමට අවස්ථාව සලසා දීමත්, ජාතික නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීමත් රජයේ ඉලක්ක සහගත සැලසුම් සහගත වැඩපිළිවෙළකි. එහෙත් මේ කාරණා පිළිබඳ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තුළ වැඩි අවබෝධයක් නැති අතරම, ලංකාවේ බොහෝ දෙනා ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වර්ණනා කරමින් රාජ්‍ය සැලසුම්කරණය පිළිබඳ අදහස යල් පැන ගිය එකක් සේ සලකා බැහැර කරති. වියට්නාමය වැනි රටවල් පිළිබඳ ඔවුන්ට ඇත්තේ ඒකාධිපති කොමියුනිස්ට් රාජ්‍ය වැනි සරල විග්රහයන් පමණක් වන අතර, වියට්නාමය වැනි රටවල වේගවත් ජයග්‍රහණ ගැන බොහෝ දෙනාට ඇත්තේ අනවබෝධයකි. බටහිර ලෝකයේ ධනවතුන් ගැන පමණක් කතා කරන අප බොහෝ දෙනා පාම් න්යට් වුන්ග් වැනි අයගේ නමවත් අසා නැත්තේ මේ නිසාය. එහෙත් ලංකාව වැනි රට වලට පාඩම් ඉගෙන ගන්නේ නම් වැදගත් වන්නේ වියට්නාමය වැනි රටවල අත්දැකීම් මිස බටහිර ලෝකයේ අත් දැකීම් නොවන බව අප මෙහිදී වෙසෙසින් අවබෝධ කරගත යුත්තකි.
– ඉසුරු ප්‍රසංග



