අප්‍රිකානු කලාපය ගැන කතා කරන විට එක වරම බොහෝ දෙනාගේ සිහියට නැගෙනුයේ ඉතා නොදියුණු ආර්ථික ප්‍රශ්න, සාගත, වසංගත, යුද කෝලාහලවලින් බැට කන රාජ්‍යයන් සමුදායකි. මෙතෙක් පැවති හා මෑත ඉතිහාසයේ තත්ත්වය අනුව මේ පින්තූරය සපුරා වැරදි එකක්ද නොවේ. එසේ වුවද මේ අප්‍රිකානු කලාපය තුළම අතීතයේ ඉතා දැවැන්ත දැනුම් සම්භාරයන් ගොඩනැගූ දියුණු ශිෂ්ටාචාරයන් පැවති බව අප බොහෝ දෙනා නොදන්නා කරුණකි. විශේෂයෙන්ම බටහිර රටවල නිර්මාණය කළ බව කියන දැනුම ගැන පමණක් දන්නා ශ්‍රී ලංකාවේ ඇතමුන්ට අප්‍රිකාවේ පුරාණ දැනුම ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් වීමටද ඉඩ තිබේ.
මේ ලිපියට වස්තු විෂය වනුයේ මේ සරල ජනප්‍රිය ආඛ්‍යානය ප්‍රබල ලෙස අභියෝගයට ලක් කරන එක්තරා කතාවකි. ඒ තිම්බක්ටු අත්පිටපත්වල ඉතිහාස කතාවයි. තිම්බක්ටු අත්පිටපත් යනු අප්‍රිකානු කලාපයේ පුරාණ දැනුම් සම්භාරය පිළිබඳ ලෝකය මවිතයට පත් කළ ජීවමාන සාක්ෂි සමුදායකි. මීට වසර හත් අටසීයකට පෙරාතුව අප්‍රිකානු කලාපයේ එක්තරා ප්‍රදේශයක වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, ගණිතය, ජීව විද්‍යාව, දර්ශනවාදය, කලාව, සාහිත්‍යය, කාව්‍යය, නීතිය, අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය, මානව හිමිකම් වැනි පුළුල් පරාසයක පැතිරුණු විෂයන් සමුදායක් ගැන මහා පොත් කන්දරාවක් ලියැවී ඇතැයි කිවතොත් ඔබ බොහෝ දෙනා පුදුමයට පත් වීමට ඉඩ තිබේ. එහෙත් මෙවැනි පොත් එකක් දෙකක් නොව ලක්ෂ ගණනක් ලියැවී ඇති අතර, ඒ පිළිබඳ පැහැදිලි සාධක අද දක්වාම ආරක්ෂා වී තිබේ.
ඒ අනුව මෙය බටහිර ලෝකයෙන් පරිබාහිර දැනුම (Non western Knowledge) පිළිබඳ කතාවකි. මේ මාතෘකාව යටතේ ලංකාවේ පුරාණ දැනුම ගැන පමණක් නොව වෙනත් ශිෂ්ටාචාරවල පුරාණ දැනුම් පද්ධති පිළිබඳවද මම බොහෝ අවස්ථාවල කරුණු සංවාදයට ලක්කොට ඇත්තෙමි. එහෙත් එහි අභිලාෂය කිසිසේත්ම බටහිර දැනුම නොවැදගත් බව කීම හෝ බටහිර දැනුම හෙළා දැකීම නොවේ. මෙහි අරමුණ වනුයේ බටහිර ලෝකයේ පමණක් සියලු දැනුම උපත ලැබුවේය යන ප්‍රකට මිත්‍යාවේ සැබෑ තත්ත්වය හෙළි කරමින් බටහිර ලෝකයෙන් පරිබාහිරවද බොහෝ දැනුම් පද්ධති පැවතියේය යන ජනප්‍රිය නොවන මතය පිළිබඳව කරුණු සහිත සංවාදයක් ගොඩනැගීමය. තිම්බක්ටු අත්පිටපත් පිළිබද මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.
අශ්වයන්ට වඩා මිලෙන් වැඩි පොත් ලියවුණු සමය
තිම්බක්ටු යනු අප්‍රිකානු කලාපයේ රටක් වන මාලි රාජ්‍යයේ සහරා කාන්තාරයට මායිම්ව පිහිටා ඇති එක්තරා නගරයකි. මේ නගරය ආශ්රිත ප්‍රදේශවල තිබී විවිධාකාර ගැඹුරු විෂයන් ගණනාවක් යටතේ ලියවුණු පුරාණ අත්පිටපත් 350000ක පමණ විශාල ප්‍රමාණයක් හමු වී තිබේ. මේවා පොදුවේ තිම්බක්ටු අත්පිටපත් ලෙස හැදින්වෙයි. අදාළ නගරයේ නමින් මේවා තිම්බක්ටු අත්පිටපත් ලෙස නම් කර ඇති නමුදු මෙය මේ ප්‍රදේශයට පමණක් අදාළ ලේඛන සම්ප්රදායක් නොවේ. මාලි රාජ්‍යයේ විවිධ ප්‍රදේශ ගණනාවක මෙන්ම ඒ අවට තවත් අප්‍රිකානු රටවල් ගණනාවක ලේඛන මෙයට අයත් වන අතර, ඒ සියල්ල කේන්ද්‍රගත වූ මධ්‍යස්ථානය තිම්බක්ටු නගරයයි. මෙම අත්පිටපත් වැඩි ප්‍රමාණයක් ලියැවී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 13 සිට 17 දක්වා කාලයේ වන අතර එයින් පසුකාලීනව රචනා වූ කෘතිද තිබේ. ඒ අනුව මේවායේ පැරණිම අත්පිටපත්වල වයස අවුරුදු 700ක් පමණ වේ.
සහරා කාන්තාරයේ කෙළවරක පිහිටි මෙම ඓතිහාසික නගරය, ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේ සිට 16 වන සියවස දක්වා ලෝකයේ ප්‍රධානතම බුද්ධිමය සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස වැජඹුණි. මෙකල මේ ප්‍රදේශය කේන්ද්‍ර කරගත් මාලි හා සොන්ඝායි නම් බලවත් අධිරාජ්‍යයන් දෙකක් පැවතී තිබේ. මේ අත්පිටපත් බහුතරයක් නිර්මාණය වූයේ මෙම අධිරාජ්‍යයන්ට අයත් කාලවකවානුවේදීය. ලෝක ඉතිහාසයේ සිටි ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන මංසා මූසා (Mansa Musa) රජුගේ පාලන සමයේදී (14 වන සියවසේදී) ටිම්බක්ටු නගරය ලෝක ප්‍රකට විය. ඔහු විසින් ඉදි කරන ලද සන්කෝරේ (Sankore) විශ්වවිද්‍යාලය වටා ලොව පුරා විසිරී සිටි විද්වතුන් එක්රැස් වූ අතර නගරයේ මුළු ජනගහනයෙන් 25% ක්ම (25,000 කට අධික පිරිසක්) ශිෂ්‍යයන් වීම විශේෂත්වයකි. 15 වන සියවසේ අගභාගයේදී ප්රබලව පැවති සොන්ඝායි අධිරාජ්‍යයට අයත් අස්කියා මොහොමඩ් රජුගේ පාලන සමය ටිම්බක්ටු හි “රන්වන් යුගය” ලෙස හැඳින්වේ. මෙකල ග්රන්ථකරණය සහ පොත් වෙළඳාම ඉහළම තලයකට පැමිණියේය. 16 වන සියවසේ සංචාරය කළ ප්‍රසිද්ධ භූගෝල විද්‍යාඥයෙකු වූ ලියෝ අප්රිකානස් (Leo Africanus) සටහන් කර ඇති පරිදි, තිම්බක්ටු නගරයේ හොඳම අශ්වයෙකුගේ මිලට වඩා උසස් ශාස්ත්‍රීය පොතක මිල ඉහළ විය. මෙකල ධනවත් වෙළෙන්දෝ සහ රජවරු තමන්ගේ බලය සහ සමාජ තත්ත්වය පෙන්වීමට විශාල පුස්තකාල නඩත්තු කළෝය.
තිම්බක්ටු අක්ෂර කලාවේ විවිධත්වය සහ “අජමි” (Ajami) ක්‍රමවේදය
තිම්බක්ටු විද්වතුන් තමන්ගේ ග්රන්ථකරණය සඳහා මූලිකවම භාවිත කළේ අරාබි අක්ෂර මාලාවයි (Arabic Script). එහෙත් ඔවුහු එය උතුරු සහ බටහිර අප්‍රිකාවට ආවේණික වූ “මග්රිබි” (Maghrebi) අක්ෂර පවුලට අයත් සුවිශේෂී ශෛලීන් දෙකකින් හැඩගැන්වූහ. සුකි ශෛලිය (Suqi) යනු ඉතාමත් ජ්‍යාමිතික, තියුණු සහ දිගටි හැඩතල සහිත අක්ෂර රටාවකි. සාමාන්‍යයෙන් එදිනෙදා ලිපිගොනු, වෙළෙඳ ගිවිසුම් සහ දේශීය නීතිමය ලියකියවිලි සටහන් කිරීමට මෙය භාවිත විය. සහ්රාවි ශෛලිය (Sahrawi) යනු වඩාත් සුමට, වටකුරු සහ ගලා යන ස්වභාවයක් ගත් අලංකාර අකුරු කලාවකි. මොරොක්කෝ සහ අන්දලූසියානු බලපෑම මීට ලැබී තිබූ අතර, දර්ශනවාදය, තාරකා විද්‍යාව සහ ගණිතය වැනි සංකීර්ණ ශාස්ත්‍රීය ග්රන්ථ පිටපත් කිරීමට මෙම මනස්කාන්ත ශෛලිය යොදා ගැනුණි. මෙහි ඇති වැදගත්ම කරුණ නම් “අජමි” (Ajami) නමැති ක්රමවේදයයි. මෙහිදී සිදු වූයේ අරාබි අක්ෂර මඳක් වෙනස් කරමින්, දේශීය අප්‍රිකානු භාෂාවන් වන සොන්ඝායි (Songhai), ටමෂෙක් (Tamasheq) සහ ෆුල්ෆුල්ඩේ (Fulfulde) යන භාෂාවන් ෆොනටික් (Phonetic) ක්‍රමයට ලිවීමය. මෙහිදී සිදුවූයේ අප ඉංග්‍රීසි අකුරෙන් සිංහල වචන ලියන (Singlish) ආකාරයට වෙනත් භාෂා අරාබි අක්ෂරවලින් ලිවීමය.
බැඩිස් වෘත්තිකයෝ පොත් ලියූ හැටි
එකල මුද්‍රණ ශිල්පය නොතිබූ බැවින්, සෑම ග්රන්ථයක්ම නිර්මාණය වූයේ ඉතා වෙහෙසකර හස්ත කර්මාන්තයක් වශයෙනි. මුල් කාලීන ලේඛන සඳහා එළු, බැටළු හෝ ඔටුවන්ගේ සමෙන් පදම් කරගත් පර්චමන්ට් (Parchment) කඩදාසි භාවිත වූ අතර, පසු කාලීනව ඉතාලියේ වැනිස් නුවරින් ආනයනය කළ උසස් තත්ත්වයේ කඩදාසි පවා මේ පිටපත් ලිවීමට යොදාගෙන තිබේ. මේවා ලිවීම සඳහා භාවිත
කළේ සහරා ප්‍රදේශයේ වැවුණු දෘඩ බට උණ වර්ග (Reeds) කපා සකස් කරගත් පෑන් විශේෂයකි. තිම්බක්ටු අත්පිටපත්වල අක්ෂරවලට අමතරව විවිධාකාර වර්ණවත් රූප සටහන්ද දක්නට ලැබේ. තිම්බක්ටු හි තීන්ත සහ කඩදාසි සකස් කිරීම වෙනමම විශේෂඥ වෘත්තියක් වූ අතර ඔවුන් ‘බැඩිස්’ (Badis) ලෙස හැඳින්වුණි. කළු පැහැති තීන්ත සඳහා ලාම්පු දැලි (Soot) සහ ගස්වලින් ලබාගන්නා මැලියම් (Gum arabic) ද, සිරස්තල සහ ග්‍රහලෝක සිතියම් වර්ණවත් කිරීම සඳහා යකඩ ඔක්සයිඩ් බහුල පස් වර්ගවලින් නිපදවා ගත් රතු, කහ සහ රන්වන් පැහැති තීන්ත වර්ගද ඔවුන් රහසිගත වට්ටෝරුවලට අනුව නිපදවූහ. වේයන්ගෙන් ලේඛන බේරාගැනීමට කොහොඹ ආශ්රිත ශාකසාර යුෂ වර්ග කඩදාසිවල තැන්පත් කිරීමටද ඔවුන් දැන සිටියහ.
විෂය ක්ෂේත්රය
තිම්බක්ටු අත්පිටපත් යනු විවිධාකාර විෂය ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ලියවුණු ග්රන්ථ සමුදායකි. තාරකා විද්‍යාවට හා ගණිතයට ඒ අතර වැදගත් තැනක් හිමි වේ. ග්‍රහලෝකවල ගමන් පථ, චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ සිදුවන ආකාරය සටහන් කළ ඉතා නිවැරදි ගණිතමය වගු මෙන්ම සංකීර්ණ වීජ ගණිතය (Algebra) සහ ජ්‍යාමිතිය (Geometry) මෙහි අඩංගු වේ. බටහිර ලෝකය තරු පන්තීන් පිළිබඳව පර්යේෂණ කිරීමට බොහෝ කලකට පෙර අප්‍රිකානු විද්වතුන් නවීන දුරේක්ෂ නොමැතිව වුවද අහස් කුස නිරීක්ෂණය කර ඊට අදාළ දත්ත සටහන් කර තිබීම විස්මයජනකය. ග්‍රහලෝකවල පිහිටීම් වර්ණවත්ව දැක්වූ සිතියම් සහ ග්‍රහලෝක චලිතයන් ගණනය කළ නිවැරදි තාරකා විද්‍යාත්මක වගු (Astronomical tables) මේවායේ දැකගත හැකියි. සරල ගණන් හැදීමට එහා ගිය සංකීර්ණ වීජ ගණිතය (Algebra) සහ ජ්‍යාමිතිය (Geometry) පිළිබඳ සිද්ධාන්ත සහ ගැටලු විසඳන ආකාරය මෙම අත්පිටපත්වල සවිස්තරාත්මකව දක්වා තිබේ.
විවිධ ශාක පත්‍ර, මුල් සහ පොතු එකතු කර සාදා ගන්නා ඖෂධ වට්ටෝරු මෙන්ම ඇසේ සුද ඉවත් කිරීම වැනි සංකීර්ණ ශල්‍යකර්ම (Cataract surgery) ඒ සඳහා භාවිත කරන උපකරණ ආදිය පිළිබඳවද මේවායේ සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත. විවිධ රෝගාබාධ සුව කිරීම සඳහා සහරා කලාපයේ සහ අප්‍රිකානු වනාන්තරවලින් ලබාගත් ගස්වල මුල්, පොතු, කොළ සහ බීජ වැනි ස්වාභාවික ශාකසාර කොටස් එකතු කර සාදා ගන්නා රහසිගත බෙහෙත් වට්ටෝරු රාශියක්ද මේ අත්පිටපත්වල ඇතුළත් වේ. ශාරීරික රෝගවලට ප්‍රතිකාර කිරීමට අමතරව, ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්නා ආකාරය, නිවැරදි සෞඛ්‍ය පුරුදු සහ මානසික සුවතාවය පවත්වා ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් ද මෙම ලේඛනවල ලියැවී තිබේ. වර්තමාන ලෝකය කතා කරන කාන්තා අයිතිවාසිකම් (දේපළ සහ දික්කසාද වීමේ අයිතිය), වහල්භාවයට එරෙහි වීම සහ සාමකාමීව ගැටුම් නිරාකරණය පිළිබඳ දේශපාලනික දර්ශනයන් මීට වසර 500කට පෙර මෙම පිටුවල ලියැවී තිබේ. ඇතැම් විවාහ ගිවිසුම්වල “ස්වාමිපුරුෂයා විසින් වෙනත් විවාහයක් කර නොගත යුතුය” යන කොන්දේසිය පවා ඇතුළත් ව ඇත. වෙනත් අයෙකුගේ පොතක් පිටපත් කර විකිණීමේදී මුල් කතුවරයාගේ නම සඳහන් කිරීම සහ ඉන් කොටසක් ඔහුට ගෙවීම වැනි, වර්තමාන බුද්ධිමය දේපල නීතිවලට සමාන සංකල්ප මෙම සමාජය තුළ ක්‍රියාත්මක වූ බව මේ අත්පිටපත් වලින් හෙළි වෙයි.
ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ තිම්බක්ටු උරුමය වෙනුවෙන් සටන් කළ වීරයා
2012 වසරේදී උතුරු මාලි ප්‍රදේශය අල්-කයිඩා සංවිධානයට හිතවාදී ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් විසින් අත්පත් කරගත් අතර, ඔවුහු එහි තිබූ ඓතිහාසික උරුමයන් සහ ලේඛන විනාශ කිරීමට පටන් ගත්හ. මෙහිදී මෙම විනාශයෙන් අදාළ අත්පිටපත් බේරා ගැනීම සදහා ජීවිත අවදානම නොතකා සටන් කළ එක්තරා සුවිශේෂී පුද්ගලයෙකු සිටී. ඔහු අබ්දෙල් කාදර් හයිදාරා (Abdel Kader Haidara) නම් වෙයි. ඔහු සාම්ප්‍රදායිකව තිම්බක්ටු අත්පිටපත් ආරක්ෂා කිරීමේ කටයුතු භාරව සිටි පවුල සාමාජිකයෙකි. අබ්දෙල්ගේ පියා වූ මම්මා හයිදාරාද 1984 ඔහුගේ මරණය සිදුවන තුරුම මේ අත්පිටපත් ආරක්ෂා කිරීමේ කටයුතු වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයූ අයෙකි. මේ කාලය වන විට අබ්දෙල් හයිදාරා තිම්බක්ටු අත්පිටපත් ආරක්ෂා කිරීම සදහා සකස් කළ පුස්තකාලයක පුස්තකාලාධිපතිවරයා ලෙස කටයුතු කළේය. මෙහිදී අබ්දෙල් කාදර් හයිදාරා විසින් රහසිගත ජාලයක් සාදාගෙන, ලෝහමය සහ ප්ලාස්ටික් පෙට්ටි දහස් ගණනක මෙම අත්පිටපත් අසුරා බෝට්ටු, බයිසිකල් සහ මෝටර් රථ සහ බූරුවන් පවා යොදා ගනිමින් ඒවා මාලි රාජ්‍යෙය් අගනුවර වන ‘බමාකෝ’ (Bamako) වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු කළේය. ඔහුගේ මෙම අභීත ක්‍රියාව නිසා වටිනා ඓතිහාසික අත්පිටපත් 350,000 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමෙන් බේරා ගැනීමට හැකි විය. මේ හේතුව නිසාම ඔහුව ලෝකය පුරා හඳුන්වනු ලබන්නේ “ටිම්බක්ටු හි වීර පුස්තකාලාධිපතිවරයා” (The Badass Librarian of Timbuktu) යන විරුදාවලියෙනි. ලෝකයේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කළ මහා කැපකිරීම් පිළිබද සංවාද තුළ ඔහුගේ නම් නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි.
අන්තර්ජාලයට එක් වූ අත්පිටපත්
මෙම පිටපත් සියවස් ගණනාවක් නොනැසී පැවතීමට සහරා කාන්තාරයේ පවතින අතිශය වියළි දේශගුණය සහ අවම ආර්ද්‍රතාවය (Low Humidity) හේතු විය. එමඟින් කඩදාසි දිරාපත් වීම සහ දිලීර (Fungi) වර්ධනය වීම ස්වභාවිකවම වැළකුණි. අද වන විට මෙම අත්පිටපත් බාමාකෝ නුවර ලේඛනාගාරවල, ටිම්බක්ටු හි නිල රාජ්‍ය ලේඛනාගාරය වන අහමඩ් බාබා ආයතනය (Ahmed Baba Institute) තුළ සහ පරම්පරාගත පුද්ගලික පුස්තකාලවල (Fondo Kati වැනි) සුරක්ෂිතව පවතී. එමෙන්ම භෞතිකව විනාශ වුවද දැනුම ආරක්ෂා කර ගැනීම උදෙසා Google Arts & Culture ව්‍යාපෘතිය (Mali Magic) හරහා මේ වන විට අත්පිටපත් ලක්ෂ ගණනක් උසස් තත්ත්වයෙන් ස්කෑන් කර ඩිජිටල්ගත කර ඇති බැවින් ඒවා අද ඕනෑම කෙනෙකුට සියැසින්ම දැක ගැනීමේ පහසුකම් තිබේ.
නවීන කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිතයෙන් මෙම පැරණි අරාබි සහ අජමි අක්ෂර ලෝකයට කියවිය හැකි භාෂාවලට පරිවර්තනය කිරීමේ කටයුතුද දැන් සිදුවෙමින් පවතී. තිම්බක්ටු අත්පිටපත් යනු හුදෙක් අතීත උරුමයක් පමණක් නොවේ. එය අප්‍රිකාව පිළිබඳ බටහිර ලෝකය විසින් මවා තිබූ අශිෂ්ට මහාද්වීපය, අදුරු මහද්වීපය වැනි අධිපතිවාදී දේශපාලන අර්ථකථන සැලකිය යුතු ලෙස අභියෝගයට ලක් කළ ජීවමාන සාක්ෂි සමුදායකි. සහරා වැලි කතර යට සියවස් ගණනාවක් සැඟවී තිබූ මෙම ඥාන සම්භාරය, අප්‍රිකානු ශිෂ්ටාචාරයේ යටපත් වී ගිය සැබෑ බුද්ධිමය මහිමය ලෝකය ඉදිරියේ නැවත වරක් ඔප්පු කර හමාරය.
– ඉසුරු ප්‍රසංග



