චිත්‍ර කලාවේ දේශීය මාතර සලකුණ මොටාගෙදර

පන්හිඳ තුළින් යන රේඛාව මත චිත්‍රය සිතුවම් වේ. මොටාගෙදර ආර දේශීයත්වය මනාව පෙන්වන ඔහුගේම චිත්‍ර කලා සම්ප්‍රදායකි. මෙවැනි කලාකරුවකු ලක්දෙරණේ පහළවීම ගැන අපි කවුරුත් ආඩම්බර විය යුතුය – හෙළයේ මහා සාහිත්‍යධර වූ අරිසෙන් අහුබුදු

හේවුඩ් ආයතනයට ඇතුළත් වීම සඳහා නියමිත දින දිවයිනේ නොයෙක් පෙදෙස්වලින් විද්‍යාර්ථීන් බොහෝ දෙනෙක් පැමිණ සිටිය හ. එදින පැමිණි සියලු දෙනාට ම ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වන ලදී. චිත්‍ර අංශයට ඇතුළත් වුණු විද්‍යාර්ථීන්ට ලැබුණු අභියෝගය වූයේ බලාගෙන ඇඳීම සඳහා චිත්‍රයක් ලැබීමයි. එම අභියෝගය සතුටින් භාරගත් එක් සිසුවෙක් චිත්‍රය අඳින අතරතුර හේවුඩයේ ඒ වනවිට අධ්‍යයනය කරමින් සිටි ඉහළ පන්තිවල විද්‍යාර්ථීන් ඔහු පසුපස රොක් වෙමින් අඳින අයුරු බලා සිටින්නට විය. ඔහුට බලා ඇඳීමට ලැබුණේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් යු‍රෝපීය ප්‍රතිමාවකි. වැඩි වේලාවක් නොගෙන ම චිත්‍රය නිමා කළ හේ එය පරීක්ෂකවරුනට භාර දුන්නේය. මේ විද්‍යාර්ථියා අන් කවරෙකුවත් නොව මොටාගෙදර වනිගරත්නය.
හෙතෙම හේවුඩයට පැමිණීමට පෙර කිසිදු දිනෙක ඒ වනවිට කොළඹ නොපැමිණි තිබුණි.

මාපලගම විපුලසාර හිමියන්ගේ මඟ පෙන්වීමෙන් “ජාතික කලා පෙරමුණට” බැඳීමත් සමඟ ම “ජාතික කලා පෙරමුණ” හරහා දේශීය අනන්‍යතාවයෙන් යුතු ජාතික චිත්‍ර කලාව පිළිබඳව වැටහීමක් මොටා ගෙදරට ලැබුණි. බටහිරකරණයෙන් ව්‍යුක්ත දේශීයත්වය පිළිබිඹු වන ජාතික අනන්‍යතාවයෙන් යුතු චිත්‍ර ශෛලියක් තමා විසින්ම ගොඩනඟාගත යුතු බව ඔහුට අවබෝධ විය. ඒ අනුව “ජාතික කලා පෙරමුණ” මඟින් පවත්වන ලද මුල්ම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා ජාතික ශෛලියෙන් යුතු සිතුවම් ප්‍රථම වරට හේ ඉදිරිපත් කළේය. කාගේවත් ගුරුහුරුකමක් නො මැතිව හිතා බලා පුහුණු වූ අතර, එයට තම මව්පියන්ගේ ද අනුබලය හා උපකාරය ලැබුණි.

“ලංකාදීප”, “ඉරිදා ලංකාදීප” ආදී පුවත්පත් සහ “රසවාහිනිය”, “වනිතා විත්ති” ආදී සඟරාවල ඔහුගේ චිත්‍රයක් නැති දවසක් නොමැති විය. 1956 වර්ෂයේදී ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාට විශාල ජනවරමක් ලැබී ඡන්දයෙන් ජය ගැනීමට හැකි වූයේ ඩී. බී. ධනපාලනයන්ගේ ලංකාදීප පුවත්පතෙන් දක්වන ලද සුවිශාල සහයෝගය නිසා බව කිව යුතුය.

. විශේෂයෙන් බණ්ඩාරනායකයන්ගේ පංච මහා බලවේග ප්‍රතිපත්තිය හා ජනතාවාදී අදහස් සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමේ ප්‍රධාන කාර්යභාරයක් ලංකාදීප පුවත්පත විසින් ඉටු කරන ලදී. 1956 වර්ෂය වන විට මොටාගෙදර පාරමධම්ම චේතීය පිරිවෙනේ නවාතැනින් ඉවත් වී දෙමටගොඩ පිහිටි කරුණාරත්න අබේසේකරයන්ගේ පියා විසින් පවත්වාගෙන යන ලද බෝඩිමකට නතර වීම සඳහා පැමිණියේය. මේ කාලයේ දී ඔහුගේ සමීපතම හිතවතා වූයේ චිත්‍රපට නැරැඹීම සඳහා ගොස් මිතුරු වූ සෝමසිරි රුද්‍රිගු ය. ඔවුන්ගේ මිත්‍රත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය. කාලය ගතවත්ම කොළඹ ආනන්ද විද්‍යාලය අසල පිහිටි සෝමසිරි ඇතුළු සිය පවුලේ පිරිස සිටි නිවස ඔවුන් එයින් යනවිට මොටාට භාර දී යාමට තරම් සෝමසිරිගේ මව්පියන් කැමැති වූයේ අප අතර, පැවැති මෙම ඉතාමත් සමීප හිතවත් ඇසුර නිසා ය. මේ හේතුවෙන් කරුණාරත්න අබේසේකරයන්ගේ පියාගේ බෝඩිමෙන් ඉවත් වූ හේ මරදානේ පිහිටි මෙම නිවසේ නතරවිය. මෙහිදී හේ ඉගෙනගෙන ගැනීමට කැමැති සිසුන් වෙනුවෙන් චිත්‍ර පන්ති කිහිපයක් ද පැවැත් වූයේය.

මොටාගෙදරගේ සාර්ථකම තොරණ නිර්මාණ බිහි වන්නේ 1956 වර්ෂයේ දී ය. 1956 මැයි මාසය වනවිට බු: ව: 2500 වන බුද්ධ ජයන්ති වර්ෂය සැමරීම ළඟා විය. ඒ නිමිත්තෙන් දිවයින පුරා වෙසක් උත්සව සංවිධානය හා සැරසිලි නිර්මාණය කිරීම සිදු වූ අතර, ඔහුගේ තෙවැනි තොරණ නිර්මාණය ද බිහි වන්නට විය. ඔහුගේ මිත්‍ර සෝමසිරිගේ උපකාරයෙන් ඔහුගේ පියා සේවය කළ කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි “ජෙට් හයරින් කාර් ඇසෝෂියේෂන්ස්” සංගමයේ ඉදිකිරීමට නියමිත වෙසක් තොරණ මොටාගෙදරට භාරදෙන ලදී. එම නිර්මාණය තුළින් එතෙක් පැවැති තොරණ කලාවේ විප්ලවීය වෙනසක් කිරීමට ඔහුට හැකි විය. එතෙක් එකාකාරීව පැවැත ආ දෙපසම සමබරව එකම මුහුණුවරකින් ඉදිකළ තොරණ කලාව වෙනුවට සම්පූර්ණයෙන් වෙනස් ස්වරූපයකින් යුතු තොරණක් ඉදි විය. එය සාම්ප්‍රදායික තොරණ කලාවෙන් ව්‍යුක්ත වූ නව්‍ය සම්ප්‍රදායක ආරම්භය සනිටුහන් කරමින් වෙනස් මාර්ගයකට ප්‍රවේශ වීමකි.

“මගේ ලතාව” නමින් නම් කළ මොටාගෙදර වනිගරත්නගේ ප්‍රථම සිතුවම් දැක්ම 1956 වර්සයේ ඔක්තෝබර් මස 03, 04, 05 යන තෙදින තුළ කොළඹ ජාතික කලාභවනේදී පැවැත්විණ. එය විවෘත කිරීම සිදු කරන ලද්දේ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසිනි. මෙම ප්‍රදර්ශනයෙහි විශේෂත්වය වූයේ මෙම සිතුවම් දැක්ම නැරැඹීම සඳහා පැමිණෙන්නන්ට ජාතික ඇඳුමෙන් සැරැසී පැමිණිය යුතු බව ආරාධනා පත්වල සඳහන් කර තිබීමයි. ඒ අනුව ඒ සඳහා පැමිණි මහතුන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණි අතර, සංවිධාන කටයුතුවල නියැළී සිටි යුවතියෝ රෙද්ද සහ හැට්ටයෙන් සැරැසී සිටියහ.

දවස පුවත්පත පටන්ගත්ජපසු “දවසේ” දී ප්‍රධාන පුවත් සිරස්තලවලට යෙදීම සඳහා සිංහල අකුරු මෝස්තරයක් සකස් කිරීමට ද මොටාගෙදර කටයුතු කළේය. එය කාර්යමණ්ඩලය තුළ ව්‍යවහාර වූයේ “මොටා ටයිප්” යන නමිනි. එය වර්තමානයේ “දවස ටයිප්” යන නමින් පරිගණක සිංහල අකුරු මෝස්තර රටා අතරට එක්කර ඇත. දවස පුවත්පතේ මංගල මුද්‍රණයත් සමඟ ඔහු විසින් චිත්‍රණය කරන ලද අඟල් 14 x 18 ප්‍රමාණයේ සීවලී හිමිගේ රුව සහිත සිතුවමක් නිකුත් කරන ලදී. හේ දවස ආයතනයේ ප්‍රධාන චිත්‍ර ශිල්පී තනතුර දැරූ අතර, විධායක කාර්යමණ්ඩලයට ද ඇතුළත් කර ගන්නා ලදී.
මොටාගෙදර වනිගරත්න විවාහ වූයේ පුරාවිද්‍යා චක්‍රවර්ති විශාරද ඩග්ලස් සී රණසිංහ මහතාගේ වැඩිමල් දියණිය වන දොන් ඩොරීන් සීතා රණසිංහ මෙනෙවිය සමඟ ය.

පුවත්පත් සිත්තරාට අමතරව මූර්ති නිර්මාණ ශිල්පියකු, බතික් හා රෙදි මුද්‍රණ නිර්මාණකරුවකු, ලී කැටයම් ශිල්පියකු, තොරණ නිර්මාණකරුවකු වශයෙන් හේ විවිධ නිර්මාණ බිහි කර ඇත. එසේම ඇඳුම් නිර්මාණකරණය, වේශ නිරූපණය, නළු නිළියන් හැඩ වැඩ ගැන්වීම ආදී නිර්මාණ කාර්යයන්wට ද දායක වී ඇත. ඒ අතුරින් එමර්ශන් හිප්පොලගේ සහ බර්ටි ගලහිටියාවගේ “රාවණා නාඩගම” හි ඇඳුම් නිර්මාණය හා වේශ නිරූපණය මොටා සහ සීතා අතින් සිදුවිය.

ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා සූරීන්ගේ “නිල් කට්රොල් මල්” නමැති ශෛලිගත වේදිකා නාටකයේ ඇඳුම් නිර්මාණ සහ වේශ නිරූපණ ශිල්පියා වූයේ ඔහු ය. එසේම කිංස්ලි රාජපක්ෂයන්ගේ “සිඟිති සුරතල්” චිත්‍රපටයේ නාට්‍ය කොටසක ඇඳුම් නිර්මාණකරණය, වේදිකා අලංකරණය සහ වේශ නිරූපණය ද මොටාගෙදර අතින් සිදුවිය. ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ “ගම්පෙරළිය” චිත්‍රපටයේ ප්‍රචාරණය උදෙසා මුද්‍රණය කළ විශාල ප්‍රමාණයේ පෝස්ටරයේ නිර්මාණකරුවා වීමේ භාග්‍යය ඔහුට හිමි විය.

“ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මැයි පෙළපාලිවල සියලු ම නිර්මාණාත්මක කාර්යයන් කිරීම මට පැවැරිණි. ඒ අනුව පෙළපාලියේ ප්‍රදර්ශනාත්මක ලෙස රැගෙන යන සියලු ම චිත්‍ර, ආලේඛ්‍ය චිත්‍ර, මූර්ති, කටවුට් සහ කාටූන් යනාදිය වසර ගණනාවක් යන තුරු ම මා අතින් නිර්මාණය විය. එක් වසරක දී මැයි දින පෙළපාළියක් සඳහා ඔළු බක්කන් නිර්මාණයක් ද මා විසින් සිදු කරන ලදී. එවකට මා වඩාත් කැපී පෙනුණේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ චිත්‍ර ශිල්පියා වශයෙනි. මා මේ වනතුරු කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා නොතිබුණ ද මෙවැනි වැඩ හේතුවෙන් මට ආර්ථික වශයෙන් ලාභදායී බොහෝ කාර්යයන් අත්හැර දැමීමට ද සිදු වූ වාර නම් අනන්ත ය. පක්ෂය වෙනුවෙන් කරන ලද කිසිදු නිර්මාණ කාර්යයක් සඳහා හෝ මම මුදල් අය නොකළෙමි. මාගේ කාලය, ශ්‍රමය හා ඇතැම්විට මට ලැබෙන සුළු මුදල පවා ජනතාවාදී දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැප කළෙමි. කෙසේ වෙතත් මාගේ ජීවිත කාලය තුළ මා විසින් කරන ලද නිර්මාණාත්මක කාර්යභාරය පිළිබඳව මම තෘප්තිමත් වෙනවා. එම කාලයේදී කලාකරුවකු ලෙස රට වෙනුවෙන් මට කළ හැකි හා කළ යුතුව තිබූ මෙහෙය ඉටු කරන ලද බවට මම විශ්වාස කරනවා.

  • නන්දික බැද්දේගම
    (දිනමිණ)
    (උපුටා ගැනීමකි)

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top