ලිංගිකත්වය කියන්නේ ශ්‍රී ලංකාව තුළ ජාතිකත්වයට, රටේ සංස්කෘතික වටිනාකම්වලට පහරදීලා හීනමානයෙන් යුත් මිනිස්සු හදන්න පාවිච්චි කරන ප්‍රබලතම මතවාදී මෙවලමක්. හැබැයි ලිංගිකත්වය පිළිබඳ කිසිම විද්‍යාත්මක හෝ සමාජීය පදනමක් නැති මිත්‍යා මත කන්දරාවක් ඔස්සේ තමයි මේ පහරදෙන අය ඒ වැඩේ කරන්නේ.
අද හැමෝම කතාවෙන සමලිංගිකත්වය හා ලිංගික දිශානති කතාව ගැනත් මේ පිරිස ලංකාවේ හදලා තිබුණේ එහෙම කථිකාවක්. ලංකාව වගේ නොදියුණු ආසියාතික රටවල්වල නූගත් මිනිස්සු මේවාට විරුද්ධ වුණාට දියුණු, ශිෂ්ට, විද්‍යාව දන්න බටහිර රටවල මිනිස්සු මේවා හරිම ආදරයෙන් වැළඳගෙන ඉන්නවා කියන අදහස තමයි ඔවුන්ගේ ලොකුම උදාන වාක්‍යය වුණේ.

ඇත්තටම බටහිර සමාජය තුළ මේ දේවල්වලට කොයි තරම් විරෝධයක් තියනවාද? ඒවා නිසා ඒ රටවල ඇති වුණු බරපතළ සමාජීය අර්බුද මොනවාද? කියන එක ගැන ලංකාවේ අපේ බොහෝ අයට මෑතක් වන තුරු කිසිම අවබෝධයක් තිබුණේ නෑ.
හැබැයි මෑතකදී ඩොනල් ට්‍රම්ප්ලා, ඉලෝන් මස්ක්ලා වගේ අය මේකට විරුද්ධව එල්ල කරපු බර අවි ප්‍රහාරයත් එක්ක ලංකාවේ රැඩිකල් දුර්මතයටත් බරපතළ අභියෝගයක් එල්ල වුණා. යූඑස්ඒඩ් වැනි සංවිධාන සමලිංගිකත්වය ප්‍රවර්ධනයට මහා පරිමාණයෙන් සැපයූ අරමුදල් ගැන ප්‍රසිද්ධ කතාබහක් ඇති වීමත්, මෑතකදී නෙට්ෆ්ලික්ස් සම්බන්ධව ඉලෝන් මස්ක් පළ කළ Cancel Netflix for the health of your kids කියන පණිවිඩයෙන් ඇතිවූ ආන්දෝලනයත් වගේ කාරණා මීට අදාළ තවත් උදාහරණ.
මේ මොනවා වුණත් මේ ගැන කතා කරද්දි බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ඉතින් මේවා ප්‍රමෝට් කළාට මොකද? ප්‍රමෝට් කළා කියලා ස්වභාවිකව සමරිසි නැඹුරුවක් නැති අයට මේ අදහස් බලෙන් ඔබ්බවලා බලෙන් ඒ අයගේ ලිංගික දිශානතිය වෙනස් කරන්න බැහැ නේද කියන ප්‍රශ්නය.
මේකට තියන ජනප්‍රිය විද්‍යාත්මක උත්තරය තමයි ප්‍රමෝට් කිරීම මගින් කෙනෙකුගේ ලිංගික අනන්‍යතාව, ලැදියාව, සමරිසි හෝ නොරිසි බව වෙනස් කරන්න බෑ කියන එක. හැබැයි ඒ සරල උත්තරයෙන් ආවරණය නොවන කාරණා ගණනාවක් මේ සමඟ බැඳී තිබෙනවා.

ප්‍රමෝට් කිරීමෙන් කිසිදු බලපෑමක් නැත්නම් ඇතැම් පිරිස් මේ සඳහා මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන්නේ මොන අරමුණකින්ද? මොකද ස්වභාවිකව මෙවැනි ලිංගික දිශානතීන්ගේ වෙනස්කම් සහිත පිරිස ඉන්නේ ජනගහනයෙන් ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි. එතකොට මේ සඳහා විශාල වශයෙන් අරමුදල් පොම්ප කරන්නේ හුදු ස්වභාවිකව ලිංගික දිශානතීන්ගේ වෙනස්කම් ඇති ප්‍රජාවගේ අහිංසක අයිතීන් රැකගැනීම සඳහා විතරද කියන ප්‍රශ්නය ඕනෑම කෙනෙකුට සරලව මතුවෙනවා.
මීළඟට තනි තනි පුද්ගලයාගේ ලැදියාව වෙනස් වුණත් නැතත් මේවා ප්‍රවර්ධනය කිරීමෙන් අද වන විට ලෝකය පුරාම සමාජ ගැටලු කන්දරාවක් මතු වී තිබෙනවා. කුඩා හා නව යොවුන් වියේ දරුවන්ට මෙය තදින් බලපානවා. අවශ්‍ය නම් ඒවා වෙනම විස්තරාත්මකව කතා කළ හැකියි. කොහොම වුණත් ඒ ගැටලු නිසා තමයි ලෝකයේ බහුතරයක් රටවල මේවා ප්‍රවර්ධනයට විවිධ මට්ටමේ සීමා පනවා ඇත්තේ සහ ප්‍රවර්ධනය කරපු රටවලත් මේවාට විරුද්ධව විශාල විරෝධයක් මතු වෙන්නේ.
මෑතකදී ලංකාවේත් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ බුර්කිනෝ ෆාසෝහි තරුණ ජනාධිපති ඉබ්‍රාහිම් සමලිංගිකත්වයට එරෙහි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කළා. හැබැයි ඔහුගේ සිස්ටම් චේන්ජ් වීරකම් ගැන කතා කළ බොහෝ අය ඒ පනත ගැන කතා කළේ නැහැ.
ලෝකයේ රටවල් 195ක් අතරින් තවමත් සමලිංගික විවාහ නීතිගත කර ඇත්තේ රටවල් 38ක වගේ සුළු ප්‍රමාණයක විතරයි.
චීනය, රුසියාව වැනි ලෝකයේ වේගයෙන් නැගී එන හා ලෝක දේශපාලනයට ප්‍රබල බලපෑමක් කරන බලවත් රාජ්‍යයන් තුළ කිසිසේත්ම සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට ඉඩදෙන්නේ නැහැ.
චීනය සමලිංගිකත්වය නීතිමය වරදක් ලෙස සලකන්නේ නැහැ. අතීතයේ චීනය එය මානසික රෝග ලැයිස්තුවට ඇතුළත් කර තිබුණත් 2001 වසරේ සිට චීනයේ මනෝ විද්‍යා සංගමය එය ස්වභාවික තත්ත්වයක් බව පිළිගන්නවා. හැබැයි ඔවුන් කිසිම ආකාරයකින් සමලිංගික විවාහවලට හෝ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවලට නීතිමය අවසර ලබාදීලා නැහැ. එහෙම නොදෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක ගැන අප සිතා බැලිය යුතුයි.
මොකද චීනය කියන්නේ රටේ යහපැවැත්ම, සමාජ ස්ථාවරභාවය ගැන ගැඹුරින් හිතලා ඉතාම සැලසුම් සහගතව තීරණ ගන්න රටක්. මහා පරිමාණ සමාගම්වලට, බිස්නස් කාරයන්ට හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ගේ රටේ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමට චීන රජය කිසිදු ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි ප්‍රශ්නවලදි අප ආදර්ශයට ගත යුත්තේ චීනය වැනි රටවල් මිසක බටහිර රටවල් නොවෙයි.
ඊළගට ට්‍රාන්ස් ජෙන්ඩර් කියන කාරණය සලකා බැලුවොත් එතෙන්දි මේ ප්‍රවර්ධනය කරන්න බෑ කියන කතාව පවා බිඳ වැටෙනවා. මොකද ඒක කිසිසේත්ම ස්වභාවික තත්ත්වයක් නෙමෙයි.
එතෙන්දි කරන්නේ ලිංගික දිශානතිය වෙනස් කරන්න ඕන කියන අදහස හය හතර නොතේරෙන ළමා වියේදීම බලෙන් මනසට කාවද්දලා, Puberty Blocking වගේ ක්‍රම මගින් ශරීරයේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරීත්වය බලෙන් නතර කරලා, හෝමෝන එන්නත් කරලා, මිල අධික ශල්‍යකර්ම මගින් ශරීර අවයව කපලා කොටලා කරලා බලහත්කාරයෙන් ලිංගික අනන්‍යතාව වෙනස් කරන එක. මෙය කිසිසේත්ම ස්වභාවිකත්වයට ඉඩදීමක් ලෙස සලකන්න බැහැ.
ඉතාම හොඳින් පුරුෂයන් හෝ කාන්තාවන් ලෙස ජීවත් වී, පවුල් ජීවිත ගතකොට දරුවන් ලැබූ අය පවා මේ විකෘතියට හසුව බලාත්කාරයෙන් ලිංගිකත්වය වෙනස් කරගත් අවස්ථා තිබෙනවා.
කාඩෑෂියන් පවුලට සම්බන්ධ විලියම් බෲස් ජෙනර්ගේ කතාව මීට අදාළ ලෝක ප්‍රකට උදාහරණයක්. ඔහු හොඳ පිරිමියෙක්. සුප්‍රකට ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙක්. කසාද තුනකින් දරුවන් හය දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒත් 1949 දි උපන් මේ පුද්ගලයා 2015දි ඒ කියන්නේ වයස අවුරුදු 66 දී ලිංගික අනන්‍යතාව වෙනස් කරගනිමින් කාන්තාවක් බවට පත් වෙනවා.
මේ ආකාරයට ලිංගිකත්වය මාරු කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු පවා මතුවීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම මේ ආකාරයට බලෙන් ලිංගික අනන්‍යතාව වෙනස් කළ අයට සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් මිල අධික ප්‍රතිකාර පවා ලබාගැනීමට සිද්ධ වෙනවා. ඒ නිසාම මේ ට්‍රාන්ස් ජෙන්ඩර් ව්‍යාපෘතිය පිටිපස්සේ මහා පරිමාණ ඖෂධ සමාගම් ඉන්නවා කියන එකත් ප්‍රබලව එල්ල වෙන චෝදනාවක්.
මේ තත්ත්වය කොතරම් බරපතළද කිවතොත් මෑතකදී ස්වීඩනය, ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය වැනි රටවල පවා Puberty Blocking නීතිමය වශයෙන් පාලනය කිරීමට කටයුතු කළා. 2022 දී ස්වීඩනයේ National Board of Health and Welfare ආයනතන නිකුත් කළ නිවේදනයක් මගින් වයස 18ට අඩු අය සඳහා ලිංගික හෝමෝන ප්‍රතිකාර සහ වැඩිවිය පැමිණීම සීමා කිරීම අතිවිශේෂ තත්ත්වයකදී පමණක් කළ යුතු බව කියා සිටියා.
එතකොට මේ විදිහට ලෝකය පුරාම මේ සම්බන්ධව දැඩි විරෝධයක් හා එහි අහිතකර පලවිපාක ගැන පැහැදිලි කථිකාවක් ඇතිවූ කාලයක තමයි ලංකාවේ මේ වසංගතය ප්‍රවර්ධනය කිරීම වේගවත් වෙන්නේ.
අද ලංකාවේ තේ සමාගමක් කළ ආකාරයටම වෙනත් රටවලත් මේවා ප්‍රවර්ධනයට උත්සාහ දැරූ සමාගම්වලට එහි අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. අමෙරිකාවේ Anheuser-Busch බියර් සමාගම මුහුණ දීපු ප්‍රශ්නය මීට එක උදාහරණයක්.
කෙටියෙන්ම කිවතොත් ස්වභාවිකව යම් යම් වෙනස්කම් ඇති පුද්ගලයන් හෝ සමරිසි ප්‍රජාව හෙළා දැකීමට පිළිකෙව් කිරීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැහැ.
ඒත් ස්වභාවිකව එවැනි පිරිස් ඉන්නේ ජනගහනයෙන් ඉතාම අල්ප ප්‍රතිශතයක් පමණයි. එතකොට දැන් සිදුවෙමින් තිබෙන්නේ ඒ ඉතාම සුළු පිරිසක ප්‍රශ්නයක් අල්ලා ගනිමින්, ඒ ප්‍රශ්නය සිය දහස් වතාවක් අතිශයෝක්තියට නංවමින්, ඒ සුළු පිරිසේ අන්තවාදී ඉල්ලීම් අනුව සමස්ත සමාජ පද්ධතියේම සැකැස්ම අර්බුදයට ඇද දැමීමක්. ඔය ඉංග්‍රීසි අකුරු කිහිපයේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිටුපස තිබෙන්නේ ඒ කාරණය. ඒ නිසා මේ ප්‍රශ්නයේ සමස්ත වපසරිය දෙස නොබලා ප්‍රවර්ධනය කිරීමේ සමරිසි භාවය ඇති කළ හැකිද වැනි සරල තර්කයකට සීමා වී මේ ප්‍රශ්නය දෙස බැලීම ප්‍රායෝගිකව කිසිදු අර්ථාන්විත භාවයක් නැහැ.
- ඉසුරු ප්‍රසංග



