පසුගිය කාලයේ මතුවූ ආර්ථික අර්බුද ආදිය සමග රට ගොඩ දැමිය හැකි රත්තරන් නිධි ගැන බොහෝ පාර්ශ්ව කතන්දර ගොතන්නට පටන්ගත් බව නොරහසකි. ඇතැම් කතන්දර ව්‍යාජ තොරතුරු මත පදනම් වූ ඒවා වූ අතර, වැඩකට නැති බව කියා අහක දමන්නට බැරි වැදගත් දෑ ද ඒවා තුළ විය.
මේ ලිපියෙන් ඉදිරිපත් කරනුයේ ඒ විවාදාත්මක කතන්දර අතර යම් මට්ටමකට හෝ පිළිගත හැකි යැයි සිතිය හැකි කරුණුවල කෙටි සාරාංශයකි.

පෞරාණික තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ රත්රන් කැණීම වසර දහස් ගණනක් ඈත අතීතයට දිව යන පෞරාණික කතාවකි. බොහෝ විට අතීතයේදී රත්රන් ලබාගන්නා ලද්දේ ලංකාව පුරා විහිදී පවතින ගංගා ආශ්රිත දියලූ නිධිවලින් බව සඳහන් වේ.
ක්‍රි.පූ. දෙවන සියවසේ දුටුගැමුණු රජු සමයේදී වර්තමානයේ කැබිතිගොල්ලෑව නමින් හැඳින්වෙන අකරවිටිගම අවට රත්රන් කැණීම් සිදුකර ඇති බවට ඓතිහාසික සාක්ෂි හමුවෙයි. මහාවංශයේ 28 වැනි පරිච්ඡේදයේ හා ථූපවංශයේ 71 වන පරිච්ඡේදයේ දක්වා ඇති ලෙසට මේ ප්‍රදේශවලින් හමුවුනු රත්රන්, රිදී සහ තඹ සමග මිශ්‍රවී ඇති බව පැවසේ.
මෙම නිධිවල රත්රන් කැණීම් කළ ගම්මාන විශාල ප්‍රමාණයක් එම කාලයේ දී තිබූ බව ද වාර්තා වේ. රුවන්වැලි සෑය ගැන කියැවෙන පෞරාණික සාධක අනුව රන්පත්විල ප්‍රදේශයෙන් කනින ලද රත්රන් කරත්ත හතක් රැගෙන ඒමේදී එහි බර නිසා රඹෑව ප්‍රදේශයේ දී ඒව අනතුරකට ලක්ව බාන්නට සිදුවු බවත් සඳහන් වේ. ඒ අනුව රන්බෑව ප්‍රදේශය රඹෑව ලෙස ජනවහරට එක් වූ බව පැවසේ.
යටත් විජිත සමයේ දී පළ කළ පුවත්පත් වාර්තාවල ද මේ රන් නිධි ගැන සාක්ෂි සටහන් වේ. 1938 පළවූ ටයිම් ඔෆ් සිලෝන් පුවත්පතේ වාර්තාවට අනුව 1850 දී පමණ මහඔය ප්‍රදේශයෙන් රත්රන් සොයාගෙන ඇති බව දක්වා තිබේ.
බ්රැච්ලි නමැති බ්‍රිතාන්‍ය ජාතික නාවුකයකු මහඔය ප්‍රදේශයෙන් රත්රන් කුඩු හොයාගත් බවත්, ප්‍රදේශවාසීන් විසින් එහි විශාල පරිමාණයෙන් කැණීම් සිදුකිරීම නිසා රජය විසින් 1954 මාර්තු මාසයේදී පළ කළ ගැසට් පත්‍රයක් මගින් කැණීම් බලපත්‍ර ලබාදී ඇති බවත් සඳහන් වේ.
මහාචාර්ය සී. බී. දිසානායක මහතා 1985 දී පළ කළ පර්යේෂණ වාර්තාවට අනුව පෞරාණික ශ්‍රී ලංකාවේ රත්රන් කැණීම් සිදුකළ ගම්මාන විශාල ප්‍රමාණයක් තිබූ බවත්, ගම්මාන බොහොමයක් ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්රිත උස් බිම්වල පිහිටා තිබූ බවත් සඳහන් වේ.
1902 සහ 1903 කාලයේදී රත්රන් පිළිබඳ විශේෂඥයකු වුනු ජී. ජී. ඩික්සන් නමැත්තා විසින් දිවයිනේ දකුණු, මධ්‍යම හා බටහිර ප්‍රදේශවල රත්රන් දියලූ නිධි වශයෙන් කුඩා ප්‍රමාණවලින් හමුවූ බවත් වාර්තා කර ඇත.
කෙසේ වුවද, 1905 පළ වූ සිලෝන් ඇඩ්මිනිස්ට්‍රේටිව් රිපෝට්ස් නම් වාර්තාව අනුව එවක පැවති රජයේ ඛනිජ ගවේෂණ ආයතනය මගින් සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වල රත්රන් හමුවන ස්ථාන පිහිටා තිබූ බව සනාථ කරයි.
වසර 1900 දී පමණ කුරුඳුඔය නිම්නය ආශ්‍රිතව වළවල් හාරා රත්රන් ගරා ඇති බවත්, අතහැර දමා ඇති පැරණි රත්රන් වළවල් අදත් දැකිය හැකි බවත් ගවේශකයන් තහවුරු කර ඇත. ගම්පොළ ප්‍රදේශයේ මධ්‍යම කඳුකරය ආශ්රිත ඇළ මාර්ගවල දියලූ අවසාදිත සමග ටොන් 1ට ග්‍රෑම් 400 පමණ වූ රත්රන් සාන්ද්‍රික හමුවූ බව රාමක්‍රිෂ්ණා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් 1987 දී වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ රත්රන් පතල් 16ක් සඳහා අවසර ගෙන තිබූ බවත් විශාල වශයෙන් හමුනොවූවද රත්රන් හොරණ, අකුරැස්ස, දෙණියාය, පරළව දේශවල නිල්වලා ගඟ ආශ්රිත බැර ඛනිජ තැන්පතු සමග විශේෂයෙන් ගඟ පතුලේ ටයිටේනියම් හා යුරේනියම් ඛනිජ සමග හමුවූ බව ද සඳහන්ය. මෑතකාලයේ කැලණිගඟ ආශ්‍රිතව තවත් මෙවැනි රත්රන් කුඩු විශාල වශයෙන් හමුවුනු අවස්ථා වාර්තා විය.
රත්තරන් ගැන වෙන කවරදාකටත් වඩා ප්‍රකට වාර්තා පළ වූයේ සේරුවිලට ආසන්නයේ අරිප්පු, කොල්ලකුලම්, බ්ලොක් සී ප්‍රදේශ ආවරණය කරමින් වර්ග කිලෝමීටර් 100ක පමණ භූමියක පිහිටා ඇතැයි කියන රත්තරන් නිධිය පිළිබඳවය.
පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්තරන් පවතිනුයේ මුළු මිලියනයකට රන් කොටස් හතරක් පමණක් වුවත්, සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්පල්වල මුළු කොටස් මිලියනයකට රත්තරන් කොටස් 1000 ඉක්මවා පවතින බවත් සඳහන් විය. එහෙත් අවාසනාවකට අද වෙනවිට මේ නිධිය ගැනවත්, සිදුකළ ගවේෂණවල ප්‍රතිඵල ගැනවත් සඳහනක් නැති තරමට වැඩේ යට ගොස් තිබේ.
සේරුවාවිල ප්‍රදේශයට අමතරව ලංකාවේ තවත් ස්ථාන හතරක භූමි අභ්‍යන්තරයේ රත්තරන් තිබෙන බවට පර්යේෂණවලින් අනාවරණය වුනු බවත් මෑත කාලයේ දී වාර්තා වූ අතර, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙම රන් නිධි පිහිටා ඇති බව සඳහන් විය.
මේ ගැන තවදුරටත් පර්යේෂණ කළ යුතු යැයි පර්යේෂකයන් හැමදාමත් පැවසූ කතාවම මෙවරද මුලට පැමිණ මේ පිළිබඳව සෑම පරීක්ෂණයක්ම, නිරීක්ෂණයක්ම, නිගමනයක්ම ලත් තැනම ලොප් වූ බවක් පෙනෙන්නට ඇත.
රත්තරන් නිධිවල කතන්දර තාමත් සුරංගනා කතා මෙන් විවිධ පරම්පරාවලට රසය සපයමින් ඔහේ පවතිද්දී මෙරට ජනයා අදත් අර්බුද තුළ සිරවී ජීවිත ගත කරති.
- අර්ජුන බද්දෙවිතාන



