ඔබේ මගේ අපේ අභිමානවත් කථාව – මහාවංශය ගැන දැනගත යුතුම කරුණු

මහා වංශය ලෝක උරුමයක් ලෙස පසු ගිය දා නම් කරනු ලැබීම කවුරුත් දන්නා සිදු වීමකි. අපේ වංශ කතා අතර ප්‍රමුඛස්ථානය ගන්නා මහා වංශය ලෝකයේම සුවිශේෂ කෘතියකි. අඛණ්ඩව තම ඉතිහාසය ලියූ එක ම ජාතිය සිංහලයන් බව ලංකාව භාර යටත් විජිත ලේකම්වරයකු වූ ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් මහතා පවසා ඇත. ඇත්තෙන්ම එවන් ජාතිහු දෙකක් වෙති. චීන ජාතිකයන් හැර එවැනි ඉතිහාසකරණයක් ඇත්තේ අපටය.

මහා වංශය ලියැවෙන්නේ ක්‍රි. ව. පස් වැනි සියවසෙහි සිටය. ඊට ටීකාවක් ලෙස පසු කලෙක වංසත්ථප්පකාසිනිය ලියැවෙයි. කිහිපදෙනෙකු අතින් ලියැවුණු මහා වංශයේ මුල්ම කතුවරයා දික්සඳ සෙනෙවියා පිරිවෙන් වාසී මහානාම තෙරුන් බැව් ටීකාව දක්වයි. ටීකාවද රචනා කරන ලද්දේ මහානාම යන නමම දැරූ තෙරුන් වහන්සේ නමක විසිනි.

මහා වංශයට වසර සියයකට පමණ පෙර ලියැවුණු දීප වංශය, යටත් පිරිසෙයින් මහා වංශයට සියවස් තුනකට පෙර ලියැවුණු සීහලට්ඨකථා මහා වංසය, අභයගිරියෙහි ලියැවුණු උත්තර විහාරට්ඨ වංස කථාව, චේතිවංසට්ඨ කථාව, මහාබෝධිවංසට්ඨකථාව, චූලසිහනාද සුත්තවණ්ණනාව, සීහලනමක්ඛාර වණ්ණනාව, දීපවංසට්ඨ කථාව, රෝහණවංසට්ඨ කථාව, පුඤ්ඤ පොත්ථක හෙවත් පින් පොත් ආදී බොහෝ මූලාශ්‍ර මහා වංශ කතු හිමියන් විසින් සේවනය කරන ලද බැව් කියැවෙයි. සීහලට්ඨකථා මහා වංසයද උත්තර විහාරට්ඨ වංස කථාවද දැනට දක්නට නැත.

මහසෙන් රජු දවස (හතර වැනි සියවසෙහි මුල) දක්වා දිවෙන පරිච්ඡේද 37 කින් සමන්විත පළමු වෙළුම පමණි, මහානාම හිමියන් විසින් රචනා කරන ලද්දේ. එහි දී, පෙර මූලාශ්‍රවල ඉතා දීර්ඝ ව තිබුණු විස්තර කෙටි කිරීමත්, අතිශය කෙටියෙන් සඳහන්ව තිබුණු කරුණු සුදුසු පමණට විස්තර කිරීමත්, පුනරුක්ති බැහැර කිරීමත් යන දෑ තමන් වහන්සේ කළ බව කතු හිමියෝ දක්වති. උන් වහන්සේ මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් ඇත්තකු බව උන් වහන්සේගේ මේ උත්කෘෂ්ඨ ශාස්ත්‍රීය ව්‍යායාමයෙන් පැහැදිලි වෙයි.

මහා වංශයේ 37 වැනි පරිච්ඡේදයෙන් පසු කොටස් චූල වංශය නමින් ඇතැමකු හැඳින්වුවද, මේ එක ම කෘතියක අවියෝජනීය කොටස්ය. එහි කතුවරු මෙසේ වෙති.

විජයගේ සිට මහසෙන් දක්වා (පරිච්ඡේද 1 සිට 37): මහානාම හිමි
මහසෙන්ගේ සිට දෙවැනි පැරකුම් දක්වා (පරි 37 සිට 80): ධම්මකිත්ති හිමි
දෙවැනි පැරකුම්ගේ සිට සිව් වැනි පැරකුම් දක්වා (පරි 80 සිට 90): බුද්ධරක්ඛිත හිමි
තුන් වැනි භුවනෙකබාහුගේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ දක්වා (පරි 91 සිට 100): තිබ්බොටුවාවේ හිමි
රාජාධිරාජසිංහගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා (පරි 101): සුමංගල හිමි
1815 සිට 1936 දක්වා (පරි 101 සිට 114): යගිරල පඥ්ඥානන්ද හිමි
1936 සිට 1955 දක්වා (පරි 115 සිට 124): ආචාර්ය නන්දදේව විජේසේකර මහතා
1956 සිට 1978 දක්වා (පරි 125 සිට 129): බෙල්ලන ශ්‍රී ඥානවිමල හිමි
1979 සිට 2010 දක්වා (පරි 130 සිට 133): ආචාර්ය මාලිනී ඇඳගම මහත්මිය ප්‍රමුඛ මණ්ඩලයක්

මහා පරාක්‍රමබාහු රජුගේ දියණියක විවාග වූයේ කාම්බෝජ කුමාරයකු සමගය. මේ රාජකීය විවාහයට සමගාමීව මහා වංශ පිටපතක් කාම්බෝජයට ගෙන ගොස් එහි සංස්කරණයක් කාම්බෝජ අකුරින් ලියන ලදී. එහි මහාවංශ ගාථා සියල්ල එලෙසින් ම ඇතත් ඊට අමතරව තවත් ගාථා පාඨ විශාල සංඛ්‍යාවක්ද ඇත. මෙහි කතුවරයාගේ නම මොග්ගල්ලාන බව එහිම දැක්වෙයි. මේ හිමි නමකද ගිහියකු දැයි පැහැදිලි නොවේ. බොහෝ දෙනා සිතන්නේ හිමි නමක බවය. මෙය මහා වංශයේ මොග්ගල්ලාන සංස්කරණය ලෙසද කාම්බෝජ මහා වංශය ලෙසද හැඳින්වෙයි.

මහා වංශයේ ඓතිහාසික නිරවද්‍යතාවයට සාක්ෂි බොහෝය. මහා පරක්‍රමබාහු (කුමාරයා) සහ දෙවැනි ගජබාහු අතර ගැටුමක් ඇති වී සංඝයා වහන්සේලා මැදිහත්ව එය සංසිඳවා ඔවුන් දෙදෙනා එළැඹුන ගිවිසුම මැදිරිගිරියෙහි සහ දක්ඛිණ දේශයේ විහාර දෙකක කොටවා තැබූ බව මහා වංශයෙහි කියැවෙයි. පුරාණ දක්ඛිණ දේශයට අයත් පෙදෙසක් වූ ඉබ්බාගමුව අසළ සංගමුව විහාරයෙන් මේ ලිපිය හමු විය. දෙවැනි අග්බෝ රජු තමාගේත් දේවියගේත් (දාඨා) නම් එක් කොට දළ අග්බෝ නම් විහාර කර්මාන්තයක් කරවූ බව මහා වංශයෙහි දැක්වෙයි. අභයගිරිය අසළ සෙල් ලිපියක දළ අග්බෝ පිරිවෙන සඳහන් වෙයි. තුන් වැනි සංගායනාව සහ ධර්ම දූතයන් වහන්සේලා ගැන මහා වංශය කියන විස්තර සෙල් ලිපි මගින් තහවුරු වී ඇත. ඉන්දියාවේ අශෝක ලිපිවලින් ධර්මාශෝක රජු හඳුනා ගන්නේද, වර්ෂ පිළිවෙල නිවැරදිව සකසා ගන්නේද මහා වංශයේ උපකාරයෙනි.

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියනුත්, බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමාත් එක්ව මහා වංශය සිංහලට පරිවර්තනය කළහ. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් මහතා, ශ්‍රීමත් ජෝර්ජ් ටර්නර් මහතා, ආචාර්ය මේබල් හෙයින්ස්බෝඩ් මහත්මිය වැනි විද්වත්හු මහා වංශය ඉංග්‍රිසි, ජර්මානු ආදී භාෂාවලට පරිවර්තනය කළහ.

මහානාම හිමියන් මහා වංශය රචනා කළේ සිය බෑණනුවන් වූ ධාතුසේන කුමරුට රජුන්ගේ කාර්ය භාරය පෙන්වා දෙනු පිණිස යැයි කියැවෙයි. ධාතුසේන රජුගේ මාමාද දික්සඳ පිරිවෙන් වාසී තෙර නමක බව සැබෑවකි. උන් වහන්සේ ධාතුසේන කුමරුට ගුරුහරුකම් දුන් බව ද සැබෑවකි. එහෙත් උන් වහන්සේ සහ මහා වංශ කතු හිමියන් එක් අයකු දැයි නිශ්චිත නොවේ. මහාචාර්ය පරණවිතාන මහතා සිතන්නේ ධාතුසේන රජුගේ මාමා, උපසේන නම් වෙනත් තෙර නමක බවයි. දික්සඳ සෙනෙවියා පිරිවෙන පිදුරංගල ආශ්‍රිත ව පිහිටි බවද සැළකේ.

ඒ කෙසේ වුවද, මහා වංශය පුරා දිවෙන අරමුණ අපේ සම්ප්‍රදායක් මත පිහිටා දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික ස්වාධීනත්වය පිළිබඳ මතවාදයකින් ජාතිය සන්නද්ධ කරවීමය. පුරාණයෙහි විහාරවලට රැස් වූ ජනයාට භාණක තෙරුන් වහන්සේලා මහා වංශයත් වෙනත් වංශ කතාත් දෙසූ සේක. රජවරුන් පවා ගොස් එසේ වංශ කතා දේශනා ඇසූ බවට අභිලේඛන සාක්ෂි ඇතැයි ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා දක්වයි. මහා වංශයෙන් ජාතියට ඉදිරිපත් කර ඇත්තේ ඉතිහාසය පිළිබඳ සුසමාදර්ශයක් බව :ච්ර්ාසටප* මහාචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා ඇත.

මහා වංශයට බැට දීම ඇරඹෙන්නේ 1930 දශකයේ පටන්ම ය. ඒ මහා වංශය ඇහේ ඇනුණු කටුවක් වූ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනඥයන් සහ ලේඛකයන් අතිනි. මෑත කාලයෙහි පටන් කල එළි බැස සිටින රාවණා පර්යේෂකයෝද, බුදුන් වහන්සේ හෙළ බිමෙහි උපන්හයි කියන්නෝද තම තම නැණ පමණින් මහා වංශය පතුරු ගසති. මේ සියල්ල මැද මහා වංශය තවත් චිරාත් කාලයක් ජාතියට මග පෙන්වනු ඇතැයි අපි විශ්වාස කරමු.

  • සුමුදු අධිකාරි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top