සිංහල උරුමය වෙනුවෙන් ඉංග්‍රීසියෙන් සටන් කළ ශාස්ත්‍රීය අරගලකරුවා – ජේම්ස් ද අල්විස්

ශ්‍රී ලංකාවේ යටත් විජිත ආණ්ඩුකාරයකු වූ ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන් මහතා වෙත (1850- 1855) එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙක් මෙසේ ලියා යැවීය.

“මේ ද්වීපයෙහි ස්වදේශික සමාජය සැදුම් ලත් අයුරු; සිංහල ජනයාගේ සිරිත් විරිත්, සිතුම් පැතුම්, ඕනෑ එපාකම්, දුක් ගැනවිලි, ගෘහස්ථ සහ සමාජ සබඳතා, සම්ප්‍රදායයන් සහ සතිය අනුදත් ඔවුන්ගේ ආගම ගැන බොහෝ දෙනා දන්නේ අල්ප වශයෙනි. මේ සියල්ල චිරාත් කාලයක් පැවත ගෙන ඒමට මාධ්‍යය වූ සිංහල හෙවත් එළුව පිළිබඳ මනා වැටහීමකින් තොරව ඒ වටහා ගත හැක්කේ යන්තමින් පමණි”.

මේ ලිපිය ලියූ මන්ත්‍රීවරයා තවත් තැනක මෙසේ ලියයි.

“බුදු දහම බමුණු ආගමික විලංගු සිඳ ලූ, පෙරදිග විසල් කලාපයක් සංසිඳවූ, අප ද්වීපයෙහිත් ආසියාවෙහි වැඩි කොටසකත් සභ්‍යත්වය පිහිටවූ දහමයි. කිතු දහම හැර, අප දන්නා සෙසු සියල්ලටම වඩා උසස් සදාචාරයක් බුදු දහම විසින් සංග්‍රහ කරනු ලැබේ. …. එය පොදු ජනයාගේ මනෝභාවයන් හඳුනා ගන්නා, අභිචාරවලට වඩා ගුණ ධර්ම ඔසවා තබන ආගමකි.” (එළු අත්තනගලු වංසය ඉංග්‍රීසි පරිවර්තනය, 1866)

සිය විශ්‍රාම දිවිය අතරතුර ලියූ සිය මතක සටහන් අතර යටත් පිරිසෙයින් දරුවන්ගේ අධ්‍යාපනයෙහි මුල් භාගය තුළ සියබසට දැඩි අවධානයක් දිය යුතු බව අවධාරණය කරයි.

අප කථා නායකයා ආයතනික වශයෙන් ප්‍රාචීන අධ්‍යාපනයක් ලද්දෙක් නොවේ. බෞද්ධයෙක්ද නොවේ. එවක සිය සමාජ වටපිටාවෙහි පැවති යටත් විජිතවාදී මති මතාන්තරවල බලපෑමට ඔහුද යම් තරමකට නතු වීම පුදුමයක් නොවේ. ඇත්ත වශයෙන්ම හේ 1861 හි දී Pali Text Society හි සඟරාවට මෙසේ ද ලියයි.”වැඩි කල් නොගොස් බුදු දහම මෙරටින් අතු ගෑවී යතැයි සිතීමට හේතු කාරණා තිබේ. ක්‍රිස්තියානිය ක්‍රම ක්‍රමයෙන් මහජනයා නොකැලඹෙන සේ රට පුරා පැතිරුනොත්, මෙරට මිථ්‍යා විශ්වාස සහ අඥානකම් ඉක්මණින්ම දුරු වනු ඇත.”

අප කතා කරන්නේ ලේඛකයකු, නීතිඥයකු මෙන්ම පසු කලෙක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල නොලත් මන්ත්‍රීවරයකද වූ ජේම්ස් ද අල්විස් මහතා ගැනය.

ආණ්ඩුකාරයාගේ සහකාර භාෂා පරිවර්තකයකු වූ දොන් ඒබ්‍රහම් ද අල්විස් අභයසිරිවර්ධන ගුණතිලක මුදලිතුමාගේ සහ සල්පිටි කෝරළයේ දොන් ඒඩ්‍රියන් ද අල්විස් මුදලිතුමාගේ දියණිය වූ ෆ්ලොරන්ටීන්ගේ වැඩිමල් පුත්‍රයා ලෙස ජේම්ස් 1823 දෙසැම්බර් 14 දින උපත ලැබීය.

වාසනාවට පස් හැවිරිදි වියෙහි පටන් ඔහු ඉගෙනීමට අත් පොත් තැබුවේ සිය මව යටතෙහි ප්‍රධාන වශයෙන් සිංහලෙනි. තමන්ම කළ ඉගැන්වීමට අමතරව ඇය ඒ සඳහා කලක් පැවිදි ව සිටි උගතකුගේ සහය ද ලබා ගත්තාය. ඉන් පසු ජේම්ස් දරුවා 1837 හි දී ක්‍රිස්තියානි දේවගැතිවරයකු විසින් පිහිටුවන ලද කලම්බු ඇකඩමි නම් පාසලට ඇතුළත් විය. ඒ වසරෙහි පටන්ම ජේම්ස්ගේ ලිපි පාසල් සඟරාවෙහි පළ විය.

පාසල් දිවියේ අවසන් භාගය වන විට පියාගේ ව්‍යාපාර දිගින් දිගටම කඩා වැටෙමින් තිබුණි. සිය වියදම් සොයා ගැනීම සඳහා ජේම්ස් හෙරල්ඩ් පුවත් පතෙහි අර්ධ කාලීනව සේවය කළේය. 1841 හි දී ජේම්ස් පාසල හැර යන විට පියා ජීවතුන් අතර නොසිටියේය. ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ නිලධාරියකු මගින් අධිකරණයේ ආධුනික භාෂා පරිවර්තකයකු ලෙස රැකියා ප්‍රවේශයක් ලත් ඔහු, සේවයට ගිය පළමු වැනි දිනයෙන්ම ඊට සමු දුන්නේය. ඊට හේතුව විනිසුරු කී බොහෝ වචනවලට අදාළ සිංහල වචන දැන නොසිටි ඔහු උසාවිය ඉදිරියෙහි අසරණ වීමය.

ඉන් පසු ජේම්ස් තරුණයා ඉටා ගත්තේ කෙසේ හෝ සිංහල භාෂා ඥානය පුළුල් කර ගත යුතු බවය. ඒ අතර නීතිඥයකුගේ ආධුනිකයකු වශයෙන් සේවයට බැඳී 1844දී නීතිඥයෙක්ද විය. පසු කලෙක දිස්ත්‍රික් විනිසුරුවරයෙක් ද විය. ඔහු සිංහල සහ ප්‍රාචීන භාෂා දැනුම වර්ධනය කර ගැනීමට පටන් ගන්නේ 1845 හි දීය. බටුවන්තුඩාවේ පඬිතුමාද ඔහුගේ එක් ගුරුවරයෙක් විය.

එතුමාගේ මුල්ම ශාස්ත්‍රීය කෘතිය නම් 1852 හි දී සිදත් සඟරාව ඉංග්‍රිසියට පරිවර්තනය කොට අගනා පෙරවදනක් ද සහිත ව පළ කිරීමයි.

ඉන් දස වසකට පසු (1862) “Buddhism: its origin; history; and doctrines; its scriptures; and their language, the Pali” නමින් කෘතියක් ද කළ බව සඳහන් ය.
පෙර උපුටා දැක්වුණු එළු අත්තනගලු වංසයේ පරිවර්තනය 1866 හි දී පළ වෙයි.

සුප්‍රකට මැක්ස් මුලර් පඬ්වරයාගේ ධම්මපද පරිවර්තනයට විචාරයක් ලියන එතුමෝ “Buddhist Nirvana” නමින් එය 1868 හි දී පළ කරති.

“Contributions to Oriental literature; or, The leisure hours” (1963), “A descriptive catalogue of Sanskrit, Pali, & Sinhalese literary works of Ceylon” (1870), “An introduction to Kachchỳana’s grammar of the Pàli language (1863) යන කෘති ද එතුමා විසින් රචනා කරන ලද්දේය. ලංකා ඉතිහාසය පිළිබඳ කෘතියක් සම්පාදනය කළ බව කියැවෙතත් එය පළ කිරීමට එතුමාට නොහැකි විය.

මීට අමතරව එතුමාගේ ශාස්ත්‍රීය ලිපි, දෙසුම් ආදිය ද බොහෝ ගණනකි. පොතක් පළ වූ කල පුවත්පත් සංස්කාරකයන් එතුමාගෙන් විචාරයක් ඉල්ලා සිටීම සුලභ සිද්ධියක් විය.

1861හිදී ජේ. සී. ඩයස් නම් රාජ්‍ය මන්ත්‍රණ සභිකයා විශ්‍රාම යාමෙන් ඇති වූ පුරප්පාඩුවට යෝජිත නම් අතර ජේම්ස් ද අල්විසුන්ගේ නම ද තිබුණු නමුත් අසුන හිමි වූයේ හෙන්රි ඩයස් නම් වෙනත් අපේක්ෂකයකුට ය. ඒ සභිකයා 1864 හි දී බ්‍රිතාන්‍යයට ගිය විට ඔහු නැවත පැමිණෙන තෙක් වැඩ බැලීමට ජේම්ස් ද අල්විස් මහතා පත් විය. එහෙත් යටත් විජිත හමුදා වැය ශීර්ෂ පිළිබඳ මත භේදයක් මත ඒ වසරෙහිදී ම ඔහු ඇතුළු ලාංකික මන්ත්‍රීවරු ඉල්ලා අස් වූහ. ඔහු නැවත 1875 හි දී මන්ත්‍රණ සභාවට පත් ව, 1878 ජූලි 05 වැනි දිය මිය යන තෙක් ම සභික ධූරය දැරීය.

වරප්‍රසාද ලත් පැළන්තියට අයත් වුවද, ජේම්ස් ද අල්විස්හු නිහතමානී ව මෙසේ ලියති.

“.. මෙහි මුල ඇත්තේ අතැඟිලිවලින් ගැණිය හැකි පවුල් ගණනකට හිමි ව ඇත්තාවූද, ඔවුන් විසින් උද්ධච්ඡ ලෙස හිමිකම් කියා පානු ලබන්නා වූ ද සමාජ වරප්‍රසාදයි. පොදු සමාජයේ ප්‍රගමනයට මෙයින් එල්ල වන්නේ සුළු පටු බාධාවක් නොවේ.”

  • සුමුදු අධිකාරි

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top