බෞද්ධයා වෙනුවෙන් ලංකාවේ පළමු මාසික සඟරාව පළ කළ බටුවන්තුඩාවේ පඬිතුමා

හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ සිය ආවාසයේ ආලින්දයෙහි අසුනක වැඩ සිටිති. ආවාසය කරා එන පුරුෂයෙක් දුර තබා ම දුටු එහිමියෝ අසුනින් නැගිට සක්මන් කරන්නට වූහ. අමුත්තා ළඟට ආ පසු අසුනින් නැගී සිටියහොත් සංඝ ගෞරවයට නොහොබී. අසුනින් නොනැගී සිටියහොත් ගුරු ගෞරවය කැඩෙයි. මේ දෙක ම බේරා ගනු වස් නා හිමියෝ කල් තියා නැගිට සක්මන් කරති.

මේ පුරුෂයා වනාහි උන්වහන්සේගේද ගුරුවරයකු වූ බටුවන්තුඩාවේ පඬිතුමා ය.

එතුමා ගාල්ලේ බටුවන්තුඩාව ගමෙහි 1819 මැයි 2 වැනි දින දොන් අන්දිරිස් ද සිල්වා ලෙසින් උපන්නේය. එතුමාගේ පරපුරේ මුල් පුරුක් සීතාවක වැසියෝය. සීතාවක රාජසිංහ රජුගේ උදහසක් නිසා අන්දිරිස් දරුවාගේ මී මුත්තෝ පෘතුගීසි බල ප්‍රදේශයෙහි රැකවරණ සොයා ගාල්ලට සේන්දු වූහ. එහෙත් සැදැහැවත් බෞද්ධයන් ලෙස දිවි ගෙවූ අන්දිරිස්ගේ මව්පියෝ දරුවා සසුන් ගත කළහ. බටුවන්තුඩාවේ දේවරක්ෂිත පොඩි හාමුදුරුවෝ හොඳින් දම් සතර හදාරා වැඩි දුරටත් ඉගෙනුම පිණිස රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙණට බැඳුනහ. පසු ව එහි ආචාර්යවරයකු වන උන් වහන්සේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට ගුරු වන්නේ එහි දී ය. කෙසේ වෙතත් සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නිසා පැවිදි දිවියට සමු දීමට උන් වහන්සේ තීරණය කළ සේක. උපැවිදි වූ පසුව ද එතුමා පෙනී සිටියේ බටුවන්තුඩාවේ දේවරක්ෂිත යන නමිනි.

බටුවන්තුඩාවේ පඬිතුමා අනතුරු ව පාසලක සේවය කළේය. මෙකල සියලු ම පාසල් පාලනය කරන ලද්දේ ක්‍රිස්තියානි දේවගැතිතුමන් විසිනි. උගත් දේවගැතිවරුන් පිරිසක් සමග බටුවන්තුඩාවේ පඬිතුමාට ශාස්ත්‍රාලයීය මිත්‍රත්වයක් තිබුණි. එහෙත් එම පාසලෙහි අධිපති දේවගැතිතුමා බෞද්ධ විරෝධී ප්‍රකාශනයක සෝදු පත් බලන ලෙස කී විට එතුමා එය පිළිකෙව් කළේය. එය ඉටු නොකළොත් සේවය අත් හිටුවන බවට ඇඟවුමක් ලද සැණින් එතුමා ඒ පාසල අත් හැර ගියේය. පසු කලෙක ඒ ප්‍රකාශනය පළ වී තිබෙනු දැක ඊට පිළිතුරු පොතක් ලියූ එතුමාට එය මුද්‍රණය කරනු පිණිස බොහෝ වැර වෑයමින් මුද්‍රණාලයක් ද පිහිටුවන්නට සිදු විය. එය ලංකාභිනව විශ්‍රැත යන්ත්‍රාලය නම් විය. දිනමිණ පුවත්පත මුලින්ම මුද්‍රණය කරන ලද්දේද පිටකොටුව පළමු හරස් වීදියෙහි පිහිටි මේ මුද්‍රණාලයේය.

මහා වංසය, මහා වංස ටීකාව (වංසත්තප්පකාසිනිය) ඇතුළු සිංහල, පාලි ග්‍රන්ථ මහත් රාශියක් බටුවන්තුඩාව පඬිතුමාගේ සංස්කාරත්වයෙන් නැතහොත් සම සංස්කාරත්වයෙන් පළ කරනු ලැබීය. සඟරාවක් ලෙස හඳුන්වා ගන්නා ලද මුල්ම සිංහල ප්‍රකාශනයද එතුමාගේ සංස්කාරකත්වයෙන් පළ වූවකි. යථා ලාභ සංග්‍රහ කරන්නේ යන අරුතින් එය යතලබ සඟරාව නම් විය. ලක්මිණි පහන පිහිටුවීමෙහි පුරෝගාමියකු වූ එතුමා පසු කලෙක එහි සංස්කාරක තනතුරද දැරීය.

මුදලි කමකින් පිදුම් ලද එතුමා එය බැහැර කළේ මුදලිකමට වඩා තමන්ට ගුරුන්නාන්සේ කම හොඳ බැව් කියමිනි. බුරුමයෙන් මහාචාර්ය ධුරයකට ඇරයුම් ලද විට එතුමා කීවේ තමන්ට මෙරට කළ යුතු ශාස්ත්‍රීය මෙහෙවරක් ඇති බවය. පල්ලියෙන්ම ඉටු වූ විවාහ ලියාපදිංචිය රජයේ නිලධාරියකු යටතට පත් වන්නේ එතුමාගේද මැදිහත් වීම් නිසාය.

මෙකී බටුවන්තුඩාවේ පඬිතුමාගේ එක් පුතෙක් වූ රොබර්ට් දිනමිණ පුවත්පතෙහි පුරෝගාමී අධ්‍යක්ෂකවරයා විය. තවත් පුතෙකු වූ චාර්ල්ස්, අමද්‍යප ව්‍යාපාරයෙහිද ජාතික සංගමයෙහිද නායකයෙක් විය. ඔහු පරම විඥානාර්ථ සමාගමේ සභාපති මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමතිවරයෙක්ද විය. එක් දියණියක සමග ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා යුග දිවියට එළැඹියේය.

අප රටට අමිල ශාස්ත්‍රීය සේවයක් කළ මේ පඬි රුවන 1892 අප්‍රියෙල් 20 වැනි දා දැයෙන් සමු ගත්හ. එතුමන්ගේ අවසන් වදන මේ කවිය වෙතැයි ජනයා අතර මතයක් පැතිර තිබේ.

හඳපානේ අද ගමනක් වේය මට
මේ ගම ඇත්තන්ට හැඬුමක් වේය හෙට
මා යන මුත් තව බෝ කල් පවති රට
නොතිර මේ දිවි යන කල දුක් වනු කුමට

  • සුමුදු අධිකාරි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top