මහා වංසය, පරිච්ඡේදය 33, පෙළ 29-32 හි අර්ථය සුමංගල සංස්කරණය පරිදි මෙසේ වෙයි.
ලදැතිස් රජු මළ කල උහු මල් ඛල්ලාට නාග නම් රජ සහවුරුද්දක්ම රජය කළේය. මේ රජ ලෝවා මහ පාය සිසාරා ඉතා මනරම් දෙතිස් ප්‍රාසාදයක් ලොහො පහයාගේ ශෝභා පිණිස කරවීය. මහරම් රුවන් මල් නම් මහ සෑය හාත් පස වැලි මලු සීමායෙහි පවුරු ද කරවීය. ඒ තෙමේම කුරුන්ද පාසක නම් විහාරය ද කරවීය. මිහිපල් තෙමේ අන්‍ය වූත් පින් කරවීය.
මෙකී කුරුන්ද පාසක හෙවත් කුරුන්දියපිල්ලක හෙවත් කුරුන්දාවශෝක විහාරය හෙවත් කුරුඳු වෙහෙර පබ්බතාරාම සංකීර්ණය පිහිටා ඇත්තේ මුලතිවු දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මධ්‍යම ග්‍රාම නිලධාරි කොට්ඨාසයෙහිය. විහාර භූමිය වටා ඇත්තේ නාග චෝළ වන රක්ෂිතයයි.

තන්නිමුරුප්පුකුලම් සහ කුරුන්දන්කුලම් වැව් දෙකට මැදිව මෙම විහාරය පිහිටා ඇත. පුරාවිද්‍යා චක්‍රවර්ති මේධානන්ද හිමියන් සිතන්නේ කුරුන්දාවශෝක යනු කුරුන්ද වාපි අශෝක යන්නෙහි විකෘතියක් බවයි. ඉන් අදහස් වන්නේ කුරුඳු වැව අසබඩ අශෝක විහාරය විය හැකිය.
කුරුන්ද පාසක නමින් විහාරයක් කරවූ ඛල්ලාට නාග රජ කළේ ක්‍රි. පූ. 110 සිට 104 දක්වාය. එහෙත් මේ පුද බිමේ ආරම්භය ඊටත් වඩා පැරණිය. මෙහි ඇති ප්‍රබලම වැදගත්කම වනුයේ අනුබුදු මිහිඳු හිමියන් සමයේ සම්පාදනය වූ මුල්ම සිංහල පොත් ලෙස සැලකෙන හෙළ අටුවා අතරින් එකක් වන කුරුන්දි අට්ඨ කථාව රචනා කරන ලද්දේ මේ පින්බිමේදී වීමය. ඒ බැව් පාළි අට්ඨකථා මූලාශ්‍රවල සඳහන් වේ. ඒ අනුව මෙය සිංහල භාෂාවේ ගමන්මගට අදාළ ඓතිහාසික ස්ථානයක් බවද අමතක කළ යුතු නැත.
ඊට අමතරව මෙහි පළමු වැනි අග්බෝ, සිව්වැනි අග්බෝ සහ මහා විජයබාහු රජවරුන්ද විහාර කර්මාන්ත කරවූ බවට සාධක ඇත. තුන් වැනි මිහිඳු රජු මේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවක දී කුරුඳු වැවේ ජලය පිළිබඳ මත භේදයක් විසඳූ බව කියැවෙන සෙල් ලිපියක් ගැන 1905 පුරා විද්‍යා පාලන වාර්තාවෙහි කියැවෙයි. එහෙත් ඒ සෙල් ලිපිය දැනට දක්නට නැත. සිව්වැනි උදය රජුගේ සෙල් ලිපියක්ද මෙහි දී හමු වී ඇත. මෙහි කුරුන්දමූලක නම් පිරිවෙනක්ද විය.
අට්ඨකථාවල කුරුන්දක වශයෙන්ද, කඩ ඉම් පොතෙහි කුරුඳුගමු රට වශයෙන්ද, පූජාවලියෙහි සහ නිකාය සංග්‍රහයෙහි කුරුඳු රට වශයෙන්ද මේ ප්‍රදේශය සඳහන් වෙයි. මොනෝරථපූරණියෙහි කුරුන්දකවාසී ඵුස්සමිත්ත නම් තෙරුන් වහන්සේ නමක් ගැන සඳහන් වෙයි. කුරුන්දි ප්‍රදේශයෙහි තිබුණු කාළිංග මාඝගේ බලකොටුවක් දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් වනසන ලදී. එකලම අප රට ආක්‍රමණය කළ ජාවක චන්ද්‍රභානුද මේ ප්‍රදේශයෙහි කඳවුරක් පිහිටුවා ගෙන සිටියේය. මෙහි දැන් ප්‍රකටව පෙනෙන නටබුන් ක්‍රි. ව. 7- 8 සියවස්වලට අයත්ය. කබොක් ගලින් නිර්මිත චෛත්‍යය ලංකාවේ එකම පද්මාකාර චෛත්‍යයද වෙයි.
ප්‍රදේශවාසීන් මෙම විහාර භූමියෙහි ගොඩනැගිලි කඩා බිඳ දමා, ගෙන යා හැකි ද්‍රව්‍ය ඉවත් කර ගෙන ගිය බව යටත් විජිත සිවිල් සේවා නිලධාරියකු වූ අයිරිෂ් ජාතික ජෝන් පෙන්රි ලුවිස් මහතා 1895 දී සිය A manual of the Vanni District, Ceylon කෘතියෙහි සඳහන් කරයි. යටත් විජිත සේවයෙහි සිටි ඉන්ජිනේරුවකු වූද ලංකාවේ උරුමයන් ගැන ඇල්මෙන් හැදෑරූ විද්වතකු වූ ද ශ්‍රීමත් හෙන්රි පාකර් 1866දී කුරුන්දි බිම ගැන සඳහන් කරමින් කියන්නේ කාලය විසින් කරන ලද හානිවලට වඩා මෙහි ඇත්තේ වටපිටාවේ මිනිසුන් විසින් කරන ලද හානි බවයි. මෙසේ ගැහැට විඳිමින් තිබුණු කුරුන්දි විහාර භූමියෙන් කොටසක් 1933දී පුරා විද්‍යා භූමියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශ කරන ලදී.

ඊට අයත් වූයේ අක්කර 420ක නටබුන් සහිත බිමෙන් අක්කර 78කි. 2013 හි දී මෙහි ඉදිකිරීම් පුරා විද්‍යා ස්මාරක ලෙස ගැසට් කරන ලදී. එසේම තවත් අක්කර 249ක්ද එහි පුරාවිද්‍යා භූමියට අයත් බව ප්‍රකාශ විය. උතුරු පළාතේ වර්තමාන ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියෝ 2018 සිට මේ කෙරෙහි දැක්වූ විශේෂ අවධානයත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කඩිනම් මැදිහත්වීමත් නිසා 2018 දීම මේ බිමෙහි පුරා විද්‍යා කාර්යාලයයක් පිහිටුවනු ලැබිණි. එහෙත් දෙමළ ජාතික සංධානයේ බාධා කිරීම් නිසා ඒ කටයුතු ඇරඹීමට හැකි වන්නේ 2020 අගදීය. ඉන් අනතුරුව මෙයින් එම ප්‍රදේශයේ හින්දු ජනතාවගේ උරුමයට අගතියක් වන බව කියමින් සුමන්තිරන් මහතා නඩුවක් පවරා තිබුණි. ඔවුහු ප්‍රදේශවාසී ජනතාව පුරාවිද්‍යා සංරක්ෂණ ක්‍රියාවලියට එරෙහිව උසි ගැන්වූහ.
පසුගිය කාලයේ කුරුන්දි විහාරය උණුසුම් මාතෘකාවක් බවට පත් වූයේ ඒ පිළිබඳ ගැටලුවක් මුල් කර ගෙන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලා අස්වීම නිසාය. දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කළ ඉල්ලීමක් වූයේ කුරුන්දි පුරා විද්‍යා භූමියෙහි වසර සිය ගණනක් වගා කරමින් තිබුණු කුඹුරු ඉඩම් දැන් වගා කර ගත නොහැකිව ඇති බැවින් ඒ ඉඩම් හිමිකරුවන්ට නිදහස් කර දෙන ලෙසය.
මෙම පුරාවිද්‍යා භූමියද ඇතුළුව නාග චෝල රක්ෂිතයෙහි හෙක්ටයාර දහසකට අධික භූමි ප්‍රමාණයක් පසු ගිය වසර කිහිපය පුරා අනවසරයෙන් එළි කොට ඇත. කුරුන්දි පුරා විද්‍යා භූමිය තුළම පිහිටි කුරුන්දි පොකුණ වැවක් ලෙස යොදා ගනිමින් අලුතින් එළි පෙහෙළි කළ ඉඩම් කොටසක් කුඹුරු ලෙස වගා කිරීමට තැත් දැරුවද, එය අසාර්ථක වී ඇත. ඒ හැර මෙහි වසර සිය ගණනක් වගා කළ කිසිදු කෙත් බිමක් නොවීය. ශාන්තබෝධි හිමියන් අභියෝග කරන්නේ, ඔය කියන හිමිකරුවන්ගේ අයිතියට සාධක පෙන්වන ලෙසය.
මේ ආකාරයට කුරුන්දි පුදබිම යනු විටින් විට ජාතිවාදී දේශපාලනඥයන්ගේ හා ඔවුන්ට දීනකම් කරන ආණ්ඩුවල කෙනහිලිකම්වලට පාත්‍රවූ ජාතික උරුමයකි. එසේ වුවද ඒ සියලු බාධක මැද කුරුන්දියේ උරුමය වෙනුවෙන් සටන් වැදුණු බලවේගවල දායකත්වයට පින්සිදු වන්නට අද ඒ ඓතිහාසික පුදබිම මේ ආකාරයෙන් හෝ ආරක්ෂා කරගැනීමට අපට හැකිවී තිබේ.
- සුමුදු අධිකාරි



