රට ලේ විලක් කරමින්, ඉන්දියාව ලංකාව මත පැටවූ පළාත් සභා මර උගුලේ කතාව

පළාත් සභා ක්‍රමය යනු ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය යැයි කියන උතුරේ යුද්ධයට විසඳුමක් ලෙස ඉන්දියාවේ මැදිහත් වීමෙන් බලාත්කාරයෙන් ශ්‍රී ලංකාව මත පටවන ලද්දකි. එදා මේ කාරණය මුල් කරගනිමින් රට අතිශය බිහිසුණු භීෂණකාරී වාතාවරණයක් කරා ඇදී ගිය අතර, මේ ලිපියේ දක්වා ඇත්තේ පළාත් සභා ක්‍රමය හා ඒ හා බැඳුණු ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු සාරාංශයකි.

පළාත් සභා ක්‍රමය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් වූයේ 1985දීය. ඊට එරෙහිව මානව හිතවාදී භික්ෂු සංවිධානය විසින් 1985 දෙසැම්බර් 7-8 දෙදින තුළ කොළඹදී භික්ෂු වැඩමුළුවක් පවත්වනු ලැබිණි.

1986 මැයි 1 වැනිදා රෝහණ විජේවීර විසින් රචනා කළ “දෙමළ ඊළාම් අරගලයට විසඳුම” කෘතිය නිකුත් කෙරිණි. මෙරට බොහෝ වමේ පක්ෂ උතුරේ ප්‍රශ්නය සම්බන්ධව දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට හිතවත් ස්ථාවරයක් දැරුවද ඊට එරෙහිව දෙමළ බෙදුම්වාදය පරාජය කළ යුතුය යන නිවැරදි මතවාදය මේ කෘතිය මගින් ඉදිරිපත් විය.

1986 ජූලි 26 වැනිදා “මව්බිම සුරැකීමේ ව්‍යාපාරය” ආරම්භ වූයේ කරළියට එමින් තිබූ පළාත් සභාවලට එරෙහි ව්‍යාපාරයක් වශයෙනි. මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, බලහුරුවේ සෝම හිමි, පා.ම. දිනේෂ් ගුණවර්ධන, ප්‍රනාන්දුපුල්ලේ තංගරාජා (ජවිපෙ) ඇතුළු පිරිසක් ඊට නායක්වය සැපයූහ.

1987 ජූනි 1 වැනිදා යාපනය වඩමාරච්චි ප්‍රදේශය කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට දියත් කළ ඔපරේෂන් ලිබරේශන් මෙහෙයුම සාර්ථකව අවසාන විය. ඉන්දියාව මෙම මෙහෙයුමට දිගින් දිගටම විරෝධය පළ කළේය.

 

වඩමාරච්චි මෙහෙයුමත් සමඟ උතුරේ ජනතාව පීඩාවට පත් බව පැවසූ ඉන්දියාව ජූනි 2 වැනිදා සහනාධාර රැගත් බෝට්ටු 25ක් උතුරට එවීමට කටයුතු කළේය. නාවික හමුදාව විසින් ඒ බෝට්ටු ආපසු හරවා යවන ලදී.

1987 ජූනි 4 වැනිදා ඉන්දියාව උතුරු ප්‍රදේශයට පැරෂුට් මගින් ආහාර ටොන් 25ක් සහිත පෙට්ටි මුදා හැරීම සිදුකළේය. ඊට බාධා කළහොත් පහර දීමට මිග් ප්‍රහාරක යානා සූදානම් කර තිබිණි. ඔපරේෂන් පූමාලෙයි නම් වූ මේ මෙහෙයුම ලංකාව සම්බන්ධව ඉන්දීය මැදිහත්වීමේ අතිශය තීරණාත්මක අවස්ථාවක් වූ අතර, ලංකාවේ ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කළ මේ සිදුවීම දැවැන්ත ජනතා විරෝධයකට හේතුවිය.

වඩමාරච්චි සටනින් පසු යාපනය අල්ලාගැනීමේ හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර තිබුණද මේ ඉන්දියානු මැදිහත්වීම මත මෙහෙයුම් නතර කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. ඉන්දියාවේ අරමුණ වූයේ දෙරට අතර ගිවිසුමක් අත්සන් තබමින් පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමය.

1987 ජූනි 22 වැනිදා රාත්‍රියේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර ඊට එරෙහිව කටයුතු කළ ජවිපෙ ක්‍රියාධරයන් 450ක් හා සරසවි සිසුන් 310ක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් විය. සරසවි සිසුහු 88ක් සහ ජවිපෙ සාමාජිකයෝ 126ක් එහිදී අත්අඩංගුවට ගනු ලැබූහ.

1987 ජූලි 28 වැනිදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි. ජවිපෙ නායකත්වය දුන් මව්බිම සුරැකීමේ ව්‍යාපාරය මෙන්ම සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මව්බිම සුරැකීමේ සංවිධානයද මේ විරෝධතාවට එක් විය. 20000ක පමණ පිරිසක් කොටුව බෝ ගහ අසලට එක් රැස් වූ අතර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර මගින් පිරිස විසුරුවා හරින ලදී. වෙඩි තැබීම් නිසා එම ස්ථානයේදීම 21 දෙනෙක් මරණයට පත්වූහ. ඉන් අනතුරුව රට පුරා පැවති විරෝධතාවලදී විරෝධතාකරුවන් 132ක් ඝාතනයට ලක්වූ අතර, භික්ෂූන් වහන්සේලා ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

1987 ජූලි 29 වැනිදා ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි සහ ජේ. ආර්. ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තැබූහ. එදින රට පුරා ඇඳිරි නීතිය පනවා තිබුණද ඇඳිරි නීතිය කඩ කරමින් රට පුරා විරෝධතා දියත් විය. ඉන්දීය අගමැතිවරයා නික්ම යාමට පෙර ජූලි 30 වැනිදා පැවති ආචාර පෙළපාළියකදී නාවික සෙබළ විජිත් රෝහණ විජිතමුණි තම රයිෆල් බඳෙන් අගමැතිවරයාගේ හිසට පහරක් එල්ල කළේය.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට පැය කිහිපයක් යාමට පෙර ඉන්දීය සාම සාධක හමුදා හමුදා භටයන් 7000ක් සහිත ගුවන් යානා සහ නැව් යාපනයට ගොඩබසින ලදී.

ඉන්දියාව විසින් ලංකාව මත බලාත්කාරයෙන් පටවන ලද ඉන්දු ලංකා ගිවිසුම ලංකාවේ ස්වෛරීභාවය පිළිබඳ තීරණාත්මක අවස්ථාවක් වූයේය. ඉන්දු ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය, පළාත් සභා පිහිටුවීම යන ක්‍රියාවලි හරහා ලක්බිමෙන් සීයට 30ක් හා වෙරළින් 60ක් බෙදුම්වාදීන්ට අත් වීමට නියමිත බවත්, එයින් රට දෙකඩ වී ජාතික සමගිය විනාශ වන ආකාරයත් ජවිපෙ පෙන්වා දුන්නේය.

ගිවිසුමේ කරුණු පිළිබඳ ආණ්ඩුවේ ඇමතිවරුන්ට පවා නිසි අදහසක් නොතිබූ අතර, ආර්. ප්‍රේමදාස සහ ලලිත් ඇතුළත්මුදලි ගිවිසුමට තම අප්‍රසාදය පළ කරමින් රාජිව් ගාන්ධිගේ පැමිණීමේ උත්සවය වර්ජනය කළෝය. ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් විශේෂ ලිපියක් තම තානාපති හරහා ලබාදෙමින් ගිවිසුමට සහය පළ කළේය.

ගිවිසුමට අනුව 1988 අප්‍රේල් 28 සිට නොවැම්බර් 19 දක්වා කාලය තුළ අවස්ථා හතරකදී මෙරට පළමු පළාත් සභා මැතිවරණය පැවැත්විණි. එජාපය සමග ඊට තරග කළේ වමේ පක්ෂ තුනක් හා මහජන පක්ෂය එකතුව පිහිටුවා ගත් එක්සත් සමාජවාදී පෙරමුණ, ඊපීආර්එල්එෆ් සහ මුස්ලිම් කොංග්‍රසය පමණි. ශ්‍රිලනිප සහ මඑපෙ, පළාත් සභා ක්‍රමයට එරෙහිව ඡන්දය වර්ජනය කළහ. එක්සත් සමාජවාදී පෙරමුණට මන්ත්‍රී ධුර 139ක් හිමි විය. තරග කිරීමට අනුග්‍රහය වශයෙන් රෝ සංවිධානය ඔවුන්ට ලක්ෂ 400ක මුදලක් පිරිනමා තිබිණි. ඡන්දයට එරෙහිව ජවිපෙ විසින් ඇඳිරි නීතිය පනවා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ අතර, ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 49.7%කි.

මේ ආකාරයට පළාත් සභා ක්‍රමය යනු ජාතිවාදී බෙදුම්වාදී අවශ්‍යතා මත ඉන්දියාව එදා අප මත බලාත්කාරයෙන් පැටවූ ව්‍යාජ විසඳුමකි. ඉන්දියාව එයින් අපේක්ෂා කළේ බලය බෙදීමක් සිදුකොට ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්කිරීම වුවද, අදාළ ගිවිසුම්වලට ලංකාවේ පාර්ශ්වයෙන් එක් කළ ඇතැම් සංශෝධන නිසා ශ්‍රී ලංකාව පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක තත්ත්වයට පත් නොවීය. 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරවා ගැනීම හරහා අද ඇතමුන් අපේක්ෂා කරනුයේ ඒ අහිමි වූ තත්ත්වය අත්පත් කරගැනීමය.

මේ ලිපිය නැවත සංස්කරණය කරන 2025 වසර වන විට මැතිවරණ නොපැවැත්වීම හරහා පළාත් සභා ස්වභාවිකවම අවලංගු වී වසර හතක පමණ කාලයක් ගත වී තිබේ. එසේ වුවද එයින් ශ්‍රී ලංකාවේ පරිපාලනයට කිසිදු අහිතකර බලපෑමක් ඇති වී නැති අතර, අඩුම තරමේ පළාත් සභා පිළිබඳ කිසිදු කතාබහකින් තොරව එය බොහෝ දෙනාට අමතකව ගිය මාතෘකාවක් බවට පත්ව තිබේ. පළාත් සභා යනු සුදු අලියෙක් බව වටහා ගැනීමට එයම කදිම උදාහරණයකි.

  • ඉසුරු ප්‍රසංග

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top