පානදුරේ කොස් මාමා කළේ කොස් ඇට බෙදන එක විතරද? – ආතර් වී දියෙස් පනා මලකට මුවා කළ විසල් මිනිසාගේ කතාව

පටබැඳි නමින් ඔහු කොස් මාමා හෝ කොස් ඇට මාමා නම් වේ. අද අපි ඔහු දකින්නේ පැරණි ඡායාරූප කිහිපයක් සහ පානදුර නගරයේ පිහිටුවා ඇති ස්මාරකය තුළිනි. වර්තමානයේ ඉඳහිට එතුමා ගැන කතා කරන බොහෝ දෙනාට සිහිවන්නේ එතුමාගේ කොස් ව්‍යාපාරය හා ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම ආදී කරුණු පමණි.

එක්දහස් නවසිය තිහ දශකයේ ගෝලීය ආර්ථික අර්බුදය, මැලේරියා වංසගතය ආදී බොහෝ අර්බුද මැද දුර්වල වී සිටි ස්වදේශික ජනතාව අතර කොස් පිළිබඳ උනන්දුවක් ඇති කරමින්, අඹ, ඇඹරැල්ල, ගස්ලබු ආදී පලතුරු බීජ බෙදා හරිමින් ඔහු කළ පුරෝගාමී මෙහෙය ඉතා විශිෂ්ට බවට කිසිදු විවාදයක් නැත. එහෙත් ඉතිහාසයක් පුරා රටක නිදහස හා අභිමානය වෙනුවෙන් අපරිමිත කැපකිරීම් කළ මහා දැවැන්තයකු හිතා මතාම පනා මලකට මුවා කර තැබීම සාධාරණ වේද? මේ කෙටි විවරණයේ අරමුණ හුදු කොස් කතාවෙන් ඔබ්බට ගොස් කොස් මාමාගේ පුළුල් භූමිකාව ගැන ඉඟි කීපයක් ඔබට සපයා දීමය.

ආතර් වින්සන්ට් ඩයස් 1886 පෙබරවාරි 10 වැනිදා පානදුරේදී මෙලොව එළිය දුටුවේය. ඉඩම් හිමි වැවිලිකරුවෙකු මෙන්ම අරක්කු රේන්ද හිමිකරුවෙකු වූ ජෙරමියස් දියෙස් ඔහුගේ පියාය. මව වූයේ සෙලෙස්තිනා රොද්‍රිගු මැතිණියයි. පවුලේ සිව්වැන්නා වූ ඔහු පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඔහුගේ පවුල් පසුබිම හා යටත් විජිත අධ්‍යාපනය හේතුවෙන් ඔහු පහසුවෙන් කළු සුද්දෙකු වීමේ සියලු සුදුසුකම් ඉහළින්ම සපුරා සිටි අයෙකි. එහෙත් ඔහු ඒ සියල්ල ඉතා නිර්ව්‍යාජව ප්‍රතික්ෂේප කළේය.

එකල මෙරට රදළ පවුල් පදනම් සහිත බොහෝ අරගලකරුවෝ දෙබිඩි දේශප්‍රේමීන් වූහ. එකල සාමාන්‍ය ගැමියන් ඔවුන්ව හඳුන්වන ලද්දේ රෙද්ද අස්සේ මහත්තුරු වශයෙනි. එහෙත් ආතර් වී. දියෙස් සිය කලිසම් කෝට් ගලවා රෙද්දට බැනියමට බැස්සේ පසුව යළි ඒවා ඇඟලා ගැනීමට නොවේ. දේශීය ඇඳුම නිදහස් සටනට ගෙන එන සංකේතාත්මක ජවය ගැන ඔහුට මනා අවබෝධයක් තිබිණි.

අගමැති ඩී. එස්. සේනානායක ආතර් වී. දියෙසුන්ගේ සමීප මිතුරෙකි. 1912 ජූලි 14 දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී ආරම්භ කළ අමද්‍යප සංගමයේ මුල්ම සාමාජිකයන් විසි පහ අතර මේ දෙදෙනාම වූහ.

1915 සිංහල මුස්ලිම් කෝලහාලයට මුවා වී සුදු ආණ්ඩුව නිදහස් අරගලයේ නියමුවන් දඩයම් කරද්දී ඩී.එස්. මෙන්ම ආතර් වී. දියෙස් ද එහි ගොදුරු බවට පත්ව සිටියහ.අත්අඩංගුවට ගත් අය අතරින් හෙන්රි පේද්‍රිස් වෙඩි තබා මරා දමන ලදී. ආතර් වී. දියෙස්ටද හිමිවූයේ මරණ දණ්ඩනයයි. එහෙත් විශාල දඩ මුදලක් ගෙවා ඔහු බේරාගැනීමට ඔහුගේ මව සමත් වූවාය.
නිදහස ලත් වහාම මැදමහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ අත්තඩංගුවට ගත් ස්ථානය වෙත ගිය මේ තරුණයා එහිදී තමාටම ප්‍රතිඥාවක් දී ගනුයේ තම දිවි ඇති තුරු නිදහස් සටන අත් නොහරින බව කියමිනි. නිදහස් අරගලය තුළ සංකේතාත්මක මුද්‍රා ගණනාවක් තබන ඔහු සිය ව්‍යාපාරවලදී සිංහලෙන් චෙක් පත් ලිවීමටද, ඒවාට සිංහල අත්සන තැබීමටද පුරෝගාමී වූයේය.
තම පියාගේ අභාවයෙන් පසු තම මව හා එක්ව තම පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ මත්පැන් ව්‍යාපාරය නවතා දැමූ දියෙස් මහතා එයින් උපයාගත් මහා ධනස්කන්ධය සමාජ සේවා සඳහා යෙදවීමට තීරණය කළේය.

ඒ අනුව විශාඛා විද්‍යාලය, පානදුර සුමංගල විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාලය ආදී ජනප්‍රිය පාසල් ගණනාවක් බිහි කිරීම හා පවත්වාගෙන යෑම ඔවුන් අතින් සිදුවිය.

1923 වසර එතුමන් තම කොස් සංග්‍රාමය ආරම්භ කළේ ආනන්ද විද්‍යාලයේ නේවාසිකාර අරමුදල සඳහා සංවිධානය කළ කොඩි ව්‍යාපාරයට සමගාමීවය. එහි පළමු කොඩිය ගුණපාල මලලසේකරයන් විසින් දානපතියකුගේ කමිසයේ රඳවනු ලැබිණි. ඊළඟ මොහොතේ අසල සිටි ආතර් තරුණයා කඩදාසියක දැවටූ යමක් දානපතියාගේ අත තැබීය. ඒ පුංචි කොස් ඇටයකි. එතැන් සිට අලෙවි වන සෑම කොඩියක් සමගම කොස් ඇටයක්ද බෙදා හැරීම ආරම්භ විය. කොඩි ව්‍යාපාරයේ ජනප්‍රියත්වය මෙම කොස් ඇට බෙදීම හේතුවෙන් දෙගුණ තෙගුණ වූයේය. හත් මසකට අඩු කාලයකින් ආනන්දයට නව නේවාසිකාගාරයක් ලැබිණි.

එම ආරම්භයෙන් පසු ආතර් වී. දියෙස් කොස් ගස බත් ගස හඳුන්වමින්, කොස් ඇටයක බිත්තරයක ගුණ ඇති බව ප්‍රචාරය කරමින් ගම් නියම්ගම් පුරා ඇවිද්දේය. ඇතැමුන්ගේ උසුලු විසුලු මැද වුවද ඊට ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. දියෙස් තරුණයා පිරිස සංවිධාන කරමින් තැපැල් මගින් පවා කොස් ඇට පාර්සල් බෙදා හරිමින් තම ව්‍යාපාරය ඉදිරියටම ගෙන ගියේය.

එකල තිහාරියේ පැවති උත්සවයකදී එවකට ආණ්ඩුකාරයා වූ රෙජිනෝල්ඩ් ස්ටබ් මහතාව දියෙස් විසින් පිළිගන්නා ලද්දේ ඔහුගේ කබායේ කොස් මල් දෙකක් පලඳවමිනි. තවත් උත්සවයකදී දියෙස් මහතා ආණ්ඩුකාරවරයාගේ ගෙලෙහි කොස් ඇට මාලයක් පැලඳවීමටද කටයුතු කළේය. ඊළඟ ආණ්ඩුකාරවරයා වූ ඇන්ඩෘ කැල්ඩිකෝඩ් මහතා සිය රාජකාරි ආරම්භ කළේම මහනුවර රජගෙදර කොස් පැලයක් රෝපණය කරමිනි. ඒ ද දියෙස් මැතිතුමාගේ කොස් ව්‍යාපාරයේ බලපෑම නිසාය.

දෙවන ලෝක යුද සමයේදී ලංකාව තුළ ආහාර අහේනියක් ඇති වේ යැයි බොහෝ දෙනා බියවූහ. ඒ පිළිබඳ එවකට මහජන ආරක්ෂක කොමසාරිස් ඔලිවර් ගුණතිලක පවසා සිටියේ “ආතර් මහත්මයාගේ කොස් ගස් තිබෙනකම් ආහාර හිඟයක් ගැන බයවෙන්න දෙයක් නෑ” යනුවෙනි.

තම රටට නිදහස ලැබ, තම සමීප මිතුරා අගමැති වූ අවස්ථාවේ දියෙස් ඔහුගෙන් ඉල්ලා සිටියේ නිදහසේ ප්‍රීතිය මත්පැන්වලින් සැමරීම නොකරන ලෙසය. එහෙත් එය නොතැකූ ඩී.එස්. සේනානායක ඉහළ පැලැන්තියට විශාල මත්පැන් සාදයක් සංවිධාන කළේය.

ඒ වන විටත් ලැබෙන නිදහසේ ස්වරූපය කෙසේද යන්න කල් තියා හඳුනාගෙන සිටි දියෙස් මහතා නිදහස් දා තම පානදුර නිවසේ සිංහ කොඩියක්, කළු කොඩියක් හා සුදු කොඩියක් එසවීය. සිංහ කොඩිය රට ජාතිය වෙනුවෙනි. කළු කොඩිය භාග නිදහසට විරෝධය දැක්වීම වෙනුවෙනි. සුදු කොඩිය තම සාමකාමී ව්‍රතය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙනි.

පාලන බලය පවරා ගන්නා තුරු අත්වාරුවක් කරගෙන සිටි අමද්‍යප ප්‍රතිපත්තියද, තවත් බොහෝ දෑද ඩී. එස්. ඇතුළු කණ්ඩායම පසෙකට දමමින් සිටියහ. එයින් වේදනාවට පත් ආතර් වී. දියෙස් තම පවුලේ වෛද්‍යවරයාගේ බලවත් විරෝධය මැද ඩී.එස්. ට ලේවලින් ලිපියක් ලිවීමට තීරණය කළේය. එහි මෙසේ සටහන්ව තිබිණි.

“නිදහසින් පසු සිදුවන දේ ගැන මම සෑහීමට පත් නොවෙමි. රාජ්‍ය පාලනයේ අප සංස්කෘතියට තැනක් ලැබී නැත. මම වේදනාවෙන් සිටිමි. අප එක්ව ආ ගමන මෙතැනින් අවසන් වේ. මම මා ආ මග යන්නෙමි. ඔබ ඔබේ ගමන යන්න”

රිදී හැන්දක් මුව තබාගෙන ඉපිද, මෙරට ඉහළම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා, තරුණ කල අඛණ්ඩ සටන්කාමියකු වූ මේ මිනිසා පැවැත්මෙන් ඉතාමත් සරල ප්‍රතිපත්තිගරුක මිනිසකු විය. ඔහු සිය ජීවන පැවැත්මෙන්ම ගෞතම බුදුන්ගේ සැබෑ අනුගාමිකයකු ලෙස කටයුතු කළේය.

තිබූ ධනය නොමසුරුව බෙදා දුන් ඔහු ඉංග්‍රීසි පාලන සමයේ ඔහුට ලැබුණ නයිට් පදවිය මෙන්ම, නිදහස් ලංකාවේ ඔහුට හිමිවූ සෙනේට් මන්ත්‍රී පදවියද නිහතමානීව ප්‍රතික්ෂේප කළේ ඒ පාලනය තම ප්‍රතිපත්ති හා එකඟ නොවීම නිසාය.

කිසිදු තනතුරක් නොමැතිව නිස්සරණධ්‍යාශයෙන්ම සිය දිගු ජීවිතය ගෙවා දැමූ මේ දුර්ලභ මිනිසා වර්ෂ 1960 ජූලි මස 31 වනදා අපෙන් සදහටම සමුගත්තේය. ඒ සිය පියා තැනවූ එඩ්මන්ඩ් හවුස් නිවසේ ජනේලයෙන් රන්කොත් විහාරය නරඹමින්, පිරිත් හඩ අසමින් ඉතාමත් ශාන්ත නිවුන මිනිසකු හා සැබෑ ප්‍රාඥයකු විලසය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top