අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍ය ගැන අප්‍රකට තොරතුරු

අනුරාධපුර යුගය යනු සිංහල රාජාවලියේ දීර්ඝතම කාල පරිච්ඡේදයයි. ආසන්න වශයෙන් එය වර්ෂ 1500ක පමණ කාල පරාසයකි. මෙකී කාල පරිමාණයට වඩා අනුරාධපුර යුගයේ සුවිශේෂී වැදගත්කම වනුයේ එය බොහෝ අංශ අතින් සශ්‍රීක හා සමෘද්ධිමත් කාල පරාසයක් වීමය.

කෘෂිකර්මාන්තය, වාරි තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, ප්‍රතිමා කලාව, සිතුවම් කලාව ආදිය බොහෝ දියුණුව පැවති මේ යුගයේ නිසැක වශයෙන්ම දියුණු ගද්‍ය පද්‍ය කාව්‍යයන් පහළ විය යුතු බව මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වැනි විද්වත්හු පෙන්වා දෙති. එසේ වුවද ඒ යුගයේ රචනා වූ ගද්‍ය පද්‍ය කෘති බොහොමයක් මේ වන විට නෂ්ටප්‍රාප්තව ඇති බැවින් අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍ය ගැන පුළුල්ව කරුණු අනාවරණය කරගැනීම දුෂ්කරය. එසේ වුවද මේ වන විට ශේෂව පවතින ඓතිහාසික සාධක අනුව අනුරාධපුර යුගයේදී මෙරට දියුණු පද්‍ය සාහිත්‍යයක් පවතින්නට ඇතැයි නිගමනය කළ හැකි වන අතර, මෙහි දක්වා ඇත්තේ ඊට අදාළ කරුණු සමුදායකි.

එළු දළදා වංශ කාව්‍යය

එළු දළදා වංශ කාව්‍ය යනු දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද 4 වන සියවසේදී එනම් ක්‍රි.ව. 362 – 388 අතර කාලයේ රචනා කළ බව සැලකෙන අභාවප්‍රාප්ත කාව්‍ය කෘතියකි. මේ කෘතිය පිළිබඳ කරුණු අනාවරණය වනුයේ පොළොන්නරු යුගයේ දී ධර්මකීර්ති පාදයන් අතින් රචනා වූ පාලි දාඨාවංසය නම් කාව්‍ය කෘතියෙනි. එහි එන කරුණු අනුව එළු දළදා වංශය යනු 4 වැනි සියවසේදී හෙළු බසින් රචිත කාව්‍ය කෘතියකි. එය පොළොන්නරු යුගය තෙක්ම පැවති බවත්, පොළොන්නරු යුගය වන විට එහි පැරණි භාෂාව දුරවබෝධ තත්ත්වයක පැවති බැවින්, එය පාලි බසින් නැවත කළ බවත් එහි සඳහන් වේ. අනුරාධපුර යුගයේ රචිත කාව්‍ය කෘතියක් පිළිබඳ හමුවන පැරණිතම සාධකය මෙය වෙයි. මේ කරුණු අනුව අනුරාධපුර යුගයේ මුල් භාගය වන 4 වන සියවස තරම් ඈත කාලයකදී පවා සිංහල බසින් කාව්‍ය කෘතීන් රචනා වූ බව සනාථ වේ.

දහම් කවි

දහම් කවි යනු ක්‍රි.ව. 552 – 570 අතර කාලයේ රාජ්‍ය කළ දෙවැනි මුගලන් රජ සමයේ පැවති බව කාව්‍ය විශේෂයකි. ප්‍රකට කවියෙකු වූ මුගලන් රජතුමා දහම් කවි පබඳා, රාත්‍රී බණ හමාර වූ පසු, ඇතුන් පිට නැගි මිනිසුන් ලවා එම කවි ගායනා කරමින් නගරයේ සැරිසරන ලද බව මහාවංශයේ සඳහන් වේ. මෙකී දහම් කවි කෘතියක් වශයෙන් පළවී ඇති බවක් වාර්තා නොවුණද, සිංහල කවි කලාවක් ඒ වන විට වර්ධනය වී පැවති බව වටහා ගැනීමට මහා වංශයේ එන මෙකී පුවත එක්තරා සාක්ෂියකි.

දොළොස් මහා කවීන්

ක්‍රි.ව. 564 – 597 කාලයේ එනම් හය වැනි සියවසේදී රජ කළ පළමු අග්බෝ රජ සමයේදී දොළොස් මහා කවීන් ලෙස හැඳින්වෙන ප්‍රකට කවීන් දොළොස් දෙනෙකු ගැන කරුණු අසන්නට ලැබේ. සක්දා මල, අසක් දා මල, බැමිටි, දැමිරි, දළබිසෝ, අනුරුත් කුමරු, දලගොත් කුමරු, දලසල කුමරු, කිත්සිරි, පරවඩු, සූරියබාහු, කසුප්තොට ඈපා යන නම්වලින් හැඳින්වෙන මේ කවීන් විසින් කළ නිර්මාණ දැනට අවිද්‍යාමාන වුවද එකල පැවති සිංහල කාව්‍යයේ වර්ධනය පිළිබඳ නිගමනයකට එළැඹීමට එය වැදගත් සාධකයක් ලෙස ගත හැක්කකි.

අසක් දා කව හා මියුරු සඳෙස

අසක් දා කව වනාහී පළමු අග්බෝ රජ සමයේදී අසක් දා මල කවියා විසින් රචනා කරන ලදැයි සැලකෙන අභාවප්‍රාප්ත කාව්‍ය කෘතියකි. මේ පිළිබඳ කරුණු හෙළි වනුයේ පසුකාලීනව රචනා වූ සිදත් සඟරාවෙහි අසක් දා කවෙන් උපුටා ගත් පාඨ හතරක් ඇතුළත්ව තිබීම නිසාය. අසක් දා කවට වස්තු විෂය වී ඇත්තේ ආසංඛ ජාතකය බවත්, සිදත් සඟරාවේ එන පාඨ හතර ආසංඛ ජාතකයේ විවිධ අවස්ථා සමග මනාව ගැලපෙන බවත් යූ.ඩී. ජයසේකර සිය ගී කවේ වගතුග කෘතියෙන් පෙන්වා දෙයි. එසේම සිදතේ එන තවත් නිදසුන් පාඨයක් අනුව මියුරු සඳෙස යනුවෙන් හැඳින්වූ කාව්‍ය කෘතියක් ගැනද කරුණු හෙළිවෙයි. මේ කෘතියද අද වන විට අභාවිතව ඇතත්, මේ කෘති දෙක අනුරාධපුර යුගයට අයත් විය හැකි බව මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල ශූරීහු පෙන්වා දෙති.

සිංහල සඳැස් ලකුණ

සියබස්ලකර කෘතිය රචනා කරන කාලය වන විට මෙරට සිංහල උගතුන් අතර ව්‍යවහාරව පැවති බව සැලකෙන සිංහල සඳස් ලකුණ නම් කෘතියක් පිළිබඳ සියබස්ලකරේ සඳහන් වෙයි. මෙය කලාගුරු සුළුපායේ විසූ කලණමිත් නම් වියතෙකු විසින් රචනා කරන ලද්දක් යැයි සැලකෙන අතර, එකී කතුවරයා හෝ කලාගුරු සුළුපාය පිළිබඳ වැඩිදුර විස්තර අනාවරණය නොවේ. එසේ වුවද සීගිරි ගීවල පවා සිංහල ඡන්දෝලක්ෂණ රාශියක් ගැබ්ව ඇති බැවින් කලණමිත්ගේ සඳස් ලකුණ ඒ යුගයේ සිට පැවත එන්නක් විය හැකි බව හා එහි සඳහන් පියුම් ගී ලකුණු ආදී විරිත් භද්‍ර හිමියන් විසින් රචිත එළු සඳස් ලකුණ කෘතියටද ඇතුළු කර ඇති තිබිය හැකි බව මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගලයෝ පෙන්වා දෙති.

සියබස්ලකර

සියබස්ලකර වනාහී නව වැනි සියවසේ එනම් ක්‍රි.ව. 807 – 823 අතර කාලයේ රජකම් කළ සේන සලමෙවන් නිරිඳු විසින් රචනා කරන ලදැයි සැලකෙන කාව්‍ය අලංකාර පිළිබඳ තතු ඇතුළත් කාව්‍ය විචාර ග්‍රන්ථයකි. මෙය රචනා කරන ලද්දේ භාරතයේ විසූ සංස්කෘතික අලංකාරිකයෙකු වන දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය කෘතිය ඇසුරු කරගනිමිනි. මෙය කාව්‍යාදර්ශය කෘතියේ සිංහල අනුවාදයක් ලෙස සැලකුණද එය කාව්‍යාදර්ශයේ ඇතැම් කොටස් බැහැර කරමින් ඇතැම් කොටස් එක්කාසු කරමින් රචනා කරන ලද ග්‍රන්ථයකි. සිංහල කවිය හා එහි අලංකරණ උපක්‍රම හා සංස්කෘත අලංකාරවාදය ගැන ගැඹුරු සංවාදයක් නොපැවති යුගයක් සියබස්ලකර වැනි කෘතියක් ලක්දිව රචනා වෙතැයි සිතීම උගහටය. මීට අමතරව සියබස්ලකර කෘතියෙන් හෙළිවන පහත සඳහන් කරුණු කාරණා අනුවද සංස්කෘත සාහිත්‍යයෙන් ස්වාධීනව වැඩුණු සිංහල කාව්‍ය ව්‍යාපාරයක් එකල මෙරට පැවති බව සනාථ වේ.

  • සියබස්ලකරේ එන සියකව් ලකුණිනෙක් දෙස් කර්තෘ පාඨයෙන් හෙළි වන ආකාරයට සියබස්ලකර රචනා කොට ඇත්තේ සංස්කෘත අලංකාරවාදය විස්තර කිරීමටම නොව සිංහල කාව්‍ය ලක්ෂණ පැහැදිලි කිරීමටය.
  • එමෙන්ම සියබස්ලකරේ පෙර ගත් සකෙව් නිදව් වැනි පාඨවලින් කියැවෙන ආකාරයට සියබස්ලකර රචනා වීමට පෙරාතුව සිංහල කාව්‍ය ලක්ෂණ පිළිබඳ කෘති පැවති බව හෙළිවේ.
  • එසේම කලණමිත් නම් වියතෙකු විසින් රචනා කරන ලද සිංහල සඳස් ලකුණ නම් කෘතියක් ගැනද සියබස්ලකරේ සඳහන්ව තිබේ.
  • සංස්කෘත සාහිත්‍යයේ එන උත්ප්‍රේක්ෂාලංකාරය නම් කාව්‍ය අලංකාරය හැඳින්වීමට සියබස්ලකර කතුවරයා යොදා ඇතිතේ අයලසිත නම් යෙදුමකි. එය උත්ප්‍රේක්ෂා යන්නෙන් බිඳී ආ වචනයක් නොවන බවත්, ඊට පෙර සිට පැවති නිෂ්පන්න යෙදුමක් විය හැකි බව පරණවිතාන මහතා නිගමනය කරයි. එසේම සිදත් සඟරාවේ එන උබබස්ලකර හෙවත් උභයභාෂා අලංකාරයද කිසිදු සංස්කෘත පොතක නැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සීගිරි ගී

සීගිරි පර්වතයේ ලියැවුණු සීගිරි ගී වනාහී අනුරාධපුර යුගයේ පැවති කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ දැනටත් අපට ශේෂව පවතින දැවැන්තම ජීවමාන නිදසුන් සමුදාය වෙයි. එකල ලියැවුණු බොහෝ කාව්‍ය කෘතීන් මේ වනවිට නෂ්ටප්‍රාප්තව තිබුණද සියවස් කීපයක් පුරාවට පර්වතයේ ලියැවුණු මෙකී ගී සමුදාය අදටත් අපට පරිශීලනය කළ හැක්කකි. සීගිරි ගීවල වැදගත්කම වනුයේ ඒවා අදටත් ජීවමානව පැවතීම පමණක් නොව අනුරාධපුර යුගයේ ලක්දිව පැවති දියුණු කාව්‍ය සම්ප්‍රදායක් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් එයින් අනාවරණය වන නිසාය. මේ අනුව

  • ලක්දිව ප්‍රදේශ ගණනාවකින් පැමිණි, විවිධ සමාජ මට්ටම් හා වෘත්තීන්ට අයත් ගිහි පැවිදි විශාල පිරිසක් අතින් සීගිරි ගී රචනා වී තිබීම.
  • ඔවුන් හුදු ජන කවියන්ට වඩා වියත් කව් වහර පිළිබඳ අවබෝධයක් ඇතිව කාව්‍ය රචනයේ නිරත වූවන් ලෙස සැලකිය හැකි වීම.
  • ඡන්දස්, අලංකාර, යාගී, කව් ගී, යොන් ගී, සිව්පද, සැහැලි, එළිසමය ආදී කාව්‍යයේ විවිධ ආකෘතික උපක්‍රම සීගිරි ගී තුළ දක්නට ලැබීම.
  • සංස්කෘත කාව්‍ය සම්ප්‍රදායේ දක්නට නොමැති උබබස්ලකර වැනි කාව්‍ය අලංකාර සීගිරි කවි තුළ සුලබව දක්නට ලැබීම.
  • සියබස්ලකර, එළු සඳස් ලකුණ ආදී කෘති රචනා වීමට පෙර පැවති කාව්‍ය අලංකාර සීගිරි ගී තුළ ඇතුළත් වීම.
  • සාටෝප අලංකාර හා වක්‍රෝක්තීන් බහුල සංස්කෘත කවි සමයට වඩා ස්වභාවෝක්තියට නැඹුරු සංක්ෂිප්ත රීතියක් සීගිරි කවියේ දක්නට ලැබීම.

ආදී කාරණා මත එකල ලක්දිව පෘථුල වශයෙන් ව්‍යාප්තව තිබූ කාව්‍ය සම්ප්‍රදායක් පැවති බව නිගමනය කිරීම යුක්ති සහගත වේ. සීගිරි ගීවලින් පෙනෙනුයේ සංස්කෘත කාව්‍ය රීතියේ බලපෑමට වඩා එකල මෙරට පැවති ස්වාධීන කාව්‍ය රීතියක ලක්ෂණ බව ආචාර්ය ගුණදාස අමරසේකරයෝ පෙන්වා දෙති. එමෙන්ම සෙනරත් පරණවිතාන සූරීන්ට අනුවද සීගිරි ගී යනු අවියත් ජන කවීන්ගේ නිර්මාණ නොව, උසස් කාව්‍ය සම්ප්‍රදායක් මත පිහිටා කරන ලද නිර්මාණ විශේෂයකි.

මේ ආදී වශයෙන් සලකා බැලිය හැකි තොරතුරු අනුව අනුරාධපුර යුගයේදී ලක්දිව දියුණු පද්‍ය සාහිත්‍ය සම්ප්‍රදායක් පවතින්නට ඇතැයි නිගමනය කිරීම යුක්ති සහගත වේ.

  • ඉසුරු ප්‍රසංග

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top