තලේබාන් ග්‍රහණයට නතුවූ ඇෆ්ගනිස්ථානයේ මෑතකාලීන ඉතිහාසය

තලේබාන් සංවිධානය 2021 වසරේදී ඇෆ්ගනිස්ථානයේ බලය හිමි කරගත් අතර, මේ ලිපියේ දැක්වෙනුයේ තලේබාන් දේශපාලනයේ මෑතකාලීන ඉතිහාසය පිළිබඳ සිදුවීම් සාරාංශයකි.

ඇෆ්ගනිස්ථානයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1978 දී විප්ලවයකින් එරට බලය දිනා ගත්තේය. අනතුරුව බාබුල් කාමල් යටතේ එරට තුළ ස්ථාපිත වූයේ සමාජවාදී පාලනයකි. ඒ යටතේ එරට ජනයාට විශාල නිදහසක් ලැබුණු අතර, සෝවියට් රුසියාව මේ බල පෙරළියට විශාල අනුග්‍රහයක් දැක්වීය.

 

එකල පාකිස්ථානය, සවුදිය හා ඇමරිකාවේ අනුග්‍රහය ලැබූ මුජහිදීන් නම් ගරිල්ලා කණ්ඩායම් මේ කොමියුනිට්ස් පාලනය පෙරළා දැමීම සඳහා දිගින් දිගටම සටන් කළහ. සෝවියට් හමුදා හා ගරිල්ලන් අතර ඇතිවූ සටන්වලින් මිලියනයකට වඩා මරණයට පත්වූ අතර, මිලියන හයක් අනාථ විය.

1989 දී සෝවියට් දේශය බිඳ වැටිණි. එවකට ඇෆ්ගනිස්ථානයේ කොමියුනිට්ස් පාලකයා වූයේ මොහොමඩ් නජිබුල්ලාය. ඔහු එරට කොමියුනිට්ස් සංකේත ආදිය ඉවත් කර ඉස්ලාම්වාදීන්ගේ සහයද සහිතව සමාජවාදී ආණ්ඩුව පවත්වාගෙන යාමට උත්සාහ ගත්තේය. නමුත් සමාජවාදය අභිභවා ආගමික අන්තවාදය පෙරට ආ අතර, 1992 දී නජිබුල්ලා බලයෙන් පහවිය.
1992 දී පක්ෂ කීපයක් එක්වී පේෂාවර් සම්මුතිය අනුව රජයක් පිහිටුවීය.

නමුත් ඇමරිකාවේ හා පාකිස්ථානයේ සහය ලැබූ Hezb e islami වැනි අන්තවාදී කල්ලිවල සටන් නිසා රට අස්ථාවර විය.
1994 තලේබාන් සංවිධානය බලවත් වී කාබුල් නගරය ඇතුළු පළාත් කීපයක් අල්ලා ගත්තේය. තලේබාන් සංවිධානය ප්‍රභවය වූයේ මුජහිදීන් කල්ලි ඇසුරෙනි. එහි නිර්මාතෘ හා නායකයා වූයේ මොහොමඩ් ඕමාර්ය.
අහමඩ් ෂා මස්වුද් යනු තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කළ එරට ජාතික වීරයෙකි. 2001 දී ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

1996 තලේබාන් සංවිධානය සවුදි, පකිස්ථාන්, එමිරේට්ස් ආධාර මත ආණ්ඩුවක් පිහිටවූ අතර, තලේබාන් පාලනය 2001 දක්වා පැවතිණි.
2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග චිරස්ථායී නිදහස සඳහා මෙහෙයුම් ආරම්භ විය. ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ඔස්ටේ්‍රලියාව, කැනඩාව, සහ නේටෝ හමුදා, එක්වී තලේබාන් හා අල්කයිදා සංවිධානවලට එරෙහි සටන් ආරම්භ කළහ.

මේ අනුව 2001 දෙසැම්බර් වන විට හමීඩ් කර්සායි බලයට ගෙන ඒමට ඇමරිකාව සමත් වුවද තලේබාන් සංවිධානය සපුරා පරාජය කළ හැකි නොවීය. යුධ ගැටුම්, විදේශ ආයෝජන හිඟය, අපරාධ, කුඩු ජාවාරම, දූෂණ වංචා මගින් රට විනාශ විය. නමුත් රටේ නීතිය සාමය ස්ථාපිත කිරීම, පාසල් විශ්ව විද්‍යාල විවෘත කිරීම, සෞඛ්‍ය හා ප්‍රවාහනය නගා සිටුවීම, අවතැන් වූවන් පදිංචි කිරීම වැනි ප්‍රගතිශීලී පියවර කරා යාමට කර්සායි පාලනය සමත් විය.

එහෙත් තලේබාන්, අල්කයිදා, හකානි ජාලය, හීබ් ඊ ඉස්ලාමි ඇතුළු සංවිධාන තම සටන අත නොහළ අතර, රට පුරා ගරිල්ලා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක විය.
2009 තලේබාන්වරු රටේ විවිධ පළාත්වල ආණ්ඩු ප්‍රකාශ කළ අතර, ඔවුන් සමග සාම ගිවිසුමකට ඒමට කර්සායි උත්සාහ කළද අසාර්ථක විය.
2011 දී අල්කයිදා නායක බින් ලාඩ්න් ඝාතනය වූ අතර, 2014 අෂ්රෆ් ගානි බලයට පත් විය.

2014 දෙසැම්බර් 25 නේටෝ මෙහෙයුම් නතර වූ අතර, ආරක්ෂක වගකීම ඇෆ්ගන් රජයට භාරදුන්නේය. දිගින් දිගටම නිල පාලනයට එරෙහිව ගරිල්ලා ප්‍රහාර දියත් විය.

අද වන විට නැවතත් හරියටම දශක දෙකකට පසුව එරට බලය අල්ලා ගැනීමට ඉස්ලාම් අන්තවාදීන් සමත් වනුයේ මේ දිග් ගැස්සුණු සටන්වල ප්‍රතිඵලයක් වශයෙනි.

ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම් අන්තවාදය යනු පුදුම සහගත ප්‍රවණතාවකි. ධනවාදයට හෝ සමාජවාදයට එය පරාජය කළ හැකි වූයේ නැත. සෝවියට් දේශය සහ ඇමරිකාව යන පැරණි ලෝක බලවතුන් දෙදෙනාම ඊට එරෙහිව සටන් කළද ඉස්ලාම් අන්තවාදය සහමුලින්ම පරාජය කළ හැකි නොවීය. අද එය නැවතත් අවකන් දේශය ආක්‍රමණය කර හමාරය.

තලේබාන් නීතිරීති අනුව කාන්තාවන්ට රැකියා කළ හැක්කේ ඉතා සීමිත ක්ෂේත්‍රයක පමණි. ඔවුන්ට මුහුණු නොවසා නිවෙසින් පිටතට යාම තහනම්ය. ආදරය කිරීම තියා ප්‍රසිද්ධ ස්ථානවල පිරිමි සමග කතා කිරීම පවා තහනම්ය. ඒ නීති කඩකරන තරුණියන්ට ඇතැම් විට මැරුම් කන්නට සිදුවන්නේ තම පියා හෝ සහෝදරයන් අතිනි. නමුත් ආදරය තහනම් රටේ ගණිකා වෘත්තිය ක්‍රියාත්මකය. යුද්ධයෙන් පුරුෂයන් මිය ගිය කාන්තාවෝ විශාල ලෙස ගණිකා වෘත්තියේ නියැලෙති. පියවරු තම බාල වයස්කාර දියණියන් වයසක මුල්ලාවරුන්ට මුදලට විවාහ කර දෙන්නේ ඒ මුදලින් තාත්තලාද අලුත් බිරින්දෑවරුන් මිලදී ගනිමිනි. ආදරයට තහංචි පැනවූ තලේබාන් ආගමික නීතිය තුළ එවැනි ස්ත්‍රී විරෝධී ලිංගික සූරාකෑම්වලට කිසිදු තහනමක් නැත. අද තලේබාන් සංවිධානය පාලන බලය ලබාගැනීම සමග මේ ඇතැම් කාරණාවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබුණද තලේබාන් නීතිරිතිවල අතීත අත්දැකීම් ඒ ආකාර වෙයි. මේ තත්ත්වය යටතේ එරට අනාගත ගමන කෙබන්දක් වේද යන්න අවිනිශ්චිත කරුණකි.

  • ඉසුරු ප්‍රසංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top