Iran main image

මොසාඩ් සංවිධානය ඉරානයේ සුපිරි විද්‍යාඥයන් ගණනාවකට දිවි අහිමි කළ සැටි

මොසාඩ් සංවිධානය හා ඉරානය අතර දිගු කාලීන ආරෝවක් තිබේ. පසුගිය දා මෙය රටවල් දෙක අතර එළිපිට කෙරෙන යුද්ධයක් දක්වාම දුරදිග ගියේය.
මේ සතුරුකමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනුයේ ඉරානය විසින් දියත් කළ න්‍යෂ්ටික වැඩසටහනය. එහෙත් හුදු න්‍යෂ්ටික ප්‍රශ්නයකින් ඔබ්බට ගොස් බැලීමේදී මෙහි ඇත්තේ බටහිර ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයකි.
කෙසේ හෝ වේවා මෙවැනි සංකීර්ණ හේතු සාධක ගණනාවක් මත දැනට වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ මොසාඩ් සංවිධානයේ උකුසු ඇස ඉරානය කෙරෙහි එල්ල වී තිබේ.
ඒ අනුව ගතවූ දශක දෙකක පමණ කාලය තුළ ඉරානයට එරෙහි මෙහෙයුම් සිය ගණනක් දියත් කිරීමට මොසාඩ් සංවිධානය සමත්ව තිබේ.


ඉරාන බලධාරීන් ඝාතනය, අතුරුදන් කිරීම, මුදලට ගැනීම, ගුවන් අනතුරු, න්‍යෂ්ටික මධ්‍යස්ථාන පුපුරුවා හැරීම, කේන්ද්‍රාපසාරක අක්‍රිය කිරීම, ව්‍යාජ සමාගම් හරහා බාල උපකරණ ලබාදීම, සයිබර් ප්‍රහාර එල්ල කිරීම ආදී කාරණා ගණනාවක් මීට අයත්ය.
පසුගිය දා මතුවූ දෙරට අතර යුද්ධයෙන් පසුවද එවැනි මොසාඩ් මෙහෙයුම් පිළිබඳ පුදුම සහගත දෑ වාර්තා වූ අතර, ඉරානය තුළ සිටි ප්‍රබල මොසාඩ් ඔත්තුකාරියක ගැනද විවිධ කතා අසන්නට ලැබිණි.
මේ කියන්නට යන්නේ වර්තමාන සිදුවීම් ගැන නොව කාලයක් තිස්සේ මොසාඩ් සංවිධානය ඉරානයේ ප්‍රබල උගතුන් විද්‍යාඥයන් ගණනාවට ජීවිත අහිමි කිරීමේ බිහිසුණු ඉතිහාසය ගැනය.
2007 ජනවාරි 15 ආචාර්ය ආර්දෂීර් හොසෙන්පූර් විකිරණශීලී විසක් යොදා මරණයට පත් කිරීමට මොසාඩ් සංවිධානය සමත් විය.


2009 වසරේදී න්‍යෂ්ටික විද්‍යාඥ ෂරාම් අමීර් මක්කම වන්දනාවකදී අතුරුදන් විය. පසුව හෙළි වූයේ අමෙරිකාව ඔහුට විශාල වරප්‍රසාද දී ඔහුව මිලදී ගෙන ඇති බවය. කලකට පසු සිය අදහස් වෙනස් වී ඔහු ඉරානයට පැමිණියද ඉරාන රජය 2016දී ඔහුට මරණ දඬුවම ලබාදුන්නේය.
2010 ජනවාරි 12 වැනිදා න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය මසුඩ් අලි මොහොම්මදි උතුරු ටෙහෙරානයේදී කාර් බෝම්බයකින් ඝාතනයට ලක්විය.
2010 නොවැම්බර් 29 වැනිදා ටෙහෙරාන් න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියෙකු වූ ආචාර්ය මජීඩ් ෂරියාරි ඝාතනය කෙරිණි. ඔහුගේ මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදි කරුවෙක් ඔහුගේ රථයේ කුඩා කාන්දමක් වැනි යමක් අලවා පලා ගිය අතර, එය පිපිරීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය.
ඒ දිනයේම ඒ ආකාරයෙන්ම ආචාර්ය ෆෙරයිඩන් අබාසි දවානි ඝාතනය කිරීමටද මොසාඩ් ප්‍රහාරකයන් උත්සාහ දැරූ නමුත් ඔහු සහ ඔහුගේ බිරිද බරපතළ තුවාල සහිතව දිවි රැකගැනීමට සමත් වූහ.
2011 ජූලි 23 ටෙහෙරාන් යතුරු පැදියක පැමිණි වෙඩික්කරුවෙකු විසින් න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියෙකු වූ භෞතික විද්‍යා මහාචාර්ය ඩාරියස් රෙසායි නජාඩ් ඝාතනයට ලක් කරනු ලැබීය.

2012 ජනවාරි 11 තවත් ඉරාන මහාචාර්යවරයකු වූ මුස්තාපා අහමදි ඝාතනයට ලක්විය. එය සිදුවූයේද යතුරුපැදි කරුවෙකු විසින් මෝටර් රථයට සවි කළ කුඩා කාර් බෝම්බයකිනි.
2020 නොවැම්බර් 27 වැනිදා මොහේන් ෆක්රිසාදි නම් මහාචාර්යවරයා දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වූ මැෂින් තුවක්කු ප්‍රහාරයකින් මරණයට පත් විය.
මේ ආකාරයට ඉරානය විසින් බිහි කළ ඉහළම මට්ටමේ විද්‍යාඥයන් ගණනාවකට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වෙනුවෙන් සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය.
පුදුමය වන්නේ මහ දවාලේ අනුන්ගේ රටවල්වලට කඩා වැදී මෙවැනි ඝාතන සිදුකිරීමට ඊශ්‍රායලය හා ඔහු පිටුපස සිටින අමෙරිකානු මහා බලවතා කටයුතු කර තිබුණද කිසිවෙකු මේවාට එරෙහිව මානව හිමිකම් චෝදනා ආදිය ගොනු නොකිරිමය.
එසේ නොකිරීමෙන් නොනැවතී සිනමාව ආදී විවිධ මාධ්‍යයන් හරහා මොසාඩ් සංවිධානයේ වීරත්වය ලෝක පරිමාණව හුවා දැක්වීමට ලෝක බලවතුන් සමත් වීමය.
මේ කුමන ප්‍රහාර දියත් වුවද ඒ කිසිවකින් නොසැලී ලෝකයේ බලවත්ම ඔත්තු සේවයක් වූ මොසාඩ් ඔත්තුසේවය පවා නොමඟ යවමින්, එහි ප්‍රහාරයන්ට මුහුණ දෙමින් තම ඉරානයද තම වැඩපිළිවෙළ පෙරට ගෙන ගොස් තිබේ. එහිදී බොහෝ දෙනා අපේක්ෂා කළාටත් වඩා ඉරානය ශක්තිමත් බව පසුගිය දා දෙරට අතර ඇතිවූ යුද්ධයේදීද පැහැදිලි විය.

ඒ අනුව ඉතිහාසය තුළද මොසාඩ් සංවිධානය මෙන්ම ඉරානයද ඉතා දක්ෂ හා සූක්ෂ්ම ලෙස කටයුතු කර තිබුණද ලෝකය වැඩි වශයෙන් කතා කරනුයේ මොසාඩ් සංවිධානයේ වීරත්වය ගැන පමණි.
ලෝක දේශපාලන ආඛ්‍යානය ගොඩනැගෙනුයේ බලවතාගේ දෘෂ්ටිය අනුව බව පැවසීමට මෙය තවත් එක් ප්‍රබල උදාහරණයක් නොවේද?
ඉසුරු ප්‍රසංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top