pop cul main

ජනප්‍රිය සංස්කෘතිය හොඳඳ? නරකද?

 

ජනප්‍රිය සංස්කෘතිය වනාහී කිසියම් සමාජයක බහුතර පොදු ජනයා ආකර්ෂනය කරගනු ලබන. ඔවුන් විසින් පරිභෝජනය කරන, වාණිජ වාදය හා සන්නිවේදන තාක්ෂණය පදනම් කරගෙන විශාල පිරිසක් අතර ව්‍යාප්ත වන සංස්කෘතික අංග සමුදායකි. මෙය පොප් කල්චර් යන කෙටි නාමයෙන්ද හැඳින්වේ.

ජනප්‍රිය සංස්කෘතිය යන්න විවිධ විද්වතුන් විවිධාකාරයෙන් නිර්වචනය කර තිබේ.

ජනප්‍රිය සංස්කෘතිය යනු, සමාජයක බහුතරයක් පිරිස වැළද ගනු ලබන පරිභෝජනය කරනු ලබන උපයෝගීතාවයෙන් සැදුම්ලත් කාලයෙන් කාලයට වෙනස් වන සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතියයි.
ජේම්ස් කාටර්

ජනප්‍රිය සංස්කෘතිය යනු “ජනතාවගේ සංස්කෘතිය” ලෙස හඳුන්වන, පොදු ජනයාගේ දෛනික ජීවිතය, සම්ප්‍රදාය සහ අත්දැකීම් වලින් ගොඩනගන සංස්කෘතියකි.
රේමන්ඩ් විලියම්ස්

ජනප්‍රිය සංස්කෘතිය යනු අධිපති පන්තීන් සිය අදහස් සාමාන්‍ය වුවමනා ලෙස පිළිගැනීමට පොදු ජනයා හැඩ ගස්වන මෙවලමකි.
අන්තෝනියෝ ග්‍රාම්ස්චි

ජනප්‍රිය සංස්කෘතිය ප්‍රධාන වශයෙන් ගොඩ නැගෙනුයේ විද්‍යාව තාක්ෂණය, සන්නිවේදන ක්‍රමවල දියුණුව හා ඊට සමගාමීව ලෝක පරිමාණව ගොඩනැගෙන ආර්ථික නිෂ්පාදන සම්බන්ධතා පදනම් කරගනිමිනි. ඒ අනුව විද්‍යාව තාක්ෂණය, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය වැනි නූතන සන්නිවේදන මෙවලම්, පාරිභෝජනවාදය, වෙළෙඳ ප්‍රචාරණය, ගෝලීය කරණය ආදිය ජනප්‍රිය සංස්කෘතියේ මූලික පදනම් සාධක ලෙස සැලකිය හැකිය.

මෑතක් වන තුරු ජනමාධ්‍ය ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන වාහකයා ලෙස පැවතියද වර්ෂ 2000 න් පසු ගත වූ මෑත දශක දෙකක පමණ කාලය තුළ සමාජ මාධ්‍ය වල සිදු වූ වේගවත් ව්‍යාප්තිය ජනප්‍රිය සංස්කෘතිය කෙරේ අතිශය ප්‍රබල හා පෙරනුවූ විරු බලපෑමක් එල්ල කර තිබේ.

ජනප්‍රිය සංස්කෘතිය බොහෝ විට මිනිසාගේ බුද්ධිය, තර්කනය, චින්තනය, උසස් රසවින්දනය ආදියට වඩා මිනිසාගේ ප්‍රාථමික ආශාවන්, සරල භාව ආවේග ආදියට මුල් තැන දෙමින්, වාණිජ හා ලාභ අරමුණු නිර්මාණය වන්නකි.

ජනප්‍රිය සංස්කෘතිය යනු ඉතා පුළුල් පරාසයක පැතිර පවතින අතර, ඊට අයත් අංග ගණනාවකි.

සංගීතය – පොප්, රොක්, හිපොප් වැනි ජනප්‍රිය සංගීත ශානරයන්

සිනමාව හා රූපවාහිනිය – බලොක් බස්ටර් චිත්‍රපට, ජනප්‍රිය ටෙලිනාට්‍ය, රූපවාහිනී නාලිකා, රියලිටි වැඩසටහන් ආදිය

විලාසිතා – විවිධ ඇඳුම් පැලඳුම්, පාවහන්, ආභරණ, රූපලාවන්‍ය මෙවලම්

ආහාර පාන – කොකා කෝලා, පෙප්සි, රෙස්බුල් වැනි ගෝලීය වශයෙන් ව්‍යාප්ත පාන වර්ග හා මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, පීසා හට් ආදී වෙළෙඳ නාම ආශ්‍රිත නිෂ්පාදන

සමාජ මාධ්‍ය – ෆේස්බුක්, යූටියුබ්, ටික්ටොක්, වටිටීස් ඇප්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය, ඒවායේ විවිධ ප්‍රවණතා සහ පරිගණක ක්‍රීඩා ආදිය

ක්‍රීඩා – පාපන්දු, ක්‍රිකට් වැනි ජාත්‍යන්තර හා දේශීය වශයෙන් ජනප්‍රිය ක්‍රීඩා

පොත්පත් – විශාල වෙළෙඳපළ ඉල්ලුමක් සහිත ජනප්‍රිය නවකතා, සඟරා, ආදිය

මීට අමතරව ආගම, දේශපාලනය ආදී විෂයන් ආශ්‍රිතවද විවිධ ජනප්‍රිය චරිත, ජනප්‍රිය ප්‍රවණතා ඉස්මතු වන ආකාරය නිරීක්ෂණය කළ හැක්කකි.

ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ

  • බහුජන ප්‍රවේශය (Mass Accessibility)
    සමාජයේ විශාල පිරිසකට පහසුවෙන් ළඟාවිය. හැකි වීම හා ආකර්ෂනය කරගැනීම ජනප්‍රිය සංස්කෘතියේ මූලික ලක්ෂණයකි. විනෝදාස්වාදය, සතුට, ප්‍රමෝදය, උද්වේගය, ලිංගිකත්වය ආදී විශාල පිරිසක් ආකර්ෂනය කරගත හැකි අංග ඒ වෙනුවෙන් යොදා ගැනෙන අතර, සමාජ මාධ්‍ය වල ව්‍යාප්තිය සමඟ අද මෙය බෙහෙවින් පුළුල් වී තිබේ.

වාණිජකරණය (Commercialization)

  • ජනප්‍රිය සංස්කෘතිය ප්‍රධාන වශයෙන්ම වාණිජ අරමුණු හා බැඳී පවතින්නකි. වෙළෙඳපළ ඉලක්ක කරගත්, ලාභය ඉලක්ක කරගත්, බහුජනයා පහසුවෙන් ආකර්ෂනය කරගත හැකි සරල සිල්ලර අංග වලට එහි ඉහළ වැදගත්කමක් හිමි වන අතර, උසස් සාහිත්‍ය, සිනමාව ආදිය ගැඹුරු ශාස්ත්‍රීය කාරණා ආදිය ජනප්‍රිය සංස්කෘතියෙන් තරමක් දුරස්ථ අංග වේ.
  • නිරන්තර වෙනස් වීම හා නවීකරණය (Constant Change and Innovation)
    කලින් කලට විවිධ ප්‍රවණතා මතු වීම හා යටපත් වීම ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රමුඛ ලක්ෂණයකි. කාලයත් සමඟ ජනප්‍රියත්වය වෙනස්වීමත්, ජනප්‍රිය සංස්කෘතියේ අංග වේගයෙන් නවීකරණය වීමත් නිතර සිදු වේ.

(Reflection and Influence)

  • ජනප්‍රිය සංස්කෘතිය යනු එක් ආකාරයකින් සමාජයක බුද්ධි මට්ටම, රුචිකත්වයන්, ආකල්ප, විශ්වාස, හැසිරීම් රටා ආදියේ වැදගත් පිළිබිඹුවකි. එමෙන්ම එය පෙරළා සමාජයක චින්තනයට හා හැසිරීම් වලට ප්‍රබල බලපෑමක් එල්ල කරයි. නූතන ලෝකයේ දේශපාලන බල පෙරළි වැනි සංකීර්ණ කාරණා ආදියට පවා සමාජ මාධ්‍ය ආදියෙන් ඇති කරන බලපෑම මීට නිදසුනකි.

ගෝලීයකරණය (Globalization)

  • වර්තමානයේදී තාක්ෂණය හා සන්නි වේදනයේ ප්‍රබල වර්ධනය සමඟ ජනප්‍රිය සංස්කෘතියට ජාතික සීමා ඉක්මවා ලෝක පරිමාණව ව්‍යාප්ත වීමේ හැකියාව ලැබී තිබේ. හොලිවුඩ් සිනමාව, බටහිර සංගීතය, කේඑෆ්සී, මැක්ඩොනල්ඩ් ආශ්‍රිත ආහාර නිෂ්පාදන ලෝක පරිමාණව ජනප්‍රියත්වයට පත්වීම මීට අදාළ නිදසුනකි.

සංස්කෘතික සමම්මිශ්‍රණය (Cultural Hybridization)

  • සජාතීය සංස්කෘතියක පැවැත්ම වෙනුවට විවිධ සංස්කෘතික ලක්ෂණ එකට මිශ්‍රවීම ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රමුඛ ලක්ෂණයකි. එහෙත් එහිදී බොහෝ විට සිදුවන්නේ ප්‍රාග්ධන බලය ආදිය මත අධිපති සංස්කෘතීන් විසින් ලෝකයේ වෙනත් සංස්කෘතීන් යටපත් කිරීම බවට විවේචනද මතු වීම සැලකිය යුත්තකි.
  • මේ අනුව ජනප්‍රිය සංස්කෘතිය යනු නූතන ලෝකය තුළ ඕනෑම සමාජයක වැදගත් කාර්යභාරයක් ඉටු කරන අංගයකි. එහි කාර්ය භාරය තුළ සාධනීය ප්‍රතිඵල මෙන්ම නිශේධනීය ප්‍රතිඵලද දක්නට ලැබේ. ඒ අනුව
  • පොදු ප්‍රජාවට විනෝදාස්වාදය සැපයීම
  • තොරතුරු හා දැනුම ව්‍යාප්ත කිරීම
  • සමාජ ඒකාබද්ධතාව ගොඩනැගීම
  • වෙළෙඳ පළ ප්‍රසාරණය
  • ආර්ථික වර්ධනය
  • රැකියා අවස්ථා ආදිය උදාවීම
  • විද්‍යාව තාක්ෂණය හා සන්නිවේදනයේ වර්ධනය
  • සංස්කෘතික සම්මිශ්‍රණය
  • ආදිය ජනප්‍රිය සංස්කෘතියේ සාධනීය ලක්ෂණ ලෙස සැලකිය හැකිය. එසේම….
  • ජනප්‍රිය සංස්කෘතිය තුළ ජනයා රවටන සුලු බාල සිල්ලර දේවල් බහුලවීම.
  • ජනප්‍රිය සංස්කෘතිය තර්කය, බුද්ධිය. චින්තනය වෙනුවට මිනිසාගේ ප්‍රාථමික ආශාවන් හා සරල භාව ආවේග මත පදනම් වන්නක් වීම.
  • ප්‍රාග්ධන බලය. මාධ්‍ය බලය, වෙළෙඳ පළ තරඟය ආදිය මත රඳා පවතින්නක් වීම.
  • වෙළෙඳ පළ අවශ්‍යතා මත සැබෑ ජනමතය විකෘති කරමින් කෘත්‍රීමව පවා නිර්මාණය කළ හැක්කක් වීම.
  • ජනප්‍රිය සංස්කෘතිය නිසා ඉහළ බුද්ධිමය ශාස්ත්‍රීය වටිනාකමක් ඇති දෑ. උසස් කලාව, සාහිත්‍යය, ආදිය කෙරේ සමාජයක ඉල්ලුම හා අවධානය පහත වැටීම.
  • සමාජයක සදාචාරමය වටිනාකම්, ආගමික හර පද්ධතීන්, උසස් රසවින්දනය ආදියට එල්ල වන අහිතකර බලපෑම.
  • අධිපති සංස්කෘතීන් විසින් කුඩා සංස්කෘතීන් යටපත් කිරීම.

ආදිය ජනප්‍රිය සංස්කෘතියේ නිශේධනීය අංග ලෙස සැලකිය හැකිය. මේ ආකාරයට ජනප්‍රිය සංස්කෘතිය යනු නූතන ලෝකයට අතිශය බලපෑම් සහගත හා විශාල වශයෙන් අධ්‍යයනයට ලක් වූ ප්‍රවණතාවක් ලෙස හඳුනාගත හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top