sunjay main

මාධ්‍ය විසින් බෝම්බකරුවෙකු කළ ඉන්දියාවේ සුපිරි සිනමා තාරකාව

ජනමාධ්‍ය විසින් කතා ගොතලා, නඩු අහලා මිනිස්සුන්ව වැරදිකාරයෝ කරන විදිහ ගැන මම මෑතකදී ලිපියක් ලිව්වා. ඒ ලිව්වේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට නිකරුණේ වැරදිකරුවෙකු වූ කොණ්ඩයා සම්බන්ධව.
හැබැයි කොණ්ඩයා වගේ අය විතරක් නෙමෙයි, ලෝකේ ප්‍රසිද්ධ ධනවත් බලවත් මිනිස්සු පවා මේ ඉරණමට ගොදුරු වෙලා තියනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි සංජේ දත් කියන සුප්‍රකට බොලිවුඩ් තාරකාවට අත් වූ ඉරණම.
1993 මාර්තු 12 වැනිදා ඉන්දියාවේ බොම්බායට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවකින් 257ක් මරණයට පත්වෙලා 1400කට තුවාල සිද්ධ වෙනවා. එදා මේ ප්‍රහාරයට සැකපිට සංජේ දත් අත්අඩංගුවට පත් වෙනවා. එතෙන්දි ඔහු හුදු සැකකාරයෙක් විතරක් වුණත් ඉන්දියාවේ මාධ්‍ය මුදලාලිලාට මේ සිදුවීම මැණික් ආකරයක් බවට පත් වෙනවා.
ඊට පස්සේ සංජේ දත් ත්‍රස්ත ප්‍රහාරයට කෙලින්ම සම්බන්ධ බවත්, පුපුරණ ද්‍රව්‍ය ලොරියක් සහ ගිනි අවියක් ගෙදර තියාගෙන හිටපු බවටත් මාධ්‍ය ඔස්සේ දිගට හරහට කතන්දර පැතිරෙන්න ගන්නවා. ඉන්දියාවේ විතරක් නෙමෙයි ඒ කාලේ ලංකාවේ මාධ්‍යවල පවා එහෙම පුවත් පළ වුණා. මෑතක් වන තුරු මේ සටහන ලියන මමත් හිතාගෙන හිටියේ සංජේ දත් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයි කියලා.
සංජේගේ තාත්තා සුනිල් දත් ඉන්දියාවේ ප්‍රබල දේශපාලන චරිතයක් වුණත් තමන්ගේ පුතාට එල්ල වූ මාධ්‍ය ප්‍රහාරයෙන් ඔහුව බේරාගන්න සුනිල් දත්ට හැකි වුණේ නෑ. ඔහු පත්තර කතුවරු හමුවෙලා තත්ත්වේ පැහැදිලි කළත් වැඩක් වෙන්නේ නෑ.

ඔවුන් නීතියෙන් ගැලවෙන්න පුළුවන් පුංචි පුංචි පොයින්ට් පාවිච්චි කරලා අසත්‍ය පුවත් පතුරුවන එක දිගටම කරගෙන යනවා.
ඊට පස්සේ විටින් විට කෙරෙන සිරගත කිරීම්, ඇප ලැබීම්, නැවත සිරගත කිරීම්, දිගට හරහට කල් ඇදෙන නඩු විභාග අතරේ කාලය ගෙවිලා යනවා.
අවුරුදු දාහතරක් තිස්සේ කල් ඇදිච්ච නඩු විභාගය නිසා සංජේ දත්ට තමන්ගේ වෘත්තීය ජීවිතයේ හොඳම දීප්තිමත්ම කාලය අපහාස උපහාස මැද හිරගෙවල්වල නාස්ති කරලා දාන්න සිද්ධ වෙනවා.
අන්තිමට අවුරුදු 14කට පස්සේ 2007 දී සංජේ දත් මේ ත්‍රස්ත ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැති බව අධිකරණය ඉදිරියේ ඔප්පු වෙනවා.
පත්තරවලින් කතා හදපු ඔහුගේ ගෙදර තිබුණ බෝම්බ ලොරිය ප්‍රහාරයෙන් අසරණ වුණු මිනිස්සුන්ට බෙදලා දෙන්න ගෙනාපු ආහාර ද්‍රව්‍ය අඩංගු ලොරියක් කියලා තහවුරු වෙනවා.
හැබැයි සංජේ දත් මෙතෙන්දි පූර්ණ නිවැරදිකරුවෙක් නෙමෙයි. ඔහු පැහැදිලිවම එක වැරැද්දක් කරලා තිබුණා. ඒ තමයි නීති වීරෝධීව ඒ.කේ. 47 වර්ගයේ රයිපලයක් ළඟ තබා ගැනීම.
ඇත්තටම ඔහු ගිනි අවියක් ළඟ තියාගෙන හිටියේ ඇයි?
ඒක පැහැදිලි නීතිමය වරදක් වුණත්, ඔහු තනිකරම ඒ වරදට පෙළැඹිලා තිබුණේ තමන්ගේ සහ පවුලේ අයගේ ජීවිත පිළිබඳ තිබුණු සහේතුක බය නිසා. මොකද මුස්ලිම් අන්තවාදීන් විසින් කළ මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ සංජේගේ පවුලට හින්දු අන්තවාදීන්ගේ තර්ජන එල්ල වෙන්න ගන්නවා. සංජේ දත්ගේ අම්මා නාර්ගීස් දත් උපතින් මුස්ලිම් කාන්තාවක් වීම තමයි මේකට ආසන්න හේතුව වෙන්නේ. ඒ අනුව පවුලේ අය මරලා දාලා සංජේගේ නංගිලාව දූෂණය කරනවා කියලා ඔහුට තර්ජන එල්ල වෙනවා.
ඊට පස්සේ ඒ තර්ජනවලට බයේ ඔහු ගිනි අවියක් ළඟ තියාගන්න පෙළඹෙනවා. ඒක සාධාරණීකරණය කළ නොහැකි වරදක් තමයි. හැබැයි ඔහු කිසිම ත්‍රස්ත ක්‍රියාකාරකමකට සම්බන්ධ වෙලා නෑ. කුරා කුහුඹුවෙකුටවත් හානියක් කරලා නෑ.
අවසානයේදී ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ නැතත් මේ ගිනි අවි සිදුවීම නිසා ඔහුට වසර පහක හිර දඬුවමක් ලැබෙනවා.
ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව ඔහු අධිකරණයෙන් වරදකරුවෙක් නොවුණත්, මාධ්‍ය විසින් ඔහුට ඇලවූ ත්‍රස්තවාදී ලේබලය ලේසියෙන් ඉවත් වුණේ නෑ.

මාධ්‍ය වෙළෙන්ඳෝ තමන්ගේ පුවත් වෙළෙඳාම වෙනුවෙන් සංජේ දත්ට බරපතළ අපකීර්තියක් සිදුකළත්, ඒ වරද නිවැරදි කිරීමට මාධ්‍ය එහෙම උනන්දුවකින් මැදිහත් වෙන්නේ නැහැ.
සංජේ සිරගත වුණේ ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාවට වුණත්, බොහෝ දෙනා තවමත් හිතාගෙන ඉන්නේ ඔහු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් විදිහට.
පස්සේ කාලෙක 2018 වසරේ රාජ් කුමාර් හිරානි කියන විශිෂ්ට ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයා සන්ජු කියන අපූරු සිනමා කෘතිය හරහා සංජේ දත්ගේ සැබෑ කතාව හා ඒ පිටුපස පැවති ව්‍යසනය ලෝකයට හෙළිදරව් කරනවා.
ඒ ෆිල්ම් එක බලන තුරු මමත් හිතාගෙන හිටියේ සංජේ දත් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයි කියලා. ඒක බැලුවාට පස්සේ තමයි ඒකේ ඇත්ත කතාව ගැන තව කරුණු හොයා බලන්න පෙළඹුණේ.
මේ චිත්‍රපටය පුරාම රාජ කුමාර් හිරානි මාධ්‍යවල තක්කඩි පිළිවෙත ගැන ඉතාම නිර්දය ප්‍රශ්න කිරීමක් කරනවා. චිත්‍රපටය අවසානයේ එන “බබා බොල් තාහේ බස් හෝ ගයා” කියන ගීතය මාධ්‍යවලට එල්ල කරන බරපතළ කනේ පහරක්.
ඒ නිසා මේ අපූරු චිත්‍රපටය තාම බැලුවේ නැත්නම් බලන්න. ඒකෙන් සංජේ දත්ගේ හැලහැප්පීම් බහුල සංකීර්ණ ජීවිත කතාව වගේම මාධ්‍ය ගැනත් අපූරු අනාවරණයක් සිදු කරනවා.
ඉසුරු ප්‍රසංග

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top