සිංහල භාෂාවේ සුවිශේෂ ප්‍රබලතා
- අප කුඩා වියේ සිට ම කතා කරනුයේ සිංහලෙනි. ලියනුයේ සිංහලෙනි. හිතනුයේ සිංහලෙනි. ඉගෙනුම ලබනුයේ සිංහලෙනි. එහෙත් සිංහල නමැති භාෂාවේ ඓතිහාසික වටිනාකම, එහි ප්‍රබලතා, ලෝකයේ අනෙකුත් භාෂා අතර සිංහලයට හිමි සුවිශේෂ ස්ථානය, ජාතියේ අභිවෘද්ධිය හා භාෂා උරුමය අතර ඇති සම්බන්ධතාව ආදිය ගැන සිංහලය භාවිතා කරන ලෝකයේ එක ම රට වූ ලංකාවේ බොහෝ දෙනාට ඇත්තේ අතිශය අල්ප අවබෝධයක් නො වේ ද? මේ ලිපියේ අරමුණ හෙළුව හෙවත් සිංහල භාෂාවේ සුවිශේෂ ප්‍රබලතා මෙන් ම ජාතියක අභිවෘද්ධිය හා භාෂා උරුමය අතර ඇති සම්බන්ධතාව ගැන සැකෙවින් යමක් පෙන්වා දීම ය.

- සංඛ්‍යාව පිළිබඳ යම් යම් වාද විවාද පැවතිය ද සාමාන්‍යයෙන් ලෝකයේ භාෂා 7,000ක් පමණ තිබේ. මාතෘ භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා අනුපිළිවෙළින් පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමි වන්නේ එහි පහත් ස්ථානයක් නොව ඉහළ ම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.
- භූමි ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කුඩා රටක් යැයි බොහෝ දෙනා සිතා සිටිය ද අප රටට වඩා කුඩා රටවල් 75ක් ලෝකයේ ඇත. ඒ සෑම රටක ම පාහේ ජනගහනය ද ලංකාවට වඩා අඩු ය. එහෙයින් මාතෘ භාෂාව ලෙස සිංහල භාවිත කරන මිලියන 17ක් වූ ජනගහනය, ලෝකයේ අනෙකුත් භාෂා කතා කරන ජන සංඛ්‍යා සමඟ සසඳන කල කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.
- ලෝකයේ භාෂා දහස් ගණනක් තිබුණ ද ඒ අතරින් බහුතරයක් දියුණු ප්‍රකාශන ශක්තීන්ගෙන් තොර, තමන්ට අනන්‍ය වූ අක්ෂර මාලා ආදිය රහිත, අඩු ජනගහනයක් විසින් වහරන භාෂා වේ. නොදියුණු ගෝත්‍රික භාෂා කන්දරාවක් ද මීට අයත් ය. උදාහරණයක් ලෙස ලෝකයේ වැඩි ම භාෂා විවිධත්වයක් පවතින පැපුවා නිව්ගිනියාව සලකා බලන්න. ශ්‍රී ලංකාව මෙන් හත් ගුණයක් පමණ විශාල, මිලියන දහයක පමණ ජනගහනයක් සහිත මේ රට තුළ ව්‍යවහාර වන සජීවී භාෂා සංඛ්‍යාව 839කි.
- සුප්‍රකට ගූගල් සමාගම 2023 වන විට පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7,000ක් අතුරින් ප්‍රමුඛ භාෂා 133කට පමණි. සිංහල භාෂාව ද ඒ 133ට ඇතුළත් වීමෙන් පැහැදිලි වනුයේ ලෝකයේ අනෙකුත් භාෂා අතර එයට හිමි වැදගත් ස්ථානයයි.
- සිංහල යනු දෙමළ, චීන, හීබෲ, සංස්කෘත, ග්‍රීක, ෆාර්සි ආදී වූ ලෝකයේ දැනට සජීවී ව පවතින පැරණි ම භාෂා අතරට අයත් වන දීර්ඝ ඉතිහාසයක් සහිත භාෂාවකි. පැරණි බව අනුව ලෝකයේ සජීවී සහ මළ භාෂා සියල්ල පෙළ ගැස්වුව හොත් එහි පැරණි ම භාෂා පනහ, හැට අතරටවත් සිංහල භාෂාව ඇතුළත් වෙතැයි අනුමාන කළ හැකි ය.
- පැරණි බව පමණක් නො වේ. එය අඛණ්ඩ ව පරිණාමය වෙමින් අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහි ව තහවුරු කර ගෙන සිටින සජීව භාෂාවකි. සංස්කෘත, ලතින් වැනි ලෝකයේ ඇතැම් ප්‍රබල පැරණි භාෂා අද වන විට බොහෝ දුරට අභාවයට ගොස් තිබුණ ද සිංහලය එවන් ඉරණමකට ගොදුරු ව නැත.
- අවුරුදු 2,300කට පෙර අපේ මුතුන්මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලියූහ. සෙල් ලිපිවලට අමතර ව මිහිඳු හිමියන් මෙරටට ගෙන ආ ධර්ම කරුණුවලට අදාළ හෙළ අටුවා අපේ මුල් ම ගද්‍ය රචනා වන අතර, අදින් වසර 2,300ක් තරම් ඈත කාලයක පවා බුදු දහමේ එන ගැඹුරු කරුණු සිංහලෙන් ලිවීමට අපේ භාෂාව සමත් වූ බව මේ අනුව පැහැදිලි වෙයි.
- අවුරුදු 1,500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝ ය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ අතිශය දියුණු භාෂාවකින් පමණි. දැනට හමුවන පැරණි ම සිංහල කවි වන අනුරාධපුර යුගයට අයත් සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලූව ද ඒවා වසර 1,300ක් පමණ පැරණි ය.
අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීන ව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහි කළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේ ම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.
- මනා සංවිධානයක් සහිත තමන්ට ම අනන්‍ය වූ හා පරිණාමය වෙමින් පෙරට ආ දියුණු අක්ෂර මාලාවක් පැවතීම ද සිංහල භාෂාවේ තවත් ප්‍රබල ලක්ෂණයක් වෙයි. එහෙත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂා රාශියකට තමන්ගේ ම වූ අක්ෂර මාලා නැති බව බොහෝ දෙනා නො දනිති. ඉංග්‍රීසි, ප්‍රංස, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ, පෝලන්ත, ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර ලෙස භාවිත කරනුයේ තමන්ගේ නොවන ලතින් අක්ෂර ය. එහෙත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම් ය. සංස්කෘත, හින්දි, පාලි, මරාති, ගුජරාටි, නේපාලි, ඇතුළු භාෂා 30ක පමණ අක්ෂර මාලා ලෙස දේවනාගරී අක්ෂර භාවිත කෙරේ. එහෙත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස භාෂාවක් නො වේ.
- ඇ සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ‘ඇ කාරය’ ලෝකයට හඳුන්වා දෙන ලද්දේ සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නො වේ.
- සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින් ම ඉහළ ය. සියවස් ගණනාවක සිට කලින් කලට වෙනස් ශෛලීන් සහිත ව රචනා වූ සිංහල ගද්‍ය පද්‍ය කෘති සම්භාරය ඊට ජීවමාන සාක්ෂියකි.
- අක්ෂර සංකේත මඟින් විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදි ව, නිශ්චිත ව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතු ය. එහෙත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැති අතර, එකම අක්ෂර සංකේත විවිධ ශබ්ද සඳහා භාවිත වේ. මේ අනුව සිංහලය යනු ලෝකයේ ඇති භාෂා අතුරින් අතිශයින් ම ශබ්දානුගත භාෂාවකි.
- නිරන්තර පරිණාමයට ලක් වීම ද සිංහල භාෂාවේ තවත් සුවිශේෂ ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් පවා මේ බව පැහැදිලි ව හඳුනා ගත හැකි ය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් ජෝන්, ජෝසප්, එඩ්වඩ් වැනි නම් සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදු වේ.
- යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි භාෂාව, පිලිපීනයේ ටගලොග් භාෂාව, වියට්නාම් භාෂාව, ඉන්දියාවේ මුන්දා භාෂාව ආදි භාෂා රාශියක මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කෙරේ. එහෙත් බොහෝ සතුරු බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.
- එහෙත් සිංහලය වහරන බොහෝ දෙනාට මේ වටිනාකම් ගැන ඇත්තේ අල්ප අවබෝධයක් වන අතර, බස වහරන්නන් අතින් ම බස නැසීම අද බහුල ව සිදු වනුයේ ඒ නිසා ය. නූතන පුවත්පත් ලිපි, ජනමාධ්‍ය, පොත්පත් ආදිය දෙස බැලීමේ දී පෙනී යනුයේ වියරණය පිළිබඳ මූලික අවබෝධයක් පවා නැති අය පවා බහුල වශයෙන් ලේඛනයට පිවිසී ඇති බව ය. මූලික වියරණ නීති ඉගෙනීම මේ ඕනෑම අයෙකුට පහසුවෙන් කළ හැක්කක් වුව ද බොහෝ දෙනා එය සලකනුයේ අනවශ්‍ය දෙයක් වශයෙනි. ඔවුන්ගේ පොත්, පත්තර, ලිපි ආදිය කියවන බාල පරපුරට සැපයෙන වැරදි ආදර්ශයේ ආදීනව සුළුපටු වේ ද? ඉංග්‍රීසි නොදැනීම මහත් ලජ්ජාවක් ලෙස සලකන බොහෝ දෙනා සිංහල නොදැනීම ලජ්ජාවක් ලෙස නො සලකති.
- සිංහලයේ ප්‍රබලතා ගැන ඇති අනවබෝධයට අමතර ව සිංහල යනු ලෝකයේ කුඩා දූපතක, කුඩා ජනගහනයක් භාවිත කරන අසරණ අනාථ භාෂාවක් ය යන දුර්මතයේ ද මෙරට බොහෝ දෙනා ගිලී සිටින අතර, තම භාෂා උරුමය අතහැර ඉංග්‍රීසිය වැළඳ ගැනීමට සහ අධ්‍යාපන මාධ්‍යය ලෙස ඉංග්‍රීසිය යොදා ගැනීමට අදාළ යෝජනා විවිධ පාර්ශ්ව වෙතින් විටින් විට මතු වනුයේ මේ නිසා ය.
- ඉංග්‍රීසිය දෙවන බසක් ලෙස ඉගෙනීම අතිශය වැදගත් ය. එහෙත් හැකි සෑම තැනෙකදී ම අපේ බසට අප මුල් තැන ලබාදිය යුතු ය. විශේෂයෙන් ම අධ්‍යාපනය සම්බන්ධ ව ලෝකයේ ම පිළිගත් ක්‍රමවේදය වනුයේ මවුබසින් ඉගැන්වීම මිස පරබසකින් ඉගැන්වීම නො වේ. දෙවන බසක් යනු හුදු ලෝකය සමඟ ගනුදෙනු කිරීමේ මෙවලමක් පමණක් වන අතර, මවුබස යනු අපේ සමස්ත අධ්‍යාත්මයයි.

- අප භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වන නිසා අපේ භාෂා උරුමය අත්හැර ඉංග්‍රීසියට ප්‍රමුඛස්ථානය දිය යුතු බව ඇතැම්හු පවසති. එහෙත් මේ මතය ද සම්පූර්ණ මිත්‍යාවකි. මීට පෙර ද සඳහන් කළ ආකාරයට ලංකාවට වඩා කුඩා රටවල් 75ක් ලෝකය පුරා තිබේ. මේ රටවල් අතුරින් 26ක්ම ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම, සයිප්‍රසය, නෙදර්ලන්තය, ලැට්වියාව, ස්ලෝවැකියාව වැනි දියුණු යුරෝපා රටවල් ය. සිංගප්පූරුව, ඊශ්‍රායලය වැනි ප්‍රබල රටවල් ද මේ අතර වන අතර, ඒ කිසිදු රටක් භූමියේ තරම හෝ ජනගහනය ගැන සිතා තම භාෂා උරුමය ඉංග්‍රීසිය වෙනුවෙන් පාවා දී නැති අතර, ඔවුහු ස්වභාෂාවන් තම නිල රාජ්‍ය භාෂා සහ අධ්‍යාපන මාධ්‍යය ලෙස භාවිත කරති.
- තම මවුබස් උරුමය අත්හැර ඉංග්‍රීසි, ප්‍රංස වැනි යටත්විජිත ස්වාමිවරුන්ගේ භාෂා ස්වකීය රාජ්‍ය භාෂා සහ අධ්‍යාපන මාධ්‍ය ලෙස තෝරා ගත් රාජ්‍යයන් අතළොස්සක් ද ලෝකයේ ඇති බව සැබවි. එහෙත් ඒ මඟ ගෙන ඇත්තේ ලෝකයේ දියුණු යැයි කියන රාජ්‍යයන් නොව, තමන්ගේ ම වූ ශක්තිමත් ජාතික භාෂා නැති, එක් රටක් තුළ නොදියුණු ගෝත්‍රික භාෂා සිය ගණනක් සහිත, යටත්විජිත ආධිපත්‍ය හමුවේ දණින් වැටුණු රාජ්‍යයන් විසිනි. ඔවුන් අධ්‍යාපන මාධ්‍ය ලෙස ඉංග්‍රීසිය තෝරා ගෙන ඇත්තේ අධ්‍යාපනය සඳහා සුදුසු තමන්ගේ ම වූ එක් ප්‍රබල භාෂාවක් නැතිකමේ ගැටලුව හේතුවෙනි. සුඩානය, සැම්බියාව, කැමරූන්, බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකාව, ගැම්බියාව, ගැබෝන්, කෙන්යාව, ඝානාව, මලාවි, ලයිබීරියා, ඩොමිනිකා, බොස්ට්වානා, බාබඩෝස්, බහාමාස්, සොලමන්ස් දූපත්, සියරා ලියෝන්, පැපුවා නිව්ගිනියා වැනි රටවල් ඊට උදාහරණ වෙයි.
- ජාතියක අභිවෘද්ධිය සහ ස්වකීය භාෂා උරුමය අතර ඇත්තේ බිඳිය නොහැකි සම්බන්ධයකි. 1948 දී පිහිටුවන ලද යුදෙව්වන්ගේ ඊශ්‍රායලය මළ භාෂාවක් ව පැවති හීබෲ භාෂාවට නැවත පණ දී එය තම රාජ්‍ය භාෂාව ලෙස භාවිතයට ගනුයේ මේ නිසා ය. එය එසේ තිබිය දී අප තව මත් සජීව ලෙස පවතින, දිගු ඉතිහාසයක් සහිත අපේ බස නැසීමට කටයුතු කරන්නේ නම් එය කෙතරම් අභාග්‍යයක් වේ ද?
- සිංහල භාෂාවේ සුවිශේෂතා ගැන අවබෝධයත්, නිවැරදි ව භාෂාව භාවිත කිරීමත්, සිංහල චිරන්තන සාහිත්‍ය නමැති මහා ශිෂ්ටාචාරමය ධන නිධානයේ අගය දත් අනාගත පරපුරක් බිහි කිරීමත්, සිංහලෙන් ලියන කියවන නව ලේඛක පාඨක ප්‍රජාවක් බිහි කිරීමත්, කලින් කලට එල්ල වන අභියෝග හමුවේ අපේ භාෂා උරුමය රැක ගැනීමත් අප හමුවේ ඇති බැරෑරුම් වගකීමක් වෙයි. ජාතියක් වශයෙන් අපේ අභිවෘද්ධිය තීරණය කෙරෙන සාධක අතර භාෂා උරුමයට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි.
- අප මේ කෘතිය සම්පාදනය කිරීමට අදහස් කළේ ද හුදු විභාගය පමණක් ඉලක්ක කොට නොව, විභාග සඳහා ලබන අධ්‍යාපනය එහි අනෙකුත් ජාතික අභිලාෂයන්ගේ ගැඹුර ද සහිත ව සමාජගත කිරීමේ අරමුණෙනි. සිංහල බස උගන්නා සිසු දරුවන් ද එය කළ යුත්තේ හුදු කෙසේ හෝ විභාගය සමත් වීමේ අරමුණකට සීමා වෙමින් නොව, නිවැරදි ව මවුබස ඉගෙනීමේ ජාතික වැදගත්කම කුමක්දැයි මනා ව අවබෝධ කර ගනිමිනි. විටෙක හිසරදයක් ලෙස දැනිය හැකි භාෂා අධ්‍යාපනය ආස්වාදනීය කටයුත්තක් වනු ඇත්තේ එවිටය.
(ඉසුරු ප්‍රසංග විසින් රචිත වියරණ යතුර කෘතියේ අන්තර්ගත මෙම ලිපියේ සංක්ෂිප්ත සංස්කරණයක් පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය පිටු ගණනාවක විශාල වශයෙන් සංසරණය වූ අතර, එහි සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ. වියරණ යතුර කෘතිය පිළිබඳ වැඩි විස්තර වෙත පහත ලින්ක් එකෙන් පිවිසිය හැකිය.)
- ඉසුරු ප්‍රසංග




