1 Main

විද්‍යාව දන්නා චීනය තවමත් ඉපැරණි දේශීය වෛද්‍ය දැනුමෙන් වැඩ ගන්නා හැටි

සාමාන්‍යයෙන් ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සහ බටහිර වෛද්‍ය ක්‍රමය අතර ඇත්තේ විශාල ප්‍රතිවිරෝධයකි. නතර නොවන ආරවුලකි. මේ දෙකේ දැනුම ඒකාබද්ධ කොට ප්‍රතිකාර කිරීමේ ක්‍රම වේදයක් ගැන කතා කරන්නට ගියහොත් දෙපාර්ශ්වයම නියෝජනය කරන අපේ බොහෝ වෛද්‍යවරු ඊට එරෙහි වීමට ඉඩ තිබේ. ඒ දැනුම සම්බන්ධව ලංකාවේ පවතින අන්තවාදී කථිකාව නිසාය. මේ කථිකාව තුළ සිටින එක් පිරිසක් බටහිර දැනුම පමණක් ලෝකයේ එකම දැනුම ලෙස පිළිගනිමින්. එය අන්ධානුකරණයෙන් වන්දනා කරමින්, දේශීය වූ සියල්ල සමව් වලයට පරිභවයට ලක්කරති. තවත් පිරිසක් බටහිර යැයි කියන සියල්ලට පහර දෙමින්, නූතන විද්‍යවේ සියලු ජයග්‍රහණ වලට වඩා අපේ පැරණි දැනුම මහානුභාව සම්පන්න බවට සුරංගනා කතා නිර්මාණය කරමින්, දේශීය දැනුම පමණක් අතිශයෝක්තියට නංවති. මේ අන්ත දෙකෙන්ම සිදුවන්නේ දැනුම හා එහි සැබෑ ප්‍රායෝගික ජයග්‍රහණ අපට මඟ හැරීමය.

 

චීනය යනු නූතන විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව අතින් ලංකාවට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින රටකි. එමෙන්ම චීනයේ සාම්ප්‍රදායික දැනුමද සියවස් ගණනාවක් තිස්සේ පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් පුරා පැතිර පවතින්නකි. ප්‍රකට බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙකු හා ජීව රසායන විද්‍යාඥයකු වන Joseph Needham විසින් චීනයේ සාම්ප්‍රදායික දැනුම පිළිබද Science and Civilisation in China නමින් වෙළුම් හතකින් යුත් දැවැන්ත කෘති පෙළක්ද සම්පාදනය කර තිබේ. චීනයේ මේ සාම්ප්‍රදායික දැනුම තුළ චීනයේ පැරණි වෛද්‍ය ක්‍රමයට හිමි වන්නේ ඉතා වැදගත් හා ප්‍රධානතම ස්ථානයකි. Traditional Chinese Medicine හෙවත් TMC යනුවෙන් හැඳින්වෙන චීන වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 14 වන සියවස දක්වා ඈතට විහිදෙයි. චීන කටු චිකිත්සාව (Acupuncture), චීන ඖෂධ පැළෑටි උපයෝගී කරගෙන කරන ප්‍රතිකාර (Chinese herb). සම්බාහන ප්‍රතිකාර (Massage) හා Moxibustion ආදී වශයෙන් චීන වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන අංග කිහිපයකි. මෙහි එන Moxibustion යන වචනය සඳහා තනි සිංහල යෙදුමක් සොයා ගැනීම අසීරු වන අතර, එයින් අදහස් වන්නේ Mugwort නම් පැළෑටි වර්ගයක කොළ ආදිය මිනිස් සම මත හෝ ඒ ආසන්නයේ තබා පිළිස්සීමෙන් ප්‍රතිකාර කරන ක්‍රමයකි.

වැදගත්ම කාරණය වන්නේ නූතන විද්‍යාවේ දියුණුව අතින් ඉහළම තැනක සිටින චීනය තවමත් සිය පැරණි දැනුමට ගරු කරමින් ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට කිසිසේත්ම පසුබට නොවීමය. චීනයේ වෛද්‍ය ක්ෂේත්‍රය යනු මෙය හොඳින්ම කැපී පෙනෙන අංශයකි. චීනය යනු සිය දේශීය වෛද්‍ය ක්‍රමයත්, බටහිර වෛද්‍ය ක්‍රමයත් ඒකා බද්ධ කොට ඒ දෙකෙන්ම නිසි ප්‍රයෝජන ගන්නා රටකි. එතැනින් නොනැවතී තම පැරණි දැනුම ජාත්‍යන්තර ලෝකය කරාද ගෙන යාමට කටයුතු කළ රටකි. මේ ලිපියේ අරමුණ චීනය ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවා ඇත්තේ කෙසේද යන්න පෙන්වා දීමය.

පාසල් අධ්‍යාපනයේ සිටම සිය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ වටිනාකම ගැන එරට දරුවන්ට අවබෝධයක් ලබාදීම චීනයේ ස්ථාවර ප්‍රතිපත්තියකි. ඒ නිසා තමන්ගේ දෙයට ගැරහීමේ දින මානසිකත්වයක් ඔවුන් තුළ ඇති නොවේ. චීනයේ බටහිර වෛද්‍ය විද්‍යාව හදාරන සෑම සිසුවෙක්ම අනිවාර්යෙන් චීන වෛද්‍ය ක්‍රමය හැදෑරිය යුතුය. එමෙන්ම චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය හදාරන සිසුන් බටහිර වෛද්‍ය ක්‍රමය පිළිබඳවද උගත යුතුය. යමෙකු වෙනත් රටක සිට චීනයේ වෛද්‍ය උපාධියක් හැදෑරීමට ගියද ඔහුට හෝ ඇයට චීන වෛද්‍ය ක්‍රමය ගැන හැදෑරීමට සිදු වේ. මේ නිසා මේ ක්‍රම දෙකේම ප්‍රබලතා දුබලතා පිළිබඳ එරට වෛද්‍ය සිසුන්ට මනා අවබෝධයක් ලැබේ. රෝග වලට ප්‍රතිකාර කිරීමේදී පවා මෙම වෛද්‍ය ක්‍රම දෙක එකට ඒකාබද්ධ කර ප්‍රතිකාර ලබාදීම චීනයේ ඉතා සුලබ දෙයකි. චීනයේ බටහිර වෛද්‍ය ක්‍රමයට මුල් තැන දෙන රෝහල් වල වුව ද අනිවාර්යයෙන් දේශීය වෛද්‍ය ක්‍රමය සහිත අංශයක් දක්නට ලැබේ. එසේම චීන හා බටහිර වෛද්‍ය ක්‍රම සම සමව භාවිතකරන රෝහල් මෙන්ම තනිකරම චීන වෛද්‍ය ක්‍රමය පමණක් භාවිත කරන රෝහල්ද චීනයේ තිබේ. මෙයින් පෙනී යන්නේ චීනයේ වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමේ සිට ප්‍රතිකාර කිරීම දක්වාම මේ වෛද්‍ය ක්‍රම දෙක ඒකාබද්ධ කොට ඇති ආකාරයයි. මේ නිසා ලංකාවේ මෙන් චීනය තුළ බටහිර වෛද්‍ය ක්‍රමයට අනිසි බලයක්, ආධිපත්‍යයක් හිමි වී නැත. චීනයේ ඉහළ සුදුසුකම් සහිත බටහිර වෛද්‍යවරු පවා රෝගීන් සඳහා දේශීය ප්‍රතිකාර නිර්දේශ කිරීමට කිසිවිටෙකත් පසුබට නොවෙති. සාමාන්‍ය රෝගවල සිට බරපතළ රෝග දක්වා සෑම දෙයටම මේ කාරණය එක ලෙසින් වලංගුය.

චීන ජාතිකයින් ගත් කළ ඔවුන්ටද තම වෛද්‍ය ක්‍රමය පිළිබඳ ඇත්තේ අතිශය සුබවාදී ආකල්පයකි. ඔවුන් බොහෝ විට සුළු සුළු රෝග සඳහා විශ්වාසය තබන්නේ චීන දේශීය වෙදකම් ගැනය. බෙහෙත් සොයා. කොටා තම්බා තනිව සකසා ගැනීමට අසීරු කසාය වර්ග ආදී දේශීය බෙහෙත් වර්ග කන්දරාවක් චීනයේදී වෙළෙඳපොළ නිෂ්පාදන ලෙස පහසුවෙන් මිලදී ගත හැකිය. අනෙක් වැදගත් කාරණය වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වුව ද, ඊට සමගාමීව චීනයේ පැරණි වෛද්‍ය ක්‍රමයට ඇති ඉල්ලුම පහත වැටීම වෙනුවට එය දිනෙන් දින ඉහළ යමින් තිබීමය. 2018 වන විට චීනයේ ඇති දේශීය ප්‍රතිකාර මධ්‍යස්ථාන ගණන ඊට පෙර වසරේ පැවති ප්‍රමාණයට වඩා 6495කින් වැඩි වී ඇති බව චීනයේ CGTN මාධ්‍ය ආයතනය වරක් වාර්තා කර තිබණි. චීන කොමියුනිට්ස් පක්ෂ නායකයා වන එරට ජනාධිපති ෂී ජින් පින් මහතා 2019 ඔක්තෝබරයේ පැවති සමුළුවකදී ප්‍රකාශ කළේ චීන සාම්ප්‍රදායික වෙදකම යනු තම ජාතියේ ප්‍රඥාව විදහා පෙන්වන චීන ශිෂ්ටාචාරයෙන් මතු වූ මහා ධන නිධානයක් ලෙසය. ලංකාවේ ජනාධිපතිවරයෙකු එවැනි ප්‍රකාශයක් කළේ නම් ඔහු ගෝත්‍රික මිත්‍යා දෘෂ්ටිකයෙකු ලෙස මෙරට නිරාගමික සමාජ මාධ්‍ය විද්වතුන්ගේ නිමක් නැති ගැරහීම් වලට භාජනය වීමට ඉඩ තිබේ.

කොවිඩ් වසංගතයේදී චීනය කොවිඩ් මර්දනය සඳහා දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කළ ආකාරය ද ඒ දිනවල ලෝකය පුරාම කතා බහට ලක් වූ මාතෘකාවකි. මේ පිළිබඳ එකල බටහිර මාධ්‍ය විසින්ද විශාල වශයෙන් කරුණු වාර්තා කළ අතර, කොවිඩ් මර්දන කටයුතු සඳහා චීනය විසින් රුසියාවට යැවූ දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක තිදෙනෙක්ම දේශීය වෛද්‍යවරු බව ඒ එක් පුවතක සඳහන්ව තිබිණි. චීන රජයේ නිල වාර්තා පෙන්වා දෙන පරිදි ඔවුන් කොරෝනා රෝගීන් 90%කට වැඩි ප්‍රතිශතයකට ප්‍රතිකාර කිරීම සඳහා බටහිර ප්‍රතිකාර සමඟ සම්ප්‍රදායික වෙදකම ද කලවමේ භාවිත කර තිබේ. පෙනහලු පිරිසිදු කිරීම. විෂ බීජ නැසීම, රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ දැමීම, වසා සෛල ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිශක්තිය ඉහළ දැමීම හා රෝගය ඉක්මනින් සුව වීමට සාම්ප්‍රදායික ඖෂධ ඉවහල් වන ආකාරය වැඩිදුරටත් තහවුරු වීමත් සමඟම රට පුරා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම ක්‍රමවේද භාවිත කර ඇති අතර, එයින් ලැබෙන ප්‍රතිඵල ද ඉහළ මට්ටමක තිබිණි.

2015 වසරේදී චීනය වෛද්‍ය විද්‍යාව සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබුවේද සාම්ප්‍රදායික ඖෂධ ආශ්‍රයෙන් බිහිකළ නව නිෂ්පාදනයක් වෙනුවෙනි. චීනයේ To Youyou නම් ඖෂධ විශේෂඥවරිය විසින් සොයාගන්නා ලද මෙම ඖෂධය නිසා 60 දශකයේදී එරට පැතිර ගිය මැලේරියා වසංගතයේදී මිලියන ගණනාවක් ජනතාවගේ ජිවිත බේරා ගැනීමට හැකියාව ලැබිණි.

මීළඟ වැදගත් කාරණය බාහිර ලෝකය තුළ පවා සිය වෛද්‍ය ක්‍රමය ව්‍යාප්ත කිරීමට සමත්ව තිබීමය. බටහිර වෛද්‍යවරු ලෝකයේ පිළිගත් සභාවල චීන වෛද්‍ය ක්‍රමයේ වැදගත්කම ගැන කතා කරන වීඩියෝ රාශියක් අද ඕනෑම අයෙකුට යූටියුබ් වැනි මාධ්‍ය වෙතින් නැරඹිය හැකිය. චීනය 2020 වන විට යුරෝපා රටවල් ඇතුළු රටවල් 40 කට වැඩි ප්‍රමාණයක් සමග චීන වෛද්‍ය ක්‍රමය ඒ රටවල ප්‍රචලිත කිරීමට අදාළ නිල ගිවිසුම්වලට එළැඹ තිබේ. අද වන විට අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, මැලේසියාව හා විවිධ යුරෝපා රටවල් ඇතුළු රටවල් 30 කට වැඩි ප්‍රමාණයක චීන වෛද්‍ය ක්‍රමය සඳහා උපාධි ලබාදෙන ආයතන සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. චීනය තමන්ගේ සාම්ප්‍රදායික දැනුමින් නිසි ප්‍රයෝජන ගැනීමෙන් නොනැවතී ඒ දැනුම ජාත්‍යන්තරය කරා ගෙන යාමටද කටයුතු කර ඇත්තේ එසේය. මේවා සිදුවන්නේ ගෝත්‍රික යැයි කියන ස්වාසිලන්තය වැනි රටක නොව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි, බටහිර විද්‍යා තාක්ෂණ දැනුම ඉහළින්ම භාවිත කරන, කෘත්‍රිම සූර්යයන්, චන්ද්‍රයන් තනා නගර ආලෝකමත් කරන, රොබෝවරුන් රියදුරන් ලෙස යොදාගනිමින් ප්‍රවාහන සේවා පවත්වා ගෙන යන, මෑතකදී අඟහරු පවා තරණය කළ නූතන චීනයේය.

එහෙත් විද්‍යාත්මක දියුණුව අතින් පහළ මට්ටමේ සිටින ලංකාවේ බොහෝ උගතුන් බටහිර දැනුම අන්ධානුකරණයෙන් වන්දනා කරමින් දේශීය වෛද්‍ය දැනුම හෙළා දකිති. තවත් සමහරු බටහිර දැනුමට අන්තවාදී ලෙස ගරහමින් දේශීය දැනුම පමණක් අතිශයෝක්තියෙන් වර්ණනා කරති. මේ අන්තදෙකෙන් මිදී මේ දෙකේම ප්‍රබලතා දුබලතා හඳුනාගනිමින්, දේශීය දැනුම නිසි ආයතන ගත ප්‍රමිතීන්ට යටත් කොට, වෛද්‍ය ක්‍රම දෙකම ඒකාබද්ධ කොට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලංකාවේද ඇති කළ හැකි නම් එය කෙතරම් පලදායක වේද? වර්තමානය වන විට බොහෝ ජනතා අපේක්ෂා සහිතව ලංකාවේ නව රජයක් බලයට පත්වී ඇති බැවින් ඔවුන්ට අවශ්‍ය නම් මේ ප්‍රතිපත්තිය පිළිබඳ සලකා බැලිය හැකිය.

එවැනි ක්‍රම වේදයක් මගින් බටහිර දැනුම මෙන්ම අපගේ දේශීය දැනුමද දිනෙන් දින දියුණු වනු ඇත. බටහිර දැනුමට ඇති අනිසි ආධිපත්‍යයට මෙන්ම ප්‍රමිතියකින් තොර විවිධ සූත්තර භාවිත කරමින් දේශීය දැනුමේ නාමයෙන් මුදල් ගසා කන හොර වෙදුන්ටද එවැනි ක්‍රම වේදයක් හරහා ඉබේම සීමා පැනවෙනු ඇත. ලංකාවේ මිනිසුන් ඉතා සුළු රෝග සඳහා පවා භාවිත කරන බෙහෙත් ඇතුළු ඖෂධ ආනයනය සඳහා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල් කන්දරාවක් රට තුළම ඉතුරු වනු ඇත. ලංකාවේ මිනිසුන්ගේ දැනුමට, සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයටද එවැනි ප්‍රතිපත්තියක් ඉතා යහපත් වනු ඇත. ඒ සඳහා අප පළමුවෙන්ම කළ යුත්තේ පණ්ඩිතමානි පටු ආකල්ප වලින් මිදී සැබෑ ලෝකය දෙස විවෘතමනසකින් ඇස් හැර බැලීම නොවේද?

  • ඉසුරු ප්‍රසංග

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top