ශ්‍රී ලංකාව පුංචි දූපතක් යැයි සිතන්නට අපි නිතර පුරුදු වී සිටිමු. අපි කුඩා කල සිටම එසේ සිතන්නට උගෙන සිටිමු. එහෙත් ලංකාව සිතන තරම් පුංචි රටක් නොවනවා පමණක් නොව, ක්‍රිස්තු පූර්ව සියවස්වල සිට විසල් ලෝකය සමඟ ගනුදෙනු කළ රාජ්‍යයක් සහ පුරාණයේ සිටම පෙර අපර දෙදිග යා කළ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පැවති රාජ්‍යයක් බව ඔබ දන්නවාද?
ලෝකයේ නන් දෙසින් පැමිණෙන නෞකා නවතා තැබිය හැකි වරායන් හා මුහුදු බොකු ගණනාවක් ලංකාව වටා පැවති බවට තොරතුරු හෙළි කෙරෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි හා දෙස් විදෙස් මූලාශ්‍ර සිය දහස් ගණනකි.
මේ කුඩා දිවයින ඒ ආකාරයෙන් විසල් ලෝකයට විවෘත වුයේ ඉන්දියානු උප මහද්වීපය නමැති යෝධයා සිය ඉහ ඉද්දරින් වැතිර සිටියදී වීම කැපී පෙනෙන විශේෂත්වයකි.
මෙරට විදේශ සබඳතා වලට බලපෑ වැදගත් හේතුවක් වනුයේ ලංකාව සේද මාවතේ අතිශය වැදගත් ස්ථානයක පිහිටා තිබීමය. එය එදා මෙන්ම අද ද ගෝලීය දේශපාලනය තුළ මේ රටට තීරණාත්මක බලපෑමක් එල්ල කරන සාධකයකි.

ක්‍රි. පූ. 360 – 290 කාලයේ ජීවත් වූ ග්‍රීක ඉතිහාසඥයන් වන ඔනෙසික්‍රිටස් (Onesicritus of Astypalaia) සහ මෙගස්තීනස් (Megasthenes) ලියූ ඉපැරණි වාර්තාවල ලංකාවේ විදේශ සබඳතා ගැන සඳහන් වෙයි.
ග්‍රීක ජාතික ශාස්ත්රඥයකු වූ එරැටොස්තීනස් (Eratosthenes) (ක්‍රි. පූ. 276 194) විසින් ඒ කාලයේදී මිසරයේ පැපිරස් නැව් තැප්‍රොබේන් දිවයින වෙත යාත්‍රා කළ බව වාර්තා කොට ඇත.
මේ සියල්ලන්ගේ මුල් ලේඛන මේ වන විට අභාවයට ගොස් තිබුණද ග්‍රීක භුගෝල විද්‍යාඥයකු වූ ස්ට්රාබෝ (Strabo) (ක්‍රි. පූ. 64 – ක්‍රි. ව. 24) සහ රෝම ඉතිහාසඥයකු වූ ජ්‍යෙෂ්ඨ ප්ලිනීගේ (Pliny the elder) (ක්‍රි. ව. 23 – 79) කෘති තුළින් එම ඉපැරණි ලේඛන පිළිබඳ කරුණු හෙළිවෙයි.
ඒ අනුව ස්ට්රාබෝ විසින් රචිත භූගෝල විද්‍යාව (Geography) නම් කෘතිය ලංකාව පිළිබඳ මෙතෙක් ශේෂව ඇති පැරණිතම බටහිර මූලාශ්‍රය ලෙස සැලකෙයි.
ප්ලිනී විසින් රචිත ස්වභාවික ඉතිහාසය (Natural History) නමැති කෘතිය තුළ පෙර කී වියතුන්ගේ වාර්තා වලට අමතරව ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී ලංකාව රෝම අධිරාජ්‍යය සමඟ පැවැත් වූ වෙළෙඳ සම්බන්ධතා ගැනද කරුණු හෙළි වෙයි.
කොස් මොස් ඉන්ඩි කොප්ලියුස්ටස් (Cosmas Indicopleustes) නමැති දේශ ගවේෂකයාගේ Christian Topography කෘතිය අනුව ලංකාව ක්‍රි. ව. 500 පමණ කාලයේදී පවා පෙර අපර දෙදිග රටවල් අතර හුවමාරු මධ්‍යස්ථානයකි.
ලංකාව චීනය සමඟ පැවති සම්බන්ධතා ගැන කරුණු හෙළි වන පැරණිම වාර්තාව අඩංගු වන්නේ හන් රජ පෙළපතේ නිල වංශ කතාව වන Han Shu හෙවත් හන් පුස්තකයේය. ක්‍රි. පූ. 206 සිට ක්‍රි. ව. 23 දක්වා කාලය පිළිබඳ තොරතුරු ඇතුළත් එම ග්‍රන්ථයේ ලංකාව හඳුන්වා ඇත්තේ සිවෙන්ගුගුවෝ නමිනි.

දසවන හා එකොළොස් වන ශතවර්ෂ තුළ ජිවත් වූ පර්සියානුවන් වන බුසර්ග් ඉබන්, අල් බෙරුනි. මහමුද් ගර්දිසි ආදීන්ගේ වාර්තා මෙන්ම වීදුරු මාලිගාවේ වංශ කතාව (බුරුමය), ලන්නා වංශ කතාව, ප්රභාන්ග් වංශ කතාව (තායිලන්තය) ආදිය සහ කාම්බෝජ වාර්තා වලින්ද ලංකාවේ විදේශ සම්බන්ධතා ගැන කරුණු හෙළිවේ.
මීට අමතරව හියුං සාං (චීනය, ක්‍රි. ව. 602 – 669) ෆාහියන් භික්ෂුව (චීනය, ක්‍රි. ව. 337 – 422) මාර්කෝ පෝලෝ (ඉතාලිය, ක්‍රි. ව. 1254 – 1324) ඉබන් බතූතා (ක්‍රි. ව. 1304 – 1369, මොරොක්කෝව) ආදී සුප්‍රකට දේශ ගවේෂකයන්ගේ දේශාටන වාර්තා ආදිය ද මීට අදාළ වැදගත් මූලාශ්‍ර වෙයි.
මේ අනුව ලංකාව වසර තුන්දහසක පමණ කාලයක් තිස්සේ පෙර අපර දෙදිග යා කළ නැවතුමක් වූ අතර, ලෝකයේ විවිධ සංස්කෘතීන්ට විවර වෙමින් ඒවායෙන් පෝෂණය ලැබූ රාජ්‍යයක් විය. මෙය ලංකාව කුඩා දූපතක් යැයි සිතන්නට හුරු වී ඇති නව පරපුර විසින් හැදෑරිය යුතු අභිමානවත් ඉතිහාසයකි.
- ඉසුරු ප්‍රසංග



