දළදා වහන්සේගේ සියවස් 17ක ඉතිහාස කතාව

දන්ත ධාතුව ලක්දිවට වැඩම කරන ලද බව සැලකෙන්නේ අදින් අවුරුදු 1715 කට පෙර ක්‍රිස්තු වර්ෂ 310 වර්ෂයේදී එනම් කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි.ව. 301 – 328) රාජ සමයේදීය. ඊට පෙර දළදා වහන්සේ පැවති බව සැලකෙන ඉන්දියාවේ කාලිංග දේශය යනු වර්තමාන ඉන්දියාවේ ඔඩිෂා නම් ප්‍රාන්තයේ පිහිටා තිබූවකි.

ඉන්දියාවේ කාලිංග දේශයෙන් නැව් නැඟි හේමමාලා හා දන්ත කුමරු ලංකාවේ ත්‍රිකුණාමල ප්‍රදේශයට ගොඩ බැස අනතුරුව, අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයට ගොස් තිබේ. එය මුලින්ම කෙටි කලක් දන්ත ධාතුව තැන්පත් කර තිබූ ස්ථානය වන අතර, එකල ඉසුරුමුණිය හැඳින්වූයේ මේඝගිරි විහාරය යන නමිනි.

අනතුරුව අනුරාධපුරයේ ඉදි කළ දළදා ගේ ලෙස හැඳින් වූ විචිත්‍ර මන්දිරයක දන්ත ධාතුව තැන්පත් කොට තිබේ. පසුකාලීනව ලංකාවට ආ දේශ ගවේෂකයන් වන ෆාහියන් හා හියුං සියැං යන භික්ෂූන් වහන්සේලා මේ විශාල මන්දිරය ගැන සිය සටහන් තබා තිබේ.

ඊට කාලයකට පසු ක්‍රි.ව. 946 – 954 අතර කාලයේ රජ කළ හතර වැනි උදය රජුගේ කාලයේදී චෝල ආක්‍රමණිකයෝ අනුරාධපුරය ගිනිබත් කොට විනාශ කළහ. එකල කෙටි කලකට දළදා වහන්සේ අනුරාධපුරයෙන් පිටමං කර තිබූ අතර, පසුව රජකමට පත් හතර වන මිහිදු රජ (ක්‍රි.ව. 956 – 972) නැවත ගිනි ගත් දළදා මන්දිරය ප්‍රතිසංස්කරණය කොට එහි දළදාව තැන්පත් කර තිබේ.

මෙකී අනුරාධපුර යුගයේ පැවති දළදා මාළිගාව ලෙස හඳුනාගත් ස්ථාන කිහිපයක නටඹුන් ප්‍රමාණයක් අද ශේෂව තිබේ. එමෙන්ම මෙකල දළදා මන්දිර කීපයක් තිබූ බවටද මත පළව තිබේ. මේ පිළිබඳ බොහෝ අධ්‍යයන සිදුව තිබුණද මේ ස්ථානය කුමක්ද යන්න තවමත් විවාදාත්මක කාරණයකි.

අනුරාධපුරයේ අවසාන රජු වූ පස් වන මිහිදු රජුගේ සමයේදී (ක්‍රි.ව. 1001 – 1037) ලංකාවට සොලී ආක්‍රමණයක් එල්ල වූ අතර, එහිදී දළදා වහන්සේව ආරක්ෂා තකා රුහුණු රාජ්‍යයට ගෙන ගොස් තිබේ.

ඉන්පසු ක්‍රි.ව. 1055 දී ලංකාවේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වූ පළමු විජයබාහු රුහුණේ පළමුව රජකමට පත්විය. පසුව එතුමා දැවැන්ත සටනකින් සොලීන් පරාජය කොට 1070දි නැවත පොළොන්නරුවේ රාජ්‍ය පිහිටුවා එහි නව දළදා මැදුරක් ස්ථාපිත කළේය.

මෙකී පොළොන්නරුවේ දළදා මළුව යනු පුරාවිද්‍යාත්මක නටඹුන් රාශියක් සහිත අදටත් දැකගන්නට ලැබෙන ස්ථානයකි. මේ ස්ථානයේ ඇති දළදා ගෙය අටදා ගේ නමින් හැඳින්වෙන අතර, ඊට අමතරව නිශ්ශංකමල්ල රජු විසින් තැනූ හැටදා ගේ නමින් හඳුන්වන දළදා ගෙයකුත් මෙහි දක්නට ඇත. පොළොන්නරුවේ වටදා ගෙයද මේ පරිශ්‍රයේම පිහිටා තිබේ. මෙය සැලකෙනුයේ දළදා මාළිගාවක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකි පැරණිම ගොඩනැගිල්ල ලෙසය.

විජයබාහු රජුගේ අභාවයෙන් පස්සේ වෙලයික්කාර හමුදාව ලෙස හැඳින්වූ ද්‍රවිඩ කුලී හමුදාවක් දළදාවේ ආරක්ෂාව භාරව කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඔවුන් සොළී පාලන සමයේ ලංකාවේ පදිංචි වූ පිරිසක් වන අතර, දෙමළ බසින් රචිත වෙලෛක්කාර ශිලා ලිපියෙන් මේ කරුණු අනාවරණය වේ.

මහා විජයබාහු රජුගේ මරණින් පසු වසරක කාලයක් ලංකාව පාලනය කොට ඇත්තේ පළමු ජයබාහු රජ (ක්‍රි.ව. 1110 – 1111) විසිනි. ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ විවිධ නොමනා ක්‍රියා නිසා භික්ෂූන් වහන්සේලා දන්ත ධාතුව රුහුණු රාජ්‍යයට අයිති මොනරාගල ගලබැද්දේ උදුන්දොර ප්‍රදේශයට ගෙන ගෙන ගොස් තිබේ.

ක්‍රි.ව. 1153 – 1186 අතර කාලයේ පළමු පරාක්‍රමබාහු රජ පොළොන්නරුවේ රජවිය. ඒ රජතුමා විසින් දැවැන්ත යුද්ධයකින් පසුව රුහුණේ මානාභරණ රජුගේ මව වූ සුගලා දේවිය සතුව තිබූ දළදා වහන්සේ නැවත පොලොන්නරුවට වැඩමවා විශාල උත්සවයක් පවත්වා ඇති අතර, මේ උත්සවය ගැන කීමට චූල වංශයේ ගාථා 63ක් වෙන් කර තිබේ.

ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1215 – 1236 අතර කාලයේ අවුරුදු විසි එකක් ලංකාව පාලනය කළ කාලිංග මාඝ නම් කෲර ආක්‍රමණික පාලකයාගේ පාලන සමය ආරම්භ වූ අතර, මේ කාලයේදී කාලිංඝ මාඝ විසින් බෞද්ධයන්ට විරුද්ධව විශාල මර්දනයක් දියත් කරන ලදී. ඒ අනුව චාවිස්සර නම් මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කොටගත් භික්ෂූන් පිරිසක් විසින් දළදා වහන්සේව කොත්මලේ පුසල්පිටිය නම් ප්‍රදේශයට ගෙන ගොස් ඇති අතර, දළදා වහන්සේ එම ප්‍රදේශයේ සැඟවූ මෙකී භික්ෂූන් වහන්සේලා ජීවිතාරක්ෂාව තකා ඉන්දියාවට පළා ගොස් තිබේ.

ඉන්පසු 1232 වර්ශයේදී තුන් වන විජයබාහු රජ දඹදෙණියේ රජ වූ අතර, එතුමා රට හැර ගිය භික්ෂූන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කොට ඇත. එමෙන්ම කොත්මලේ සඟවා තිබූ දළදා වහන්සේ දඹදෙනියට ගෙනැවිත් දඹදෙණියේ බෙලිගල කන්ද නම් පර්වතය මුදුනේ ඉතාම ආරක්ෂිත ස්ථානයක විචිත්‍රවත් දළදා මාළිගයක් ඉදිකොට දළදා වහන්සේ ඒ ස්ථානයේ තැන්පත් කිරීමද මෙකල සිදුවිය. මේ ස්ථානය වර්තමානයේ හඳුනාගත නොහැකි වන අතර, පෘතුගීසි සමයේදී මේ මාළිගය විනාශ කළ බව සැලකේ. දළදා වහන්සේ වසර තිහක් මේ ස්ථානයේ තැන්පත් කොට තිබේ.

ඉන් පසුව කව් සිළුමිණ රචනා කළ දෙවැනි පණ්ඩිත පරාක්‍රම බාහු රජුගේ කාලයේ (ක්‍රි.ව. 1236 – 1270) දඹදෙනියේ තවත් දළදා මැදුරක් ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් අද ඒ ස්ථානයේ හඳුනාගත හැකිව ඇත්තේ නටඹුන් ඉතා සුළු ප්‍රමාණයකි.

එතැනින් පසුව දළදාව තැන්පත් කළ ඊළඟ ස්ථානය ලෙස සැලකෙනුයේ යාපහුව ප්‍රදේශයයි. යාපහුවේ වසර එකොළහක් රජ කළ පළමු බුවනකබාහු රජු යාපහුව පර්වතයක් ආශ්‍රිතව දළදා මාළිගයක් තනවා වසර 11ක් දළදා වහන්සේ ඒ ස්ථානයේ තැන්පත් කොට තිබූ බව කියැවේ. (ක්‍රි.ව. 1272 – 1284) මේ දළදා මන්දිරයේ නටඹුන් තවම ශේෂව ඇති අතර, මේ පිළිබඳ ජෝන් බෙලී සහ එච්. සී. පී. බෙල් යනාදීන් විසින් පරීක්ෂණ පවත්වා තිබේ.

මෙකී පළමු බුවනකබාහු රජුගෙන් පසු කාලයේ ආර්ය චක්‍රවර්තී නම් පාණ්ඩ්‍ය ආක්‍රමණිකයෙක් පැමිණ දළදා වහන්සේ පාණ්ඩ්‍ය දේශයට රැගෙන ගොස් තිබේ. ඉන්පසු බලයට පැමිණි තුන් වන පරාක්‍රම බාහු රජතුමා පාණ්ඩ්‍ය දේශයට ගොස් කුලසේකර නම් පාණ්ඩ්‍ය රජු හමුවී සාකච්ඡා කොට නැවත දළදා වහන්සේ ලංකාවට රැගෙන විත්, පොළොන්නරුවේ පැරණි දළදා මැදුරේ තැන්පත් කොට ඇත.

මීළඟට ක්‍රි.ව. 1293 – 1302 කාලයේ රජ කළ දෙවන බුවනකබාහු රජු කුරුණෑගල තවත් අලංකාර දළදා මන්දිරයක් ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් වුවද අද වන විට එහි නටඹුන් කිසිවක් දක්නට නැත.
මීළගට ගම්පළ යුගයේ රජ කළ තුන් වන වික්‍රමබාහු රජ (ක්‍රි.ව. 1357 – 1374) ගම්පොළ නියම්ගම්පාය ප්‍රදේශයේ තවත් දළදා මැදුරක් ඉදිකොට ඇති අතර, ගම්පල නගරය ආසන්නයේ පිහිටි නියම්ගම්පාය විහාරය මේ දළදා මැදුර පිහිටි ස්ථානය ලෙස සැලකේ. විගුලවත්ත සෙල් ලිපියෙන් මේ කරුණු අනාවරණය වන අතර, මේ විහාරස්ථානය තවම දැකගත හැක්කකි.

මීළගට එළඹෙන කෝට්ටේ යුගයේදී දළදා වහන්සේ කෝට්ටේ රාජධානියට වැඩමවා තිබේ. වර්තමාන ඇතුළුකෝට්ටේ ලෙස හදුන්වන ප්‍රදේශයේ අලංකාර දළදා මන්දිරයක් තිබූ බව අසන්නට ලැබෙන අතර, කෝට්ටේ යුගයේ ලියවුණු හංස, ගිරා, පරවි, සැලළිහිණි යන සන්දේශ කාව්‍ය හතරේම මේ දළදා මාලිගය ගැන ලියැවී තිබේ. සැළලිහිනි සන්දේශයේ කියැවෙන කරුණු අනුව මෙකී දළදා මැඳුර තුන් මහල් ප්‍රාසාදයකි. එහෙත් වර්තමානය වන විට මේ ස්ථානයේ නටඹුන් කිසිවක් හඳුනාගත හැකි වී නැත.

කෝට්ටේ යුගයේදී නැවතත් බුදු දහමට අතිශය අභාග්‍ය සම්පන්න කාලයක් උදා වූ අතර ඊට හේතු වූයේ පෘතුගීසි ආක්‍රමණයයි. පෘතුගීසීහු බෞද්ධ, හින්දු, ඉස්ලාම් ඇතුළු ලක්දිව පැවති සියලු ආගම් මර්දනය කළ අතර, ඔවුහු මහා පරිමාණයෙන් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර දැමූහ. එසේම එකී විනාශයන්ට උඩගෙඩි දුන් රූකඩ පාලකයෙක්ද එකල බලයට පත් වූ අතර, ඔහු නමින් දොන් ජුවන් ධර්මපාල නම් වේ.

මේ තත්ත්වය තුළ එකල දියවඩන නිලමේ ලෙස කටයුතු කළ හිරිපිටියේ දිවන රාළ විසින් දන්ත ධාතුව සීතාවක රජ කළ මායාදුන්නේ රජු වෙත රැගෙන ගොස් තිබේ. අනතුරුව රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන් ගලක් යට සඟවා දළදා වහන්සේ ආරක්ෂා කරගත් අතර එකී කුරහන් ගල දෙල්ගමුව රජමහා විහාරයේ තවමත් තැන්පත් කොට තිබේ. මෙකල පෘතුගීසීන් දළදාව විනාශ කළ බව ඔවුන්ගේ ලේඛකයන් විසින් ඇතැම් මූලාශ්‍රවල සටහන් කර තිබුණද එකල දළදාව දෙල්ගමුව විහාරයේ සඟවා ආරක්ෂා කරගැනීමට බෞද්ධයන් සමත්ව තිබේ.

මේ සියලු උවදුරුවලින් පසුව දළදා වහන්සේ මුල් වරට මහනුවරට වැඩමවා ඇත්තේ 1592 වසරේ රාජ්‍යත්වයට පත් පළමු විමලධර්මසූරිය රජතුමා (ක්‍රි. ව. 1592-1604) විසිනි. එතුමා විසින් මහනුවර ප්‍රථම දළදා මාලිගාව ඉදි කළද ඒ මාලිගාව පෘතුගීසින් විසින් විනාශ කොට තිබේ. ඉන් පසුව සෙනරත් රජුගේ කාලයේදී නැවතත් ආරක්ෂාව තකා දළදා වහන්සේව මැද මහනුවර විවිධ ප්‍රදේශවල සඟවා තැබීමට සිදුව තිබේ.

ඉන් පසුව පළමු දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක්‍රි. ව. 1635-1687) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත. ඒ දළදා මාළිගාව ලන්දේසීන් විසින් විනාශ කළ බව අසන්නට ලැබේ. ඉන් පසු ක්‍රි. ව. 1687 දී රජ වූ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් නැවතත් මහල් තුනකින් යුත් දළදා මන්දිරයක් ඉදි කළද ඒ දළදා මන්දිරයද කාලයත් සමඟ අභාවයට ගොස් තිබේ.

මේ අනුව වර්තමානයේ අපට දක්නට ලැබෙන දෙමහල් දළදා මන්දිරය ඉදි කරන ලද්දේ ක්‍රි. ව. 1707-1739 අතර කාලයේ රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසිනි. එතුමාගෙන් පසුව බලයට පැමිණි රජවරු මේ ස්ථානය තවදුරටත් සංවර්ධනය කොට ඇති අතර, අවසානයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් එම දළදා මාලිගයේ පත්තිරිප්පුව ඉදිකොට තිබේ.
නැවත 1803 වසරේ උඩරට රාජධානියට ඉංග්‍රීසි ආක්‍රමණයක් එල්ල වීම සමඟ ආරක්ෂාව තකා දළදා වහන්සේ ස්ථාන කීපයකට ගණනාවකට රැගෙන ගොස් තිබේ. හඟුරන්කෙත කිතුල්පේ විහාරය, අලුත් නුවර මහියංගන විහාරය, දුම්බර දෙගොල්දොරු විහාරය ආදිය මෙකල දළදාව සඟවා තැබූ ස්ථාන කීපයකි.

1815 ඉංග්‍රීසීන්ගෙන් එල්ල වූ ආක්‍රමණයේදී නැවත දළදා වහන්සේ කොත්මලේ පුසල්පිටිය කියන ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ. එහෙත් රාජ්‍ය බලය සඳහා දළදාවේ වැදගත්කම ගැන තේරුම් ගත් ජෝන් ඩොයිලි ප්‍රමුඛ නිලධාරීන් විසින් උඩරට ගිවිසුමෙන් පසු නැවත මහනුවරට දළදා වහන්සේ වැඩම කරවීමට කටයුතු කර තිබේ. අනතුරුව විශාල උත්සවයක් පවත්වා දළදාව නැවත දළදා මාලිගයේ තැන්පත් කොට තිබේ.

අනතුරුව වාර්තා වූ තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ 1818 කැරැල්ල සමයේදී දළදා වහන්සේ නැවත දළදා මාළිගයෙන් පිටතට ගැනීමට කැප්පෙටිපොළ නිළමේ ඇතුළු පිරිසක් කටයුතු කිරීමය. මෙය සිදුවූයේ මෙරට ප්‍රකට භික්ෂුවක් වූ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ මැදිහත් වීමෙනි. මීට හේතුව වූයේ සිංහලයන් යම් හෙයකින් කැරැල්ල ජයග්‍රහණය කළේ නම් නැවත රාජ්‍යත්වය ස්ථාපිත කිරීම සඳහා දළදාවේ අයිතිය කැරලිකරුවන් සතු විය යුතු වීමය.

එහෙත් 1818 නොවැම්බර් දෙවැනිදා මාතලේ කයිකාවල ප්‍රදේශයේදී සුමංගල හිමියන් ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් වූ අතර, ඒ අවස්ථාවේ උන්වහන්සේ සතුව රෙදි පොට්ටනි කීපයක් තිබූ බවත්, ඒ එක් පොට්ටනියක රන් කරඬුවක් තුළ සඟවා තිබූ දළදා වහන්සේව ඉංග්‍රීසීන් නැවත සිය භාරයට ගෙන තිබේ.
ඉන් පසු මේ දළදා වහන්සේ පැහැරගැනීමේ වරදට ඉංග්‍රීසීන් විසින් සුමංගල හිමියන්ට අධිකරණයෙන් දඬුවම් නියම කළ අතර, ඒ අනුව උන්වහන්සේව යාපනය බන්ධනාගාරයේ සිරගත කොට තිබේ. එහෙත් පසුව 1821 අප්‍රේල් 18 වැනිදා පොදු සමාවක් යටතේ උන්වහන්සේට නිදහස ලැබී තිබේ.

මේ සිදුවීමෙන් පසුව නැවත දළදා වහන්සේ වෙනත් ස්ථානයකට රැගෙන යාම සිදු නොවූ අතර, 1818 සිට වර්තමානය දක්වා අවුරුදු 200කට වැඩි කාලයක් දළදාව අඛන්ඩව මහනුවර දළදා මාලිගයේ තැන්පත් තිබේ.

ඒ අනුව මේ ගතවූ වසර 1700ක කාලය තුළ දළදා වහන්සේ සඟවා තැබූ ස්ථාන ගණනාවක් සහ එක් එක් කාලවල ඉදිකරන ලද දළදා මාළිගා නමයක පමණ ප්‍රමාණයක් ගැන තොරතුරු අසන්නට ලැබේ. ඇතැම් අවස්ථාවල දන්ත ධාතුව ලක්දිවෙන් පිටතට ගෙන ගිය අවස්ථා ගැනද කරුණු වාර්තා වේ.
වැදගත්ම කාරණය වනුයේ සියවස් දාහතක මෙකී දීර්ඝ කාලය පුරාවටම විටින් විට එල්ල වූ නොයෙක් ආකාරයේ සතුරු ආක්‍රමණ, තර්ජන ගණනාවක් මධ්‍යයේ ඒ සියල්ලට මුහුණ දෙමින් කෙසේ හෝ දළදා වහන්සේ ආරක්ෂා කරගැනීමට මෙරට භික්ෂූන් ඇතුළු බෞද්ධ ජනතාව සමත් වීමය.

එමෙන්ම දළදාව යනු මෙරට රාජ්‍යත්වයේ සංකේතය යන සම්මුතියද අද ඊයේ නිර්මාණය වූවක් නොව, එය අනුරාධපුර පොළොන්නරු යුගවල සිටම අඛණ්ඩව පැවත එන සම්ප්‍රදායකි. එය අපට අනන්‍ය අපේ දේශපාලනයේ අනන්‍යතාවකි. ආක්‍රමණිකයන්ට පවා ඒ අනන්‍යතාවට පිටුපා කටයුතු කළ නොහැකි වූ අතර, බි්‍රතාන්‍යයන්ට පවා දළදා වහන්සේගේ වැදගත්කම පිළි ගනිමින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට ඉහළම ගෞරවය ලබාදීමට සිදුවූයේ ඒ අනුවය.

ලක් ඉතිහාසය තුළ වර්ෂ 1700ක දළදා වහන්සේගේ ඉතිහාස කතාව අපට මේ ආකාරයෙන් සැකෙවින් පෙළ ගැස්විය හැකිය. මේ අනුව එදා සිට අද දක්වාම බොහෝ උවදුරු මධ්‍යයේ දළදා වහන්සේත් දළදා සංස්කෘතියත් ආරක්ෂා කර ගැනීමට මෙරට බෞද්ධ ජනයා සමත් වී තිබේ. එය කිසිවෙකුට බැහැර කළ නොහැකි ගැඹුරු ඓතිහාසික පදනමක් සහිත මහා සම්ප්‍රදායකි.

  • ඉසුරු ප්‍රසංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top