1977 ඔක්තෝබර් මස 21 වනදා පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා සුනිල් සාන්ත හමු වන්නට යන විට ඔහු ජීවත් වූයේ තහඩු වහලක් සහිත අතහැර දැමූ කුකුළු කොටුවකය. ඊට හේතුව වූයේ තම ප්‍රතිපත්ති නිසාම ගුවන් විදුලියේ රැකියාව අහිමිව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සුනිල් ශාන්තයන්ට සිදුව තිබීමය. රැකියාව අහිමි වූ පසු ඔහු දිවි ගැට ගසා ගත්තේ කරවල වෙළෙඳාම, වඩු වැඩ, ගුවන් විදුලි, පැට්‍රොමැක්ස්, ගෑස් ලාම්පු අලුත්වැඩියා කිරීම, බයිසිකල් සෑදීම වැනි අවිධිමත් රැකියාවල නිරත වෙමිනි.
බොහෝ දෙනා සරලව දන්නා ආකාරයට සුනිල් සාන්ත යනු ගායකයෙකි. සංගීතඥයෙකි. එහෙත් බොහෝ දෙනා ඔහු ගැන ගැඹුරු නොදන්නා කතාවක් තිබේ. ඒ දේශීය සංගීතයක අක්මුල් සොයායමින් අපේම වූ සංගීත සම්ප්‍රදායක් ගොඩනැගීම වෙනුවෙන් සුනිල් සාන්තයන් කළ සංස්කෘතික අරගලයේ කතාවය.

අපේම වූ සංගීත සම්ප්‍රදායක් තිබුණාද නැද්ද යන ශාස්ත්‍රීය ප්‍රශ්නය ගැන කවර වාද විවාද තිබුණද, සුනිල් සාන්තයන් දුෂ්කර වෘතයක පිහිටමින්, ප්‍රතිපත්ති පාවා නොදෙමින් අරගල කළේ ඒ සඳහාය.
1915 වසරේ අප්‍රියල් 04 වන දින ජාඇල රෝමානු කතෝලික පවුලක උපත ලැබූ සුනිල්ගේ මුල් නම වූයේ ජෝසප් ජෝන්ය. කුඩා කළ සිටම සංගීතයේ විවිධාකාර දක්ෂකම් පෙන්වූ ජෝසප් ජෝන් තරුණයා පාසලින් ඉවත් වීමෙන් පසු 1933දී මග්ගොන කතෝලික ගුරු විදුහලට ඇතුළත්ව, 1936 වසරේදී ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබීය. පසුව ඔහු 1939 වසරේදී සංගීතය ඉගෙනීම සඳහා ඉන්දියාවේ ශාන්ති නිකේතනය බලා ගියේය. ඉන් නොනැවතුන ඔහු භාත්ඛණ්ඩේ සරසවියට ඇතුළත්ව, එහි දක්ෂතම ශිෂ්‍යයා ලෙස ප්‍රථම පංති සාමාර්ථ්‍යයක්ද සහිතව, 1944දී ඔහු නැවත මෙරටට පා තැබුවේය. අනතුරුව ගුරු වෘත්තියට සමුදුන් සංගීතය ඔස්සේ ස්වාධීන ගමනක් යාමට තීරණය කළේය.
මේ කාලය වන විට ආනන්ද සමරකෝන් වැන්නෝ ස්වාධීන හෙළ සංගීත ආරක් පිළිබඳ අදහස් පළ කරමින් සිටියෝය. දේවාර් සූරියසේන, සූර්යකුමාර් මොල්ලිගොඩ වැන්නෝ උඩරට වන්නම්, ජන ගී හා පහත රට රබාන ආශ්‍රිත සංගීතය ඇසුරෙන් අපේම වූ සංගීතයක් සෙවීමේ පර්යේෂණයක නිරතව උන්හ. දේවාර් සූරියසේන කේම්බි්‍රජ් සරසවියේ නීති උපාධිය පසෙක දමා පූර්ණ කාලීන ලෙස පරීක්ෂණයේ නිරතව සිටියේය.
මේ අතර ජෝසප් ජෝන්ට කුමරතුංග මුනිදාසයන් හමුවීම ඔහුගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් විය. තම සමීප හිතවතුන් වූ ගරු මෝසැසි පෙරේරා පියතුමන් හා ගරු මර්ලින් ජයකොඩි පියතුමන් හරහා ජොසප් ජෝන් හෙළ හවුල හා එක් විය.
බටහිර සහ පෙරදිග සංගීතය හොඳින් දැන ඒ ඔස්සේ අපගේම සංගීතයක් පිළිබඳ ඉව අල්ලමින් සිටි ජෝසප් තරුණයාට හෙළ හවුලේ ඇසුර මනා ශක්තියක් වූ අතර, ජෝසප් ජෝන් නාමය මැරී සුනිල් සාන්ත උපත ලැබුයේ ඒ අනුවය.
සුනිල් සාන්තයන්ට අරිසෙන් අහුබුදු, රැයිපියෙල් තෙන්නකෝන්, හියුබත් දිසානායක වැනි භාෂා ප්‍රබෝධයට උර දී සිටි යෝධ සෙන්පතියන්ගේ ඇසුර හෙළ හවුල තුළ හිමි විය. මෙරට නොනිල ජාතික ගීය බඳු වූ “ලංකා ලංකා පෙම්බර ලංකා” ගීතය අරිසෙන් අහුබුදු අතින් ලියැවී සුනිල් සාන්තයන් අතින් සංගීතවත් වී ගැයෙනුයේ ඒ හරහාය.

1952 වසරේදී ගුවන්විදුලි සංගීත ශිල්පීන් පරික්ෂාවට ලක්කොට ඔවුන් ශ්‍රේණිගත කිරීමට රජය තීරණයක් ගත්තේය. ඒ සඳහා ආරාධනා කරන ලද්දේ ඉන්දියාවේ සිටි ජ්‍යෙෂ්ඨතම උත්තර භාරතීය සංගීතඥයා සහ ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයේ ප්‍රධානියා වූ රතන ජංකර් පඬිතුමාටය.
එවක ගුවන්විදුලි ගායකයකු හා සංගීත ශිල්පියකු ලෙස කටයුතු කළ සුනිල් මෙයට විරෝධය පළ කර සිටියේය. ඔහුගේ තර්කය වූයේ උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතය පදනම කොටගෙන මෙරට සංගීත ශිල්පීන් ශ්‍රේණිගත කිරීමත්, එය මෙරට සංගීතයේ පදනම ලෙස සැලකීමත් නිවැරදි නොවන බවය. මේ මත ගැටුම දුරයාමේ ප්‍රතිඵලය වූයේ එම පරීක්ෂණයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ සුනිල් සාන්තයන්ට ගුවන් විදුලියේ රැකියාව අහිමි වීමය.
ගුවන් විදුලියෙන් ඉවත්ව දුෂ්කර රැකියාවල නිරත වෙමින් සංගීතය පිළිබඳ පොත් හා ලිපි සම්පාදනය කරමින් සිටින සුනිල් සාන්තට සිනමා අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවූ අතර, ඒ 1956 වසරේදී ලෙස්ටර් නිර්මාණය කළ පෙරළිකාර චිත්‍රපටය වූ රේඛාවේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සුනිල් සාන්තය.
“ඕලු නෙලුම් නෙරිය රඟාලා” “වෙසක් කැකුළු අතු අග හිඳ’ “සීගිරි ළඳකගෙ මල්වට්ටියෙ ලා” “සුදු සඳ එළියේ” ආදී දකුණු ඉන්දීය බයිස්කෝප් ආකෘතියෙන් මිදුණ, එමෙන්ම දේශීය සංගීතයක සලකුණු සහිත ගීත නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
සුනිල්ගේ ගීත නිර්මාණවල තිබුණේ පල්ලියේ සංගීතය බවට ඔහුට විරුද්ධ බොහෝ අයගේ මතය වුවද ඒ මතයට එරෙහිව ශාස්ත්‍රීය පිළිතුරු සැපයූ අයද විරල නොවූහ.
යළි 1967 වසරේ යළි සුනිල් සාන්තයන්ට ගුවන් විදුලියේ දොරටු විවර වුවද ඒ වනවිටත් මෙරට හින්දුස්ථානී සංගීතය තහවුරු වී සුනිලුන් ඇතුළු කණ්ඩායමේ ගෙල සිඳ දමා තිබිණ.
සුනිල් සාන්තයන් යනු එවක ගුවන් විදුලිය හෙවත් රේඩියෝ සිලෝන්හි පළමු පටිගත කළ ගීතය ලියා, සංගීතය නිර්මාණය කර, ගායනා කළ ශිල්පියා විය. අදටත් ජනප්‍රිය “ඕලු පිපීලා” නම් වන එම ගීතය සම්පූර්ණයෙන් ඉන්දීය රාගධාරී සංගීතයෙන් මිදුණා වූ නව සංගීත රටාවකට අයත් වූවකි.
මීට අමතරව “දියගොඩ සැමැතැන කිරි ඉතිරේ” “වළාකුලෙන් බැස සමන් කුළත් වැඳ” ”එම්බා ගංගා” “බෝවිටියා දං පලුකන් වාරේ” “සුවඳ රෝස මල් නෙලා” “කෝකිලයන්ගේ කෝකිල නාදේ” “මිහිකත නලවාලා” ආදී ගී විමසා බැලීමෙන් ඔහුගේ අනන්‍යතාව කුමක්ද යන්න වටහාගත හැකිවනු ඇත.
හෙළ සංගීතයේ බොහෝ පෙරළි කළ, බොහෝ පෙරළි කිරීමට සැලසුම් සකස් කළ මේ යෝධ මිනිසා 1981 වසරේ දිවියෙන් සමුගන්නා විට කළ නිර්මාණ ප්‍රමාණය ගණනින් අතලොස්සකි. නමුත් ඒ සියල්ල පර්යේෂණාත්මක හා නව මගක් සෙවූ මිනිසකුගේ අනන්‍යතා ගැබ් කරගත් නිර්මාණ බව අප අමතක කළ යුතු නැත.



