1937 අගෝස්තු 28 වැනිදා චීනයේ ෂැන්හයි නගරයේ දුම්රිය ස්ථානයක හැම තැනම විසිරුණු මළ සිරුරු හා සුන්බුන් මැද තුවාල ලැබූ දරුවෙකු මේ ආකාරයට හඬා වැලපෙමින් සිටියා.
දරුවාට මේ ඉරණමට මුහුණ දීමට සිදුවුණේ එදින සවස දෙකට පමණ ජපන් ආක්‍රමණික හමුදාව ෂැන්හයි නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පස්සේ. ඒ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
එතකොට මේ දරුවා කවුද? දරුවාගේ දෙමාපියන් කවුද? ඒ ගැහැනු දරුවෙක්ද? පිරිමි දරුවෙක්ද? මේ සිදුවීමෙන් පස්සේ දරුවාට වුණේ මොකක්ද? වගේ බොහෝ ප්‍රශ්නවලට අද දක්වාම නිශ්චිත පිළිතුරු ලැබී නැහැ.
සමහරු දරුවා මොහොතකින් එතැනම මිය ගිය බවත්, ප්‍රතිකාර සඳහා ගෙනිහින් පසුව මිය ගිය බවත්, දරුවාගේ මව ඒ ස්ථානයේම මිය ගොස් සිටි බවත්, පියා පැමිණ දරුවා ගෙන ගිය බවත් ආදී විවිධ කතා ඒ සම්බන්ධව අහන්න ලැබෙනවා.
මේ ඡායාරූපය ලබාගෙන තිබුණේ චීන ජාතිකයෙකු වූ එච්. එස්. වොන්ග් විසින්. ඔහු ෂැන්හයි නගරයේ කැමරා අලෙවි සැලක් පවත්වාගෙන ගිය අයෙක්. ඒ වගේම යුද්ධයට අදාළ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගනිමින් ඒවා ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කිරීමත් ඔහු සිදු කළා.
ඒ ආකාරයට කෙටි කාලයක් තුළ මේ ඡායාරූපය ලෝකය පුරාම මහා ආන්දෝලනයක් ඇති කළා. Bloody Saturday නමින් ප්‍රකට වූ මේ ඡායාරූපය ජාත්‍යන්තර සඟරා, පුවත්පත් ගණනාවක පළ වුණා.
1930 දශකය කියන්නේ අන්තර්ජාලය වැනි දේ තියා රූපවාහිනී සේවාවන්වත් සාර්ථකව ක්‍රියාත්මක වූ කාලයක් නෙමෙයි. ඒ කාලේ රූපවාහිනිය පවා තිබුණේ ප්‍රාථමික මට්ටමේ.
එවැනි කාලයක වුණත් මුද්‍රණයෙන් පළවූ මාධ්‍ය ඔස්සේ මාසයකට අඩු කාලයක් තුළ මේ ඡායාරූයේ පිටපත් මිලියන 136කට වැඩි ප්‍රමාණයක් ලෝකය පුරා සංසරණය වූ බව පැවසෙනවා.
ඒ අනුව මෙය චීනයට එරෙහිව ජපන් ආක්‍රමණිකයා දියත් කළ කෲර ආක්‍රමණයේ තරම ගැන ලෝකය පුරාම දැවැන්ත ජන මතයක් නිර්මාණය කිරීමට හේතු වූ ඡායාරූපයක්.
මේ ඡායාරූපය නිසාම බටහිර රටවල් ඇතුළු ලෝකය පුරාම ජපානයේ කෲරත්වයට එරෙහිව දැවැන්ත විරෝධතා පැන නැඟුණා. චීනයට ලෝකයේම අනුකම්පාව හිමි වුණා. චීනයට මානුෂීය ආධාර සපයන්න රටවල් ගණනාවක් ඉදිරිපත් වුණා.
මේ කැලඹීම විරෝධය කොතෙක් බලවත් වුණාද කිවතොත්, මේ ඡායාරූපය ව්‍යාජ ලෙස දරුවෙකු යොදා රූපගත කළ එකක් බව කියමින් ඊට එරෙහිව දැවැන්ත ප්‍රචාරයක් ගෙන යාමට පවා ජපානයට සිදුවුණා.
ජපානය එතැනින් නතර නොවී මේ ඡායාරූපය ලබා ගත් ශිල්පියාගේ හිස වෙනුවෙන් ඩොලර් 50000ක ත්‍යාගයක් ලබාදීමටද තීරණය කොට තිබුණා.
ඔහු මේ ආකාරයට යුද්ධය පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කරන්නෙකු බවට ජපානය ඔහුට චෝදනා කළා. මේ නිසාම ජපානයේ තර්ජනවලින් දිවි බේරා ගැනීමට මේ ඡායාරූප ශිල්පියාට තම පවුලේ අය සමඟ හොංකොං වෙත පලා යාමට පවා සිදුවුණා. මේ ඡායාරූපය ව්‍යජ එකක් වුණත් නැතත් මෙයින් සංකේතවත් වන ආකාරයේ බිහිසුණු ජන සංහාර ජපානය ඒ යුගයේ චීනය තුළ සිදු කළා.
කොහොම වුණත් මේ යුද්ධය පහසුවෙන් අවසාන වුණේ නෑ. එය තව වසර අටක් ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසානය දක්වාම ඉදිරියට ගියා.
එවකට චීනයේ පාලන බලය හෙබ වූ කූඕමින්තාං පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ මැදිහත් වීමෙන් චීන ජනතාව මේ ආක්‍රමණයට එරෙහිව දිවි හිමියෙන් සටන් වැදුණා. ඔවුන් සටන් කළේ දේශීයව නිෂ්පාදනය කරගත් නොදියුණු අවි ආයුධවලින්. මේ නිසාම නවීන යුද අවි ආදී පහසුකම් සහිත ජපන් හමුදා හමුවේ ඔවුන්ගේ ජීවිත ලක්ෂ ගණනක් ඔවුන්ට අහිමි වුණා.
කොහොම වුණත් ඒ සියලු කතා මැද එදා මේ නාඳුනන දරුවාගේ ඡායාරූපය ලෝක පරිමාණව ජපාන ආක්‍රමණයට එරෙහි තීරණාත්මක සාධකයක් බවට පත් වෙලා තිබුණා.
චීනය තව නොබෝ දිනකින් ජපන් ආක්‍රමණිකයා පැරදවීමේ සටනේ 80 වැනි විජයග්‍රහණය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නියමිතයි.
ඒ ජයග්‍රහණය පසුපස මහා කැපවීමෙන් සටන් වැදුණු සටන්කාමීන්ගේ පරිත්‍යාගය වගේම මේ වගේ නාඳුනන දරුවන් අචේතනිකව හෝ ලෝකයට කළ මහා බලපෑමත් පවතින බව බැහැර කරන්න බැහැ.
සටහන – Isuru Prasanga



