කතාව නොදන්න කෙනෙකුට මේ පින්තූරේ මුකුත් විශේෂත්වයක් පේන්නේ නෑ. මොනවා හරි හට්ටි වළං ටිකක් කියලා හිතෙයි.
හැබැයි විස්තර ඇහුවොත් මේ හට්ටි මුට්ටි පිටිපස්සේ තියෙන්නේ ඕන කෙනෙකුට පුදුම හිතෙන කතා ගොඩක්. එකක් නෙමෙයි කතා පෝලිමක්.
ඇත්තටම මේ මුට්ටි හදලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 700 – 400 අතර කාලේ. ඒ කියන්නේ විජය රජ්ජුරුවෝ ලංකාවට ආවා කියන කාලයටත් වඩා පරණ මුට්ටි මේ අතර තියෙන්න පුළුවන්.
ඒ කියන්නේ මේවා අවුරුදු 2700ක් විතර පරණයි. විවිධ හැඩයෙන් හා පාටින් යුත්, කුඩා හා විශාල මේ මැටි භාජන අයිති වෙන්නේ ලංකාවේ ලිඛිත ඉතිහාසයෙන් පෙර යුගයට. ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයට.
ඒ කාලේ සකපෝරුවෙන් හා අතින් මැටි බඳුන් තනා ඒවා පුළුස්සා භාවිතා කිරීමේ තාක්ෂණය අපේ රටේ තිබිලා තියනවා.
මේවා හම්බ වුණේ දඹුල්ල ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියේ කළ කැණීම්වලින්. මෙවැනි මැටි බඳුන් සිය ගාණක් ඒ ස්ථානයෙන් හමුවී තිබෙනවා. 1970 දි මුලින්ම සොයාගත් මේ සුසාන භූමිය හෙක්ටයාර 18ක් පුරා පැතිරී තිබෙන එකක්.
ඇත්තටම මේ පින්තූරවල තියෙන්නේ කැණීම්වලින් හමුවුණු ඇත්තම මැටි භාජන නෙමෙයි. ඒවාට සීයට සීයක් හැඩයෙන් ප්‍රමාණයෙන් සමානව ප්‍රදර්ශනය සඳහා හදපු අනුරූ තමයි මේ තියෙන්නේ. මේවායේ ඇත්තම භාජනවලින් කොටසක් මේ වෙද්දි සීගිරිය කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. තව කොටසක් තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල භාරයේ.
එතකොට ඒ කාලේ මේ භාජන භාවිතා කරලා තියෙන්නේ මැරිච්ච මිනිස්සු ආදාහනය කරපු භෂ්මාවශේෂ භාජන ඇතුළට දාලා ගල් පුවරුවලින් හදපු සොහොන්වල තැන්පත් කරන්න.
ඊට අමතරව මේ මිනිස්සු භාවිතා කරපු විවිධ ආභරණ, ඊතල වැනි ආයුධ වගේ දේවලුත් මේ භාජනවල දාලා සොහොන් බිමේ තැන්පත් කරලා තියනවා. ඒවා ඒ කාලේ තිබුණු පුරාණ සුසාන චාරිත්‍ර.
එතකොට මුලින්ම 1970, ඉන් පසු 1988 සහ අවසානයට 2015 වසරේ කළ කැණීම්වලින් මෙවැනි මැටි භාජන සහිත ශිලා සුසාන හැට දෙකක් පමණ මේ වන විට සොයාගෙන තිබෙනවා.
මේ සුසාන භූමිය පාවිච්චි කරපු මිනිස්සු ජීවත් වුණා කියලා සැලකෙන ජනාවාස භූමිය ගැනත් මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා.
ඒ වගේම පසුකාලීනව නිවාස ඉදිකර තිබීම වගේ හේතු නිසා හෙක්ටයාර 18ක මුළු භූමියම කැණීමට ලක් කොට නැහැ. හැබැයි සුසානයට අයිති භූමි ප්‍රදේශය හෙක්ටයාර 18ක් කියලා හඳුනාගෙන තිබෙනවා.
එතකොට ඔය විජය රජතුමා ලංකාවට ආවා කියන කාලයට කලින් ලංකාවේ ජීවත් වුණු මිනිස්සු කරපු වැඩ ගැන කරුණු ගණනාවක් මේ කැණීම්වලින් අනාවරණය වී තිබෙනවා.
ඒ අතරින් පුදුම හිතෙන තව කාරණයක් තමයි ඒ කාලේ මිනිස්සු ශරීර අලංකාර කිරීම සඳහා භාවිතා කරපු විවිධ වර්ණයෙන් යුත් පබලු මාල. එවැනි මාල ගණනාවක් මේ ස්ථානයේ කැණීම්වලින් හමුවී තිබෙනවා. ඒවා වෙන වෙනම කතා කළ යුතු මාතෘකා.
දඹුල්ල නගරයේ ඉඳලා කොළඹ පැත්තට එනකොට ඒ ප්‍රධාන පාර අයිනේ තමයි ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමිය පිහිටා තිබෙන්නේ. පාර අයිනේ දැවැන්ත නාම පුවරුවක් තියන නිසා ඕන කෙනෙකුට පහසුවෙන් තැන හොයාගන්න පුළුවන්.
ඒ නිසා ඒ පැත්තේ ඇවිදින්න ගියොත් මේ ඉතාම වැදගත් ස්ථානය නරඹන්න යන්නත් අමතක කරන්න එපා. මේ ගැන තව විස්තර ඉදිරියේදී කතා කරමු.



