ටජ් මහලටත් වඩා වටිනා ඉන්දියාවේ සැබෑම ආදර සිහිවටනය

👉 මේ පින්තූරයේ සිටින සුවිශේෂී පුද්ගලයා ගැන ඔබ මේ වන විටත් කරුණු අසා තිබෙන්නට ඉඩ තිබේ.

👉 1934 වසරේ ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ, ගයා දිස්ත්රික්කයේ, ගෙහ්ලර් නම් ගම්මානයේ උපත ලැබූ ඔහු නමින් දසරත් මන්ජි නම් වෙයි. පාසලෙන් කට්ටි පැන මිනිරන් පතල්වල වැඩට ගිය ඔහු සාමාන්ය කම්කරුවෙකු ලෙස ජීවිකාව ගත කළේය.

👉 1959 වසරේ දිනක ඔහුගේ බිරිඳ වූ ෆල්ගනි දේවි කන්දකින් වැටී බරපතළ තුවාල ලැබුවාය. එහෙත් වෛද්යවරයෙක් සිටියේ කිලෝ මීටර් 55ක දුරිනි. මේ අධික දුර ප්රමාණය නිසා නිසි වේලාවේ නිසි ප්රතිකාර ලබාදිය නොහැකිව ඇය මරණයට පත් වූවාය. ඒ වන විට ඇය එක් දරු මවකි.

👉 ඉක්මනින් ආසන්න නගරය වූ වාසිර්ගනී වෙත යාමට බාධාවක් වූයේ මන්ජිගේ ගම්මානයේ පිහිටා තිබූ දැවැන්ත කළු ගල් සහිත කඳුගැටයකි. මේ කන්ද කපා දමා ඒ මැදින් මාර්ගයක් තැනීමට මන්ජි තීරණය කළේ බිරිඳගේ වියෝවෙන් ඔහු තුළ ඇති වූ බරපතළ කම්පනය නිසාය.

👉 1960 වසරේදී ගල් කටුවක්, මිටියක් වැනි ආයුධ අතින් ගත් ඔහු මේ තනිවම කන්ද කැපීමේ කටයුත්ත ආරම්භ කළේය. එවකට ඔහුට වයස අවුරුදු විසි හයකි.

👉 අවට සිටින සියලු දෙනා පිස්සෙක් යැයි ඔහුට අවමන් කළද ඔහු තම කටයුත්ත නතර කළේ නැත. ඔහු පුරා අවුරුදු විසි දෙකක්, එනම් 1982 වසර වන තුරු මේ කන්ද සමඟ සටන් කළේය. අවුරුදු 26ක තරුණයෙක්ව ආරම්භ කළ කටයුත්ත අවසාන වූයේ ඔහුට වයස අවුරුදු 48 දීය.

👉 ඔහු විසින් කපා දැමූ කඳු කොටසේ දිග ප්රමාණය මීටර් 110කි. පළල මීටර් 9කි. උස මීටර් 7කි. මීටර් 110ක් දිග මේ කළුගල් කොටස කඩා දැමීම සඳහා ඔහුට වසර පුරා විසි දෙකක් දැඩි සේ වෙහෙසීමට සිදුවිය.

👉 කන්ද ඉවත් කිරීමේ ප්රතිඵලයක් ලෙස ගෙහ්ලර් ගමේ සිට වාසිර්ගනී නගරය දක්වා ඇති දුර කිලෝමීටර් 40කින් අඩු විය. කලින් කිලෝ මීටර් 55ක් ගෙවා යා යුතු මේ මාර්ගයේ අලුත් දුර වූයේ කිලෝමීටර් 15ක් පමණි.

👉 මන්ජි කැපූ පාර දියුණු මට්ටමේ පාරක් නොවුණද මෝටර් සයිකල්, පාපැදි, වැනි සරල වාහන ගමන් කිරීමට හා හදිසි අවස්ථාවක රෝගියෙකු ගෙන යාම වැනි කටයුතුවලට එයින් සැලසුණේ විශාල පහසුවකි. ඔහුට පිස්සෙකු යැයි බැණ වැදුණු බොහෝ දෙනා පසුව මේ මාර්ගයෙන් ප්රයෝජන ලැබූහ.

👉 පසුකාලීනව රජය මන්ජි කළ කාර්යභාරයේ වැදගත්කම වටහා ගෙන, ඔහු තැනූ පාර ප්රධාන පාරක් ලෙස දියුණු කිරීමට කටයුතු කළද ඒවා සිදුවූයේ බොහෝ පමා වී මන්ජි ජීවිතයේ සැන්දෑ සමය ගෙවමින් සිටි කාලයේදීය.

👉 2007 වසරේ අගෝස්තු 17 වැනිදා, වයස අවුරුදු 73දී දසරත් මන්ජි පිළිකා රෝගයකින් මරණයට පත් විය. බිහාර් ආණ්ඩුව ඔහු වෙනුවෙන් රාජ්ය ගෞරව සහිත අවමංගල්ය උත්සවයක් පැවැත්වීය.

👉 ඉන්පසු මන්ජිගේ කතාව තේමා කරගෙන 1998, 2011, 2015 යන වසරවල දී කන්නඩ චිත්රපට දෙකක් සහ ජනප්රිය හින්දි චිත්රපටයක් නිර්මාණය විය. ඒ අතරින් 2015දී නිර්මාණය වූ මවුන්ටන් මෑන් චිත්රපටය ලංකාවේ බොහෝ දෙනා අතරද ප්රසිද්ධියට පත් වූවකි.

👉 2014 දී සුප්රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් මන්ජිගේ පුත්රයා වූ බගිරත් මන්ජි හා ඔහුගේ බිරිඳ වූ බසන්ති දේවි මුණ ගැසීමට ගියේය. මන්ජි ආදරය වෙනුවෙන් කන්ද කපා තැනූ මේ මාවත ටජ් මහලටත් වඩා වටිනා ආදර සිහිවටනයක් බව අමීර් ඛාන් එහිදී ප්රකාශ කළේය.

👉 එය සැබෑවක් වන්නේ බලවත් රජෙකු තම බල පරාක්රමය පෙන්වීම වෙනුවෙන් බලය යොදවා ඉදිකළ සිහිවටනයකට වඩා අන්ත දුප්පතෙකු අනෙකාගේ පොදු යහපත උදෙසා සිය ජීවිත පරිත්යාගයෙන් ඉදි කළ මේ සිහිවටනය ආදරයේ සැබෑම අර්ථය ලොවට හඬගා කියන බැවිනි.

👉 2016 වසරේදී ඉන්දියාව මන්ජි වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු කළේය.
අද දසරත් මන්ජිගේ ප්රතිමා ඇතුළු ඔහු සිහි කිරීම වෙනුවෙන් ඉදිවූ සිහිවටන බොහෝය. අදාළ මාර්ගයට පිවිසෙන දොරටුව නම් කර ඇත්තේද දසරත් මන්ජිගේ නමිනි.

👉 එහෙත් ඔහු වෙනුවෙන් තැනුනු ජනප්රිය චිත්රපට ඇතුළු මේ කිසිවක් සියැසින් දැක ගැනීමට දසරත් මන්ජිට අවස්ථාව නොලැබිණි. ඒ සියල්ල සිදුවූයේ ඔහුගේ මරණින් පසුව වීම ඊට හේතුවයි. ජීවත්ව සිටි කාලයේදී ඔහු කළ කටයුත්තේ වැදගත්කම වටහාගෙන ඔහුට ගෞරව දැක්වීමට ඉදිරිපත් වූ පිරිස ඉතා අල්ප විය.

👉 ඔහු 1982 දී කන්ද කපා පෑදූ මාර්ගය දියුණු කිරීම පවා සිදුවූයේ බොහෝ කල් ගත වූ පසුවය. එහෙත් ඔහු එදා තනිව පාදා දුන් මාර්ගයේ අද දහසක් දෙනා ගමන් කරති. එදා ඔහුව ගණනකට නොගත් දේශපාලනඥයෝ අද ඔහුගේ පිළිරුවට නමස්කාර කරති. ඇතැම් විශිෂ්ට පුද්ගලයන්ගේ ඉරණම ඉතිහාසයේ ලියැවෙනුයේ ඒ ආකාරයටය.

– ඉසුරු ප්රසංග 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top