ලංකාවේ අපට නොතේරෙන ඉරාන දේශප්‍රේමයේ කතාව

👉 සිගරට් කොටවලින් අල් කමෙයිනිගේ පින්තූර පුච්චන ලස්සන ඉරාන තරුණියන්ගේ ඡායාරූප පහුගිය කාලේ සමාජ මාධ්යවල සෑහෙන සංසරණය වුණා.

👉 සිගරට් බීම සහ නිරුවතින් සිටීම මානව ශිෂ්ටාචාරයේ ඉහළම ජයග්රහණ විදිහට සලකන ලංකාවේ දීන රැඩිකල් ප්රජාව ඉතාම උනන්දුවෙන් මේවාට ප්රතිචාර දක්වමින් හිටියා.

👉 ඊට පස්සේ මේ විරෝධතාවලට ආපු අහිංසක මිනිස්සු තිස් හතලිස් දාහක් පාලක රෙජීමයෙන් මරා දාපු බවට ව්යාජ පුවත් හැමතැනම පැතිරුණා.

👉 හැබැයි උද්ඝෝෂකයන්ගේ සැබෑ ක්රියාකාරකම් හා ඔවුන්ට අනුබල දුන් අය ගැන කවුරුත් කතා කළේ නැහැ.

👉 කෙසේ වුවත් ඉරානයට අමෙරිකානු ප්රහාර එල්ල වීමත් එක්ක මේ තත්ත්වය සම්පූර්ණයෙන් උඩු යටිකුරු වුණා.

👉 ඒකත් එක්ක පුම්බා පෙන්වූ ආණ්ඩු විරෝධී ජන රැල්ල නිකම්ම හේදිලා ගියා. හේදිලා ගිහින් ඉරාන පාලනයට පක්ෂ මිනිස්සු ලක්ෂ ගණනින් පාරට බහින්න පටන් ගත්තා.

👉 ඇත්තටම එතකොට තමයි ඇත්තම ජනතා අරගලය පටන් ගත්තේ… මොකද මේ පාරට බැසීම කියන්නේ රෙජීම් චේන්ජ් කරන්න පාරට බහින එක වගේ දෙයක් නෙමෙයි.

👉 රෙජීම් චේන්ජ් කරන අරගලවලට බලවත් රටවලින් හම්බවෙන තල්ලුව ගැන සහ ඉරානය වගේ රටකට ඒ තල්ලුව කොයි තරම් ප්රබල විය හැකිද කියන එක ගැන මෙතෙන්දි අමුතුවෙන් මතක් කළ යුතු නැහැ.

👉 හැබැයි ඉරාන පාලනය රැකගැනීම වෙනුවෙන් මිනිස්සු පාරට බැස්සේ ඔවුන්ට එල්ල වූ බාහිර බලපෑම් නිසා නෙමෙයි.

👉 ඒ වගේම ඒ පාරට බැස්සේ කොයි මොහොතේ හෝ ගුවනින් එල්ල වෙන මිසයිල ප්රහාර හරහා තමන් අළු දූවිලි බවට පත්වෙයිද කියන දරුණු ජීවිත අවදානමත් අතට අරගෙන.

👉 ඒක රෙජීම් චේන්ජ් විරෝධතාවකට පොලීසියෙන් එල්ල වෙන ප්රහාරයකට වඩා සිය ගුණයක් දරුණු ජීවිත අවදානමක්.

👉 ඉරාන නායකයන් ඝාතනය කළ අවස්ථාවල වගේම ඉරානයේ බාලිකා පාසලට ප්රහාරයක් එල්ල වූ අවස්ථාවේත් හිතාගන්න බැරි තරම් විශාල ජනතාවක් පාරට බැස්සා.

👉 ඒ වගේම පසුගිය දිනවල ඉරානයේ පාලම්, විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කොට අමෙරිකානු ප්රහාර එල්ල වන විට මිනිස්සු දහස් ගණනින් ඒ ස්ථානවලට රැස්වෙලා ජාතික කොඩි ඔසවමින් විරෝධය පළ කරන්න ගත්තා.

👉 රට වෙනුවෙන් හමුදාවට බැඳෙන්න කළ යෝජනාවට හිතූ ප්රමාණයටත් වඩා මිලියන ගාණක ජනතාවක් ප්රතිචාර දක්වා තිබුණා.

👉 මේ මිනිස්සු නම් මැරෙන්න බය නැති යක්කු වගේ පුදුමාකාර ජාතියක්… මේවා දැකපු හැමෝම ඒ වගේ කතා කියන්න පටන් ගත්තා.

👉 අද ලංකාවේ අතිබහුතරයක් මිනිස්සු ඊනියා මුස්ලිම් විරෝධය නොතකා ඉරානයට සහය දීමේ පිළිවෙතක් අනුගමනය කරන එක සතුටට කරුණක්.

👉 ඇස් පනාපිට පේන අසාධාරණය නිසා ඒ ආකාරයෙන් ඔවුන් ඉරානයට පක්ෂ වෙනවා ඇති. හැබැයි ඒ මොනවා වුණත් තවමත් අපේ රටේ බොහෝ දෙනාට ඉරානය වැනි රටවල සමාජ පසුබිම හෝ ඒ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය කියවා ගැනීමට හැකියාවක් නැහැ.

👉 අඩුම තරමේ ඉරානය යනු තවමත් පර්සියානු සංස්කෘතියේ දායාද සජීවීව පවතින රටක් මිස හුදු අරාබි රටක් නොවන බවවත් අපේ රටේ බොහෝ දෙනා දන්නේ නැහැ.

👉 අපි බොහෝ දෙනා ඉරානය ගැන දන්නේ බටහිර මාධ්ය ඇතුළු ගෝලීය මතවාදී බලවතුන් විසින් ඉරානය ගැන ලෝකයට කියන පට්ටපල් බොරු පමණයි.

👉 අන්තවාදය අන්තවාදය යන්න ඔහේ මතුරනවා හැර ඉරානයේ සැබෑ සමාජ පසුබිම, නිෂ්පාදන ආර්ථිකයේ දියුණුව, විද්යාවේ තාක්ෂණයේ දියුණුව, අධ්යාපනයේ දියුණුව, ඉහළ ජීවන තත්ත්වය, කාන්තා නිදහස ඇතුළු ඔවුන් පසුගිය දශක පහක කාලය තුළ ලබාගත් විශිෂ්ට ජයග්රහණ ගැන අපේ රටේ බොහෝ දෙනාට කිසිදු අවබෝධයක් නැහැ.

👉 ඒ නිසාම තමයි ෂා රජුගේ පාලන කාලය තුළ කාන්තාවන් අඩ නිරුවතින් සිගරට් බොන ඡායාරූප තවමත් මහා මැජික් විදිහට අපේ සමාජ මාධ්ය තුළ සංසරණය වන්නේ. මේක ලංකාව තුළ විතරක් නෙමෙයි ලෝකය පුරාම පතුරුවා ඇති ගජබින්නයක්.

👉 හැබැයි බටහිර ගැති ෂා රජු දශක ගණනාවක් රට පාලනය කළ පසුවත්, කාන්තාවන් කොටට ඇඳපු බව කියන කාලයේ ඉරානය සමාජ ආර්ථික වශයෙන් කොයි තරම් නරක තැනක හිටපු රටක්ද කියන එක ගැන අපි බොහෝ දෙනාට කිසිදු අදහසක් නැහැ.

👉 ඒ වගේම ලංකාව කියන්නේ මෑත ඉතිහාසය තුළ සාමූහික අරගලවලින් සීරියස් ජයග්රහණ ලබාගත්ත රටක් නෙමෙයි.

👉 එදා සිටම ක්රියාත්මක වූ සුබසාධන ප්රතිපත්ති වගේ දේවල් නිසා ලංකාවේ යහපත් ජීවන තත්ත්වයක් තිබුණත් අපි ආර්ථික ක්ෂේත්රයේ කිසිදු විප්ලවීය පරිවර්තනයකට ගොස් නැහැ. ආර්ථිකයේ පවතින මේ ගැටලුව විද්යාව, තාක්ෂණය, අධ්යාපනය, ක්රීඩාව ඇතුළු හැමදේටම බලපාන එකක්.

👉 කලින් කලට මතු වන ජනප්රිය රැලි හරහා ආණ්ඩු මාරු කිරීම හැර සාමූහික සමාජ අරගලවල තිබෙන බැරූරුම්කම ගැන අපට කිසිදු හැඟීමක් අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති වීමෙන් නොනැවතී එවැනි දේවල් විහිළුවට ලක් කිරීමටත් අප ඉතා දක්ෂයි.

👉 2009 දී ලැබූ යුද ජයග්රහණය තමයි අපි මෑතකදී ලබාගත් පැහැදිලි සමාජ ජයග්රහණයක් විදිහට ඉතුරු වී තිබෙන්නේ. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට ඒකවත් ඒ තරම් සීරියස් නැහැ.

👉 රණවිරුවන් 27000ක් ජීවිත පුදා අත්කරගත් ඒ ජයග්රහණය සමච්චලයට ලක් කිරීම සඳහා රණවිරුගාය, අටපාස් ආමිකාරයා වැනි නරුම අපහාසාත්මක යෙදුම් අපේ රටේ සුලබව භාවිත වන්නේ ඒ නිසා.

👉 අපි බොහෝ දෙනා තුළ තිබෙන්නේ පොඩ්ඩ බැරි වෙද්දි තමන්ගේ ආගම, සංස්කෘතිය ඇතුළු හැම දෙයක්ම ජෝක් එකට ගන්න, ගරු කළ යුතු සියල්ල කෙලසන, ඒ අතරේම බාල සිල්ලර දේවල් ඉස්සරහා නොසෑහෙන්න හැගීම්බර වෙන, පහසුවෙන් රැවටෙන, බොල් පිළිම වන්දනා කරන විෂම මානසිකත්වයක්.

👉 මෙහෙම තත්ත්වයක් තුළ සුද්දා අපිව දාලා නොගියා නම් ලංකාව මාර දියුණු රටක් යැයි සිතන උගතුන් සිටින ලංකාව වැනි රටකට ඉරාන ජනයාගේ මනස කියවා ගැනීමට බැරි වීම පුදුමයක් නොවෙයි.

👉 මොකද මිනිස්සුනගේ මානසිකත්වය සකස් වෙන්න ඔවුන් ජීවත් වෙන පරිසරය, ආර්ථික නිෂ්පාදන බලවේග, සාමූහික සමාජ අරගල, නායකත්ව ආදර්ශ වගේ හුඟක් දේවල් බලපානවා.

👉 එතකොට ඉරානයේ මිනිස්සු කියන්නේ දශක පහක වගේ කාලයක් තුළ සිතා ගත නොහැකි තරමේ මහා පරිවර්තනයකට තමන්ගේ රට ඔසවා තැබූ ශ්රේෂ්ඨ ජනතාවක්.

👉 ඔවුන් ඒක කළේ නිකම් නොවෙයි. බටහිර රටවලින් අඛණ්ඩව එල්ල වූ ආර්ථික සම්බාධක, යුද ප්රහාර, මතවාදී ප්රහාර ඇතුළු බරපතළ බාධා කිරීම් කන්දරාවක් මැද ඒ සියල්ලට එරෙහිව සටන් වදිමින් තමයි ඔවුන් මේ තත්ත්වයට තමන්ගේ රට අරගෙන එන්නේ.

👉 පසුගියදා තම අතදරුවා සමඟ විරෝධතාවල නිරත වෙමින් සිටි එක තරුණ මවකගෙන් මාධ්යවේදියෙක් අහපු ප්රශ්නයකට ඇය පිළිතුරු දෙනවා.

👉 ඇය කියන්නේ මෙය මගේ දරුවා වෙනුවෙන් නොවෙයි, ලෝකයේම දරුවන් වෙනුවෙන්, මානව ශිෂ්ටාචාරය වෙනුවෙන් කරන සටනක් බවයි. ඒ කතාව ඇත්තක්.

👉 ලංකාවේ අපට මේවා හුදු නාටක ලෙස පෙනී යාමට හැකි වුවත් එවැනි මවුවරු දහස් ගණනක් අද අතිශය නවීන යුද අවිවලට එරෙහිව හිස් අතින් මහමඟට බැස සිටිනවා.

👉 ඔවුන්ගේ ඒ අසාමාන්ය චිත්ත ධෛර්යය, අසීමිත දේශප්රේමය උපදින්නේ දශක පහක කාලයක් තිස්සේ කරපු ඒ සාමූහික අරගලයේ පන්නරයත් එක්ක මිස හුදකලාව හිතේ හයියට නොවෙයි.

👉 හැබැයි එවැනි අත්දැකීම් නැති ලංකාවේ අපට ඒ මානසිකත්වය තේරුම් ගැනීම පවා අපහසුයි. ඒක ඇත්තටම ලාංකේය මානසිකත්වයේ ඇති සීමා මායිම් ගැන ප්රශ්නයක්.

👉 මේ ලිපියේ දැක්වූ ඉරානයේ සමාජ දේශපාලන ජයග්රහණ, ඉරානය ගැන බටහිර රටවල් විසින් පතුරුවා ඇති ව්යාජ මතවාද ආදි කාරණා ගැන මීට පෙරත් විවිධ අවස්ථාවල කතා කර තිබෙනවා වගේම ඉදිරියේදීත් කතා කරන්න පුළුවන්.

👉 ඊට අදාළ වැදගත්ම වීඩියෝවක ලින්ක් එක පළමු කමෙන්ටෙුවේ දාලා තියනවා.

– ඉසුරු ප්රසංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top