108 වනාහි ලෝකය මවිත කළ අරුම පුදුම ඉලක්කමක් වන්නේ කුමක් නිසාද? ඒ ගැන කරුණු දැක්වීමට පෙර පහත දැක්වෙන කාරණා ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.
1. පොළොවේ විශ්කම්භය 108න් වැඩි කළ විට එය සූර්යයාගේ විශ්කම්භයට සමානය.
2. සූර්යයාගේ විශ්කම්භය 108න් වැඩි කළ විට එය පොළවේ සිට සූර්යයාට ඇති දුරට සමානය.
3. පොළොවේ පරිධිය 108න් වැඩි කළ විට එය සූර්යයාගේ පරිධියට සමානය.
4. සඳේ විශ්කම්භය 108න් වැඩි කළ විට එය සඳ හා පොළව අතර ඇති දුරට සමානය. මේ සියලු කාරණා අවශ්ය නම් ගණනය කර බලන්න. එහිදී ලැබෙන අගයන් 108ට ඉතා ආසන්න වශයෙන් සමාන වේ.
5. පුරාණ හින්දු වේද ග්රන්ථවලට අනුව ලෝකය තැනී ඇත්තේ මූලද්රව්ය 108කිනි. එහෙත් නූතන ආවර්තිතා වගුවේ මූලද්රව්ය 118ක් තිබේ. මේ අතර 108 වන මූලද්රව්ය හේසියම් නම් වේ. ඉන් එහාට ඇත්තේ ඉතා කෙටි ආයු කාල සහිත, විද්යාගාර තත්ත්වයන් යටතේ පමණක් පවතින මූලද්රව්ය 10කි.
6. මිනිස් සිරුරේ සාමාන්ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6කි. මෙය සීය දක්වා ගියහොත් එය තදබල උණ තත්ත්වයකි. 108 දක්වා ගියහොත් අය අප ශරීරයේ ඉන්ද්රියන් අක්රිය වීම ආරම්භ කරන උෂ්ණත්වය වේ. ඒ අනුව ඒ අගයද 108කි.
7. අප නිතර අසා ඇති පරිදි ශ්රී ලංකාව ඉන්දියාව වැනි රටවල මන්තරයක් මතුරන වාර ගණන 108කි.
8. ශ්රී ලංකාවේ හා ටිබෙට් දේශයේ තිබෙන නව ගුණ වැලේ ඇට ගණන 108කි.
9. මේ අන්දමට පබලු 108 මාල භාවිතා කිරීම හා පර්වතයක් වැනි යමක් වටා 108 වාරයක් ගමන් කිරීම වැනි චාරිත්ර අපට පුරාණ ඊජිප්තුව හා පර්සියාව යන රටවලින්ද අසන්නට ලැබේ.
10. ජපානයේ සෙන් බුදුදහමට සම්බන්ධ පන්සල් තුළ වර්ෂයක් අවසානයේ නාද කරන සීනුවක් ඇති අතර එය නාද කරන වාර ගණන 108කි.
11. චීනයේ තාඕ ආගම තුළද සු චු නමින් හදුන්වන පබලු මාලයක් තිබේ. එහි ඇට ගණන 108කි.
12. සංස්කෘත හෝඩියේ පුරුෂ හෙවත් ශක්ති ලෙස සැලකෙන අක්ෂර 54ක් සහ ස්ත්රී හෙවත් ශිව ලෙස සැලකෙන අක්ෂර 54ක් තිබේ. මේ දෙකේ එකතුව 108කි.
13. හින්දු ආගමේ ශිව දෙවියන්ගේ නර්තන ඉරියව් සංඛ්යාවද 108කි.
14. විෂ්ණු දෙවියන්ට නම් 108ක් සහ ශිව දෙවියන්ට නම් 108ක් තිබේ.
15. හින්දු ආගමේ එන ක්රිෂ්ණාට සිටි සේවිකාවන් ගණනද 108කි.
16. සූර්ය නමස්කාරය සිදු කරනු ලබන්නේ ඉරියව් 12කින් සහ වට නමයකිනි. ඒ දෙක ගුණ කලාම ලැබෙන අගය 108කි.
17. උපනිෂද් දර්ශනයේ එන උපනිෂද් ග්රන්ථවල සංඛ්යාව 108කි.
18. මීළඟට මේ 108 මෙන්ම 9 ඉලක්කමද හින්දු ආගම සහ පොදුවේ ආසියානු සංස්කෘතීන් තුළ වැදගත් යැයි සැලකෙන ඉලක්කම් දෙකකි. මේ 108 සහ නමයේ ඉලක්කම අතරද පුදුමාකාර ගණිතමය සම්බන්ධතා ගණනාවක් තිබේ.
19. එකේ පළවැනි බලය, දෙකේ දෙවැනි බලය, තුනේ තුන් වැනි බලය ගෙන ඒ ඉලක්කම් නැවත වැඩි කිරීමෙන් 108 ඉලක්කම ලැබේ. ඒවායේ එකතුව 9කි.
20. 108 ඉලක්කම දිගින් දිගටම දෙකෙන් බෙදීමෙන් ලැබෙන ඉලක්කම්වල එකතුව නමය වීමද 108 සහ 9 අතර ඇති එවැනි සම්බන්ධයකි.
21. මීළගට ඉන්දියාවේ පූජනීය ගංගාවක් වූ ගංගා නම් ගඟේ පිහිටීම සහ 108 අතරත් පුදුමාකාර සම්බන්ධයක් තිබේ. මේ ගඟ පිහිටා තිබෙන්නේ දේශාංශ 79 – 91 අතර, අක්ෂාංෂ 22ත් 31ත් අතරය. 91න් 79ක් අඩු කළ විට 12කි. 31න් 22ක් අඩු කළ විට 8කි. 12 ඉලක්කම 8න් ගුණ කිරීමෙන් ලැබෙන අගය 108කි.
22. ඉන්දියානු ජ්යෝතිෂයේ ග්රහලෝක නමයක් සහ රාශි 12ක් ගැන කියැවේ. 12 නමයෙන් වැඩි කළ විට ලැබෙන අගය 108කි.
23. පුරාණ චීන ජ්යෝතිෂයේ මිනිසාට සුබදායක තාරකා 36ක් සහ අසුබදායක තාරකා 72ක් ගැන කියැවේ. ඒ දෙකේ එකතුව 108කි.
24. ටිබෙට් ආගමේ පුරාවෘත්ත තුළ අපට යෝගීන් 108ක් සහ ශාස්තෘවරුන් 108ක් ගැන අසන්නට ලැබේ.
25. කරාටේ කුංග් ෆූ වැනි සටන් කලාවන් තුළ චලනයන් හා අත් අගුළු දැමීමේ ක්රම 108ක් ගැන කියැවේ.
26. ජෛන ආගමේ අරිහන්ත, සිද්ධ, ආචාර්ය, උපාධ්යාය, මුනි කියන උත්තරීතර තත්ත්වයට පත් කොට්ඨාස පහක් ගැන කියැවෙනවා. ඒ කොට්ටාස පහ තුළ ඇති ගුණාංග සියල්ලේ එකතුව 108කි.
27. ක්රිස්තුස් වහන්සේ කුරුසගත කිරීමේදී උන්වහන්සේගේ ශරිරයට පහරවල් 6666ක් එල්ල වූ බව විවිධ ලේඛනවල සඳහන් වන අතර, ඒ අතරින් උන්වහන්සේගේ උදරයට එල්ල වූ පහර ගණන 108ක් බව කියැවේ.
28. පුරාණ මායා ශිෂ්ටාචාරයට අයිති බෙලිස්, ගෝතමාලාව හා මෙක්සිකෝව යන රටවල පුරාණ ආගමික ඉදිකිරීම් ගැන සලකා බලන විය මේවායේ උස පළල වැනි දේවල් සහ 108 ඉලක්කම අතර නොයෙක් සම්බන්ධතා තිබේ.
මේ කරුණු අනුව 108 ඉලක්කමේ පුදුමය කුමක්දැයි දැන් ඔබට දළ අදහසක් ලබාගත හැකිය.
මෙහි පුදුමය වන්නේ එක් ආගමක් වෙනුවට හින්දු, ජෛන, බුදුදහම, සිකීම් දහම, ක්රිස්තියානිය වැනි ආගම් ගණනාවක් සහ 108 ඉලක්කම අතර විශාල සම්බන්ධයක් තිබීමය.
එමෙන්ම ඉන්දියාව, චීනය, ජපානය, බටහිර ලෝකය මෙන්ම උතුරු හා දකුනු ඇමරිකානු ශිෂ්ටාචාර නියෝජනය වන රටවල් ගණනාවක් අතර 108 වැදගත් ඉලක්කමක් වීමය.
මීළඟට හුදු ආගමික සංස්කෘතික කාරණාවලින් නොනැවතී විද්යාව, ගණිතය, තාරකා විද්යාව, ජ්යෝතිෂය වැනි විෂයන් සහ 108 ඉලක්කම අතරත් පුදුමාකාර සම්බන්ධයක් තිබීමය.
එහි අර්ථය ස්වභාවධර්මයේ විවිධ රටාවන් හා 108 ඉලක්කම අතරද පුදුමාකාර සම්බන්ධයක් ඇති බව නොවේද?
මේ සම්බන්ධය සකස් වූ ආකාරය පැහැදිලි කිරීම පහසු කටයුත්තක් නොවේ.
එසේ වුවද අපට තේරුම් ගත නොහැකි සමහර ගණිතමය සම්බන්ධතා ස්වභාව ධර්මය, විද්යාව, ගණිතය හා ආගම් ආදිය අතර ඇති බව මෙයින් පැහැදිලි වේ.
එසේම ඇතමුන් මේ හුදු මිත්යාවන් පමණක් යැයි සලකා බැහැර කරන අපේ පැරණි දැනුම් පද්ධතීන් සහ ස්වභාවධර්මය අතර ඇති සම්බන්ධය තේරුම් ගැනීමටද මෙයින් යම් අනුබලයක් සැපයේ.
108 ඉලක්කමේ කතාව ඒ සියල්ල තේරුම් ගැනීමට වැදගත් වන පුදුමාකාර කතාවකි.
– ඉසුරු ප්රසංග



