21 වන සියවසේ මහා ආශ්චර්යය – මානව ඉතිහාසයේ දැවැන්තම දුප්පත්කම තුරන් කිරීමේ මෙහෙයුම

👉 විද්යාව තාක්ෂණය කොතරම් දියුණු වුවත් දරිද්රතාවය කියන්නේ වර්තමාන ලෝකයේ පවා සෑම රටකම පාහේ අඩුවැඩි වශයෙන් පවතින දැවෙන ප්රශ්නයක්.

👉 මෙහෙම තත්ත්වයක් තුළ සමස්ත ලෝක ගෝලයේම දුප්පත්කම හතරෙන් තුනකින් පහත දැමීමට දායක වූ එක් සුවිශේෂී රටක් ලෝකයේ තිබෙන බව අපි බොහෝ දෙනා නොදන්නා කාරණයක්.

👉 මේක මේ සියවස තුළ ලෝකයේ සිදු වූ මහා ඓශ්වර්යයක් ලෙස සැලකිය හැකි සිදුවීමක්. මෙහි පුදුමය තේරුම් ගැනීමට නම් දත්ත සහිතව මේ කාරණය ගැන විමසා බැලිය යුතුයි.

👉 මේ සුවිශේෂී මෙහෙයුම දියත් කළ රට තමයි චීනය.

👉 චීනය කියන්නේ අදින් අවුරුදු 46කට කලින් ඒ කියන්නේ 1980 තරම් මෑත කාලයේ පවා ජනගහනයෙන් සීයට 87ක් අන්ත දරිද්රතාවයෙන් පීඩා විඳපු රටක්. ඒ සීයට 87ක ජනතාවගේ දිනක ආදායම ඇමරිකානු ඩොලර් 2.15ට වඩා අඩුයි. ලෝකයේ සම්මත නිර්ණායක අනුව මේක අන්ත දරිද්රතා රේඛාවෙන් පහළ ආදායම් මට්ටමක්.

👉 හැබැයි අවුරුදු හතලිහක විතර කාලයක් ඇතුළත ඒ කියන්නේ 2021 විතර වෙද්දි මේ සමස්ත ජනගහනය දරිද්රතා රේඛාවෙන් ඉහළට ගෙනල්ලා ඒ රටේ දුප්පත්කම මුලුමනින්ම වගේ තුරන් කරන්න චීන රජය සමත් වෙනවා.

👉 එතකොට මේ දුප්පත්කමෙන් මුදා ගත්ත ජනගහනය සුළුපටු ප්රමාණයකුත් නෙමෙයි. ඒ ප්රමාණය ආසන්න වශයෙන් මිලියන 800ක්. කෝටිවලින් නම් කෝටි 80ක්. ඒ කියන්නේ ශ්රී ලංකාවේ ජනගහනය වගේ 40 ගුණයක්. කෙටියෙන්ම කිව්වොත් අවුරුදු හතලිහක් ඇතුළත මිලියන 800ක ජනගහනයක් දුප්පත්කමින් මුදාගන්න චීනය සමත් වෙනවා.

👉 වත්මන් ජනපති ෂී ජින් පින් මේ සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ අයෙක්. ඔහු තමයි 2021 පෙබරවාරි 25 වැනිදා මේ ජයග්රහණය නිල වශයෙන් ප්රකාශයට පත් කළේ.

👉 මේ මෙහෙයුම කොයි තරම් ප්රබලද කිව්වොත් එක රටක් විසින් දියත් කළ මේ මෙහෙයුම නිසා සමස්ත ලෝක ගෝලයේම දුප්පත්කම හතරෙන් තුනක පමණ අගයකින් පහත වැටෙනවා.

👉 ඒ අනුව මේක තමයි මානව ඉතිහාසයේ දැවැන්තම දුප්පත්කම තුරන් කිරීමේ මෙහෙයුම විදිහට සැලකෙන්නේ.

👉 මේක හුදු චීන රජය විසින් කියන කතාවක් නෙමෙයි. ඒ වෙනුවට අද ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සමූහය වගේ ගෝලීය ආයතන පවා විවෘතව මේ කාරණය පිළිගෙන තිබෙනවා. ඔවුන් මේ ගැන වාර්තා එකක් නෙමේ ගණනාවක් පළ කරලා තිබෙනවා.

👉 මේ ගැන ලියවුණු පොත්පත්, පර්යේෂණ වාර්තා, අධ්යයන වාර්තා ඉතාම සුලබ බව අන්තර්ජාලය සරලව පිරික්සා බැලුවොත් ඕනෑම අයෙකුට දැනගන්න පුළුවන්.

👉 මේ සම්බන්ධව ලෝක බැංකුව විසින් පළ කළ Four Decades of Poverty Reduction in China: Drivers, Insights for the World, and the Way Ahead නම් වූ පිටු 93කින් යුත් වාර්තාවේ මෙහෙම සඳහන් වී තිබෙනවා.

Over the past 40 years, the number of people in China with incomes below US$1.90 per day has fallen by close to 800 million, accounting for close to three-quarters of global poverty reduction since 1980. At China’s current poverty standards, the number of poor people in China fell by 770 million. By any measure, the speed and scale of China’s poverty reduction is historically unprecedented.

👉 ඒ අනුව සමස්ත ලෝකයේ දරිද්රතාව හතරෙන් තුනක පමණ විශාල අගයකින් පහත හෙලීමට චීන රජයේ වැඩපිළිවෙළ හේතු වූ බව මෙහි ලෝක බැංකුව පවා පැහැදිලිව පිළිගෙන තිබෙනවා. ඒ නිසා මෙය චීනය හෝ චීනයට පක්ෂ අය විසින් ගොතන සුරංගනා කතාවක් නොවෙයි.

👉 හැබැයි තාමත් ලංකාවේ බොහෝ දෙනාට සංවර්ධනය ගැන කතා කරද්දි මතක් වෙන්නේ සුදු හම ඇති මිනිස්සු ජීවත් වන ලෝකය පුරා මිනී කඳු ගොඩ ගැසූ යටත්විජිත ස්වාමිවරුන්ගේ රටවල් පමණයි. ඔවුන් සංවර්ධනයේ ආදර්ශ ගැන කතා කරන්න උදාහරණ සපයාගන්නේ ඒ රටවලින් විතරයි.

👉 ඔවුන් චීනය ගැන දන්නේ මැතිවරණ නැති, ප්රජාතන්තවාදය නැති, නිදහස නැති කරුමක්කාර රටක් කියන බටහිර ලෝකය අපට සකසා දුන් සුපුරුදු කතාව පමණයි.

👉 චීනයේ ආර්ථික දියුණුව ගැන කතා කරද්දී අපේ රටේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ නව ලිබරල් ආර්ථිකය, විවෘත ආර්ථික ප්රතිපත්ති නිසා චීනය දියුණු වූවා වැනි හිස් ප්රලාප පමණයි. මේවායේ පදනම් විරහිත බව ගැන අවශ්ය නම් වෙනම කතා කරන්න පුළුවන්.

👉 දුප්පත්කම කියන එක අද සංවර්ධිත රටවල් ඇතුළු ලෝකය පුරාම තිබෙන ප්රශ්නයක්. අමෙරිකාව වැනි ලෝකයේ ඉහළම ආර්ථිකයක් හිමි රට තුළ පවා දරිද්රතාව බරපතළ ගැටලුවක් විදිහට පවතිනවා.

👉 ඒ කියන්නේ මේ යටත්විජිතකරණය හරහා ලෝකය පුරා ඇති රාජ්යයන් කොල්ලකමින් සංවර්ධිත යැයි කියන තත්ත්වයට පත් වූ රටවලටවත් කරන්න බැරි වුණ දෙයක් තමයි චීනය මේ කරලා තිබෙන්නේ.

👉 වසර පනහකට අඩු කෙටි කාලයක් තුළ ස්වාධීනව නැගී සිටි රටක් විදිහට ඔවුන් ලබාගත් මේ ජයග්රහණය ඉතා සුවිශේෂී එකක්. හැබැයි ඔවුන්ට මේ වෙනුවෙන් සෑහෙන මහන්සි වෙන්න දැවැන්ත ඉලක්ක සැලසුම් එක්ක වැඩ කරන්න සිද්ධ වුණා. ඔවුන් ඒක කළේ ලංකාවේ කරනවා වගේ දුප්පතුන්ට ජනසවිය, සමෘද්ධිය දීමෙන් නොවෙයි. හැබැයි ඒ මොනවා වුණත් මේ ජයග්රහණයට පැහැදිලි හේතුවක් වුණේ චීනයේ ක්රියාත්මක ආර්ථික ප්රතිපත්තිය.

👉 අද ලංකාවේ බොහෝ දෙනා හිතන දෙයක් තමයි චීනයේ තිබෙන්නේ සම්පූර්ණ නිදහස් ලිබරල් ධනවාදී ආර්ථිකයක් කියන එක. හැබැයි ඇත්තටම චීනයේ ක්රියාත්මක වන ක්රමය පූර්ණ ලිබරල් ආර්ථිකයක්වත්, පැරණි සෝවියට් දේශයේ තිබුණ විදිහේ පූර්ණ සමාජවාදී ආර්ථිකයක්වත් නෙමෙයි.

👉 ඒ දෙකම වෙනුවට ඔවුන් තොරාගෙන තිබෙන්නේ ඒ දෙකේම ලක්ෂණ මිශ්ර වූ සමාජවාදී ප්රතිපත්ති මත පදනම් වූ වෙළෙඳපොළ ආර්ථිකයක්. ඔවුන් ඒකට චීන ලක්ෂණ සහිත සමාජවාදය කියලා නමක් දී තිබෙනවා.

👉 මේ ක්රමය මොන වගේද කියන එක තරමක් සංකීර්ණ සහ වෙනම කතා කළ යුතු මාතෘකාවක්. හැබැයි ශ්රී ලංකාවේ අපි හිතන විදිහේ පූර්ණ ලිබරල් ආර්ථිකයක් චීනයේ තිබුණා නම් ඔවුන්ට කවදාවත් පොදු ජනතාවගේ සුබ සිද්ධිය පදනම් කරගත් මෙවැනි ඉලක්කවලට අධික වේගයෙන් ගමන් කරන්න ලැබෙන්නේ නෑ. ලිබරල් ආර්ථිකයෙන් සිදු වන්නේ දුප්පතුන් තව තව දුප්පත් වෙද්දී පෝසතුන් තව තව පෝසත් වීම පමණයි.

👉 ඉතින් ඒ ගැන විස්තර හොයන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ චීන ආර්ථික මොඩලය ලිබරල් ආර්ථිකයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන ලෝකයේ පිළිගත් විද්වතුන්, ආර්ථික විශ්ලේෂකයන් විසින් කරන කරුණු දැක්වීම් ඕනෑ තරම් අන්තර්ජාලයේ තිබෙනවා. අවශ්ය කෙනෙකුට ඒවා බලන්න පුලුවන්.

👉 ශ්රී ලංකාව වැනි අයිඑම්එෆ් ප්රතිපත්ති පමණක් වන්දනා කරමින් නන්නත්තාර වූ රටවලට මේවායෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහොමයක් ඇති බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි.

– ඉසුරු ප්රසංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top