මහින්දාගමනය සනාථ කෙරෙන පුරා විද්‍යාත්මක සාධක

ලක්දිව බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය ලෙස මිහින්තලා පරිශ්‍රය සැලකේ. එම සංස්කෘතික අවකාශය අවධි ගණනාවකට අයත් උරුම එකතුවක් ලෙස අර්ථ දැක්වීම අතිශයෝක්තියක් නොවේ. මහින්දාගමනය හා බැඳුණු සංස්කෘතික අවකාශය පිළිබඳ සැලකිව යුතු ශාස්ත්‍රීය අධ්‍යයන හා පර්යේෂණ සිදුව ඇති බව අපි දනිමු. එහෙත් අභිලේඛන ඇසුරින් මහින්දාගමනය පිළිබඳ විධිමත් අධ්‍යයනයක අවශ්‍යතාව මෙතෙක් පූරණය වී නොමැති තරම් ය. එම හේතුව නිසාම මහින්දාගමනය සාහිත්‍ය මූලාශ්‍රයට පමණක් සීමා වූ ප්‍රවාදයක් හැටියට අර්ථ දැක්වීමට උත්සාහ ගෙන ඇති අවස්ථා පවතී. ඒ අනුව මෙම ප්‍රවේශය මඟින් එම ශාස්ත්‍රීය රික්තය පිරවීම සිදුවේ. ඒ සඳහා අනුරාධපුර මුල් යුගයේ සිට මහනුවර යුගය දක්වා තෝරාගත් අභිලේඛන කිහිපයක් ඇසුරින් මිහිඳු සංස්කෘතිය හා බැඳුණු ලක්දිව ධර්මදූත සේවාව, අටසැට ලෙන් කර්මාන්තය සහ දුමින්දාගමනය පිළිබඳ දැනුම නිෂ්පාදනය කිරීම සිදු වේ.

ඓතිහාසික මහින්දාගමනය සනාථ කෙරෙන ලේඛන අතර වඩාත් පැරණි රජගල ගිරිලිපිය විශේෂ වේ. මෙම ලේඛනය මිහිඳු දාගැබට උතුරු දිශාවෙන් දාගැබට ආසන්නව සටහන් කරන ලද්දකි. තනි පෙළක් වශයෙන් සටහන් කරන ලද ලේඛනයෙහි අක්ෂර බොහෝ දුරට ආරක්ෂා වී ඇති අතර ලේඛනය මධ්‍යයේ සටහන් කර තිබෙන තෙ, ර, ම යන අක්ෂර තුන ස්වභාවික හේතු නිසා ඛාදනයට ලක්ව ඇත. ලේඛනයෙහි අන්තර්ගත අක්ෂර ලජ්ජිතිස්ස රජුගේ ලිපිවල අක්ෂරවලට සමානවන හෙයින් මෙම ලේඛනය ද එම කාලසීමාවේදී සටහන් කරන්නට ඇති බව අදහසක් වේ (හෙට්ටිආරච්චි, එන්. ඒ, සදිනි මනරංගි දයානන්ද, 2018:50). ඇතැම් විද්වතුන් රජගල ගිරිලිපිය උත්තිය (ක්‍රි.පූ 210-200) රාජ්‍ය අවධියට අයත් වියහැකි බවට අදහස් දක්වා තිබේ (ලගමුව, 2009: 190).

රජගල ලිපි පිළිබඳ පළමුවෙන්ම වාර්තා කරන ලද්දේ 1935 වර්ෂයේදී ය. එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස ලෝංහස්ට් මහතා කටයුතු කළ අතර උපකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන ලද්දේ සෙනරත් පරණවිතාන මහතා ය. එම ලිපි පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත්තේ නුවර නෝවුඩ් ධර්මරාජ විහාරයේ වැඩසිටි දොඩම්දූවේ සිරි ධම්මරතන හිමියන් විසිනි. පරණවිතාන මහතා සෙල්ලිපි ලේඛන පිටපත් කිරීම සඳහා එවකට පුරාවිද්‍යා අධිකාරියේ සහකාර සැලසුම් ශිල්පී ඩබ්. ඊ. ප්‍රනාන්දු මහතා යොමු කර ඇත. ඔහු රජගල ලිපි 22ක් පමණ පිටපත් කර ඇති අතර එම ලේඛන එකතුවට අපගේ අවධානයට යොමු වන රජගල ගිරිලිපිය ද ඇතුළත් වේ. ලබාගත් මුල් පිටපතේ අග කොටසෙහි අක්ෂරවල ඌනතාවක් දක්නට ලැබුණු හෙයින් නැවත පිටපත් කිරීමට සිදු වූ බව කියැවේ. දෙවන පිටපත පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා අධිකාරී ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර මහතා ද සහාය දක්වා ඇත (පරණවිතාන,1968:16).

1962 දී පරණවිතාණයන් මෙම ලේඛනය පිළිබඳ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ 20 වැනි වෙළුමට “An Inscription of Circa 200 B.C. at Rajagala Commemorating Saint Mahinda” මැයෙන් ලිපියක් සම්පාදනය කර තිබේ. ඔහු “යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික (තෙ ර ම) හිද තෙරහ තුබෙ” යනුවෙන් කියවන ලද පෙළට “මෙම දිවයිනේ සමෘද්ධිය පිණිස ප්‍රථමයෙන් පැමිණි ඉට්ඨිය තෙරුන්ගේ හා මහින්ද තෙරුන්ගේ ථූපයයි” යනුවෙන් අර්ථ දක්වා ඇත. එම ලිපියෙහි මිහිඳු හිමියන් හා ඉට්ඨිය දිවයිනේ වාසනා මහිමය නිසා පැමිණි බව සඳහන් වන හෙයින් දඹදිව සිට බුදුදහම විසරණය කිරීමට මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිස ලක්දිවට වැඩම කළ බව කියැවෙන ඓතිහාසික ප්‍රවෘත්තිය සනාථ වේ. මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් පසුව උත්තිය රජු විසින් උන්වහන්සේගේ භෂ්මාවශේෂ කොටසක් මිහින්තලා ස්තූපයේ තැන්පත් කර සෙසු ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ පිහිටි විහාරස්ථානයන්හි නිදන් කිරීම සඳහා බෙදා දුන් බව කියැවෙන ප්‍රවෘත්තිය ද මෙම ලිපිය mඟින් සනාථ වේ. ලිපියෙහි අක්ෂර ක්‍රි. පූ. දෙවන සියවසට අයත් වන හෙයින් රජගල ස්තූපය මිහිඳු හිමි පරිනිර්වාණයෙන් නොබෝ දිනකින්ම ගොඩනඟන්නට ඇති බව අදහසක් වේ (සිරිසෝම, 1990: 38).

ලේඛනයෙහි දැක්වෙන “ඉමදිප පටමය ඉදිය අගතන” යන්න “ඉඩික තෙර මහිද තෙරහ” යන්නට විශේෂ වෙයි. ”අගතන” යන්න පාළියෙහි ආගතානං යන්නට සමාන යෙදුමකි. සකු බසෙහි “ආගතානම්” යන්න “අගත” යන්නෙහි ඡට්ඨි බහුවචන පදය වේ. “ඉදිය” යනු “ඉදි” යන්නෙහි කරණ විභක්ති ඒක වචනාර්ථය ලෙස ගිනිය හැකිය. මෙය පාළියෙහි “ඉද්ධි” යනුවෙනුත් සකු බසෙහි “සෘද්ධි” යනුවෙනුත් යෙදේ. එමඟින් සෞභාග්‍යය, වාසනාව අදහස් වන බව පරණවිතානන්ගේ අදහසයි.

“පටමය” යන්න සකු භාෂාවේ “ප්‍රථමා” යන්නට ද පාළි භාෂාවේ “පඨම” යන්නට ද සමානය. එමඟින් විශිෂ්ට, ප්‍රමුඛ සහ සුවිශේෂ යන අදහස අර්ථ ගැන්වේ. “අගතන” යන්න ඡට්ඨි බහු වචනයෙන් වෙතත් එයට විශේෂ වූ “මහිද තෙර” යන්න ඒක වචනයෙන් යෙදේ. “ඉඩික තෙර” යන්නෙහි අග විභක්ත්‍යාන්තයක් නොමැති හෙයින් එම වචන දෙක සමාසයකින් සම්බන්ධ කර ඇත. එය ඒකවාචික අන්තයකින් කෙළවරු වුව ද එයට විශේෂ වන වාක්‍යාංගය පුද්ගලයන් දෙදෙනකු නිරූපණය වන අයුරින් බහු වචනයෙන් කෙළවර වන බව පෙනේ. තවද ලිපිය ආරම්භ වන “යෙ” යන වචනය ප්‍රථමා විභක්ති ඒකවචන සම්බන්ධාර්ථී, සර්ව නාම පදයකි. එය සකු භාෂාවේ “යඃ” යන්නට ද පාළියෙහි “යො” යන්නට ද සමානය. සකු භාෂාවේ “අයං” යන්න පැරණි සිංහල ශෛලියට අනුව ගෙන, මුලින් පිහිටි “අ” යන්න අතහැර ප්‍රථමා විභක්ති ඒක වචන ප්‍රත්‍යය වන “එ” යන්න එකතු කර ඇති බව පරණවිතාන පෙන්වා දෙයි.

පරණවිතාණයන්ගේ කියැවීමට විකල්ප අදහසක් ඉදිරිපත් කරන ආචාර්ය ඉෂංක මල්සිරි ලේඛනයෙහි සඳහන් වන “දිප” යන යෙදුම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබේ. පරණවිතාන ඇතුළු විද්වතුන් එම යෙදුම මඟින් සමස්ත දිවයින අර්ථවත් කරන බව පෙන්වා දුන්න ද එමඟින් නැඟෙනහිර කලාපය හෝ රජගල තදාශ්‍රිත ප්‍රදේශය කියැවෙන බව ඔහුගේ අදහසයි. නැඟෙනහිර කලාපයේ ආගමික කටයුතුවල නිරතව සිටි ඉට්ඨිය තෙරුන් වහන්සේට ගෞරව පිණිස කරන ලද ස්තූපයෙහිම මහින්ද තෙරුන්ගේ ධාතූන් ද තැන්පත් කරන්නට ඇති බව පෙන්වා දෙයි. ඒ අනුව රජගල ලේඛනය ප්‍රධාන වශයෙන් ඉට්ඨිය තෙරුන් අනුස්මරණය කිරීම අරමුණු කරගත් සංසිද්ධි ගත වාර්තාකරණයක් බව යෝජනා කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ද්වීපයට බුදුදහම විසරණය කිරීමට ප්‍රමුඛ වූ මහින්ද තෙරුන්ගේ නාමයට පූර්වයෙන් ඉට්ඨිය තෙරුන්ගේ නාමය සටහන් කරන්නට ඇති බව පෙන්වා දෙයි. පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ, වයසින් වැඩිමහල් වූ ඉට්ඨිය තෙරුන් මහින්ද තෙරුන්ට පූර්වයෙන් පිරිනිවනට පත්වීම නිසා ඉට්ඨිය තෙරුන්ගේ නාමය පූර්වයෙන් සටහන් කරන්නට ඇති බව උපකල්පනය කරති (මේධානන්ද හිමි, 2006: 52).

මිහින්තලා සේල චේතියට පිවිසෙන දෙවන පියගැට පෙළට දකුණු පසින් මීටර් 50ක් පමණ දුරින් පර්වත පෘෂ්ඨයේ මහාදාඨික මහානාග (ක්‍රි.ව 9-21) රජුට අයත් පේළි 19 යුක්ත ගිරිලිපියක් වේ. එම ලේඛනය ප්‍රථමයෙන් වාර්තා කර ඇත්තේ කැප්ටන් චැප්මන් විසිනි. ආචාර්ය ඊ. මූලර් විසින් සම්පාදිත ලංකාවේ පැරණි සෙල්ලිපි කෘතියෙහි මෙම ලේඛනය වාර්තා කර තිබේ. ඉන් අනතුරුව එච්. සී. පී. බෙල් හා සෙනරත් පරණවිතාන වැඩිදුර අධ්‍යයනය කළ විද්වතුන් වේ (ලගමුව, 2009: 144). මහින්දාගමනයට වසර 250 පමණ පසුව සටහන් කරන ලද මෙම ලේඛනයේ 13වන පේළියෙහි “මහිද තෙරහච භද්‍රසල තෙරහ ච ඉටික තෙරහ ච උති තෙරහ ච පඨමහ (කර) පිත” යනුවෙන් සටහන් වේ. එමඟින් පැහැදිලි වන්නේ ක්‍රි.ව 1වන සියවස වනවිට ලක්දිව බුදුදහම ව්‍යාප්ත කළ මහින්ද, ඉට්ඨිය, උත්තිය සහ භද්‍රසාල යන ධර්මදූත කණ්ඩායම වන්දනයට පාත්‍ර වී ඇති බව ය. මෙම ලේඛනයෙහි ධර්මදූත සෙසු පිරිසට අයත්වන සම්බල, සුමන සහ භණ්ඩුක හිමිවරුන්ගේ ප්‍රතිමාකරණය ගැන සඳහන් නොවීම ද විශේෂ ලක්ෂණයකි.

මිහිඳු හිමි වැඩම කළ මිස්සක පව්ව වර්තමානයේ අප හඳුනාගෙන ඇති මිහින්තලා පර්වතයම බව මහාදාඨික මහානාග රජුගේ ඉහත ලිපිය මඟින් පැහැදිලි වේ. මිහින්තලයේ ධාතූන් පිහිටි පසු චේතියගිරිය වූ බව මහාවංස ටීකාවේ කියැවෙන අතර ලිපියෙහි ස්ථාන හයක පමණ චේතියගිරි විහාර නාමය සඳහන් කර තිබේ. ඒ අනුව චේතියගිරිය මිහින්තලය වශයෙන් හඳුනා ගැනීම වඩාත් පහසුය (සිරිසෝම, 1990: 38). කණ්ටක චේතිය අසල ඇති ලිපියෙහි “කටක චෙත” යන්න සඳහන්ව ඇති හෙයින් ඊට ආසන්නව පිහිටි කණ්ටක චේතිය ද නිල වශයෙන් හඳුනා ගැනීමට හැකියාව ඇත. කණ්ටක චේතියට ආසන්නව පිහිටි ලෙන් පිළිසකර කොට මිහිඳු හිමි ප්‍රමුඛ සංඝයාට පූජා කිරීමට දෙවනපෑතිස්ස රජු ක්‍රියා කළ බව මහාවංසයේ සඳහන්වන හෙයින් එම හඳුනා ගැනීම වඩාත් වැදගත් වේ. සවිසි දිනක් මහමෙවුනා උයනේ වාසය කරන ලද මහින්ද තෙරණුවෝ වස් එළඹීම සඳහා ඇසළ මස තෙළෙස්වන දවස සෑගිරියට වැඩම කළ බවත් දෙවන පෑතිස්ස නරේන්ද්‍ර තෙම කන්තක නම් චෛත්‍යස්ථානයට හාත්පස අටසැට ලෙන් කර්මාන්තය කරවා ඇසළ මස පුර පොහෝ දවස තෙරුන් වහන්සේලාට පූජා කළ බව කියැවේ (මහාවංසය, 1912: 16, 2-15). මාසයක් පමණ තිස්සාරාමයෙහි වාසය කළ මහින්ද තෙරුන් වහන්සේ මිහින්තලයට වැඩම කළ පසු නරේන්ද්‍ර තෙම වස් එළඹීමට අවශ්‍ය ආවාස සඳහා ලෙන් සැට අටක් පිරිසිදු කොට පූජා කළ බව දීපවංසයේ ද සඳහන් වේ (දීපවංසය, 2016: 14, 51-68).

මිහින්තලා අංක 02, 04, 31 සහ අංක 93 ලිපිවල දෙ(ව)න පිය මහරඣ, මහරඣ ගමිණි තිස්ස සහ තිස්ස මහරඣ යනුවෙන් පෙනී සිටින රජකු වේ (Paranavitana,1970:1-7), ඔහු අටසැට ලෙන් කර්මාන්තය සිදු කළ දෙවන පෑතිස්ස රජු බව විද්වතුන් හඳුනා ගෙන ඇත. ඒ අනුව දෙවන පෑතිස්ස රජු මෙම ලිපිවල අශෝක අධිරාජ්‍යයා ගෙන් ලැබුණු දේවානම්පිය අභිධානය සහිතව මෙන්ම ස්වකීය පුද්ගල නාමය වන තිස්ස නාමයෙන් පෙනී සිටින බව පෙනේ. දේවානම්පිය හා ගමණි තිස යන අභිධානයෙන් රජවරු කිහිප දෙනකු සෙල්ලිපිවල පෙනී සිටිය ද මහාවංසයේ දේවානම්පිය යන්න භාවිතා කර ඇත්තේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමකාලීනයකු වූ ලක්දිව තිස්ස රජුට පමණි. එය අශෝක අධිරාජ්‍යයා තිස්ස රජුට ලබාදෙන ලද අභිධානය නිසාත් දෙවන පෑතිස්ස රජුගේ මූලිකත්වයෙන් මිහින්තලේ කරන ලද ලෙන් කර්මාන්තය පිළිබඳව වංශකතාවේ සඳහන් වන නිසාත් තිස්ස රජු දේවානම්පිය හා ගමිණි තිස්ස යන නම් භාවිත කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය.

අංක 34, 46 හා 47 ලිපි දෙවන පෑතිස්ස රජුගේ කනිෂ්ඨ සොයුරු උත්තිය (ක්‍රි.පූ 210-200) රජුට අයත් ලේඛන ලෙස හඳුනාගෙන ඇත. එම ලේඛනවල අක්ෂර සමඟ අංක 02 සහ 31 ලිපිවල අක්ෂර සංසන්දනය කිරීමේදී අක්ෂර සමාන වුව ද අංක 02, 31 ලිපි වඩාත් පැරණි බව පෙනේ. ඒවා ක්‍රි.පූ 3වන ශතවර්ෂයේ අගභාගයට අයත් වන බව පෙන්වා දී ඇත (ලගමුව, 2009: 41). පුත්තලම දිස්ත්‍රික්කයේ පිච්චන්දියාව හා කොල්ලදෙණිය ලිපිවල ද “දේවානම්පිය මහරජ” නාමය සඳහන් ය. එම ලිපිවල අක්ෂර ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන නන්දසේන මුදියන්සේ දේවානම්පිය මහරඣ නාමයෙන් පෙනී සිටින්නේ දෙවන පෑතිස්ස රජු බව පෙන්වා දෙයි (අමරවංශ හිමි, 1969: 11). සෙනරත් පරණවිතානයන් ද එම අදහස සනාථ කර තිබේ. ඔහු මිහින්තලේ දේවානම්පිය මහරඣ, මහරඣහ ගමිණි තිශහ යන නාමය සඳහන් ලිපි තුන සහ පුත්තලම පිච්චන්ඩියාව ලිපි දෙකක සඳහන් මහරඣ දේවානම්පියශ ගමිණි තිශශ සහ මහරඣ දේවානම්පියහ යන නාමයන් මඟින් දෙවන පෑතිස්ස රජු හැඳින්වෙන බව පෙන්වා දෙයි (Paranavitana,1970:I b!, I c!).

ඇතැම් විද්වතුන් ලෙන් ලිපිවල පෙනී සිටින ‘තිශ’ රජු සද්ධාතිස්ස රජු බව අර්ථ දක්වා තිබේ. සද්ධාතිස්ස රජුට වඩා දෙවන පෑතිස්ස රජු මිහින්තලාව සමඟ සබඳතා පැවැත්වූ හෙයින් ලෙන්ලිපිවල සඳහන් මහරඣ ගමිණි තිශ, දේවානම්පිය මහරඣ සහ තිස්ස මහරඣ දෙවන පෑතිස්ස රජු විය හැකි බව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පෙන්වා දෙති (මේධානන්ද හිමි, 2010: 109-110). මිහින්තලා අංක 13 හා 56 ලිපිවල ගමණි ධමරඣ පිළිබඳ සඳහනක් වේ. එම ලේඛනවලට අමතරව නැට්ටුකන්ද හා බෝවත්තේගල ලිපිවල ද ධමරඣ යෙදුම සහිත ලිපි පවතී. ධර්මයට ප්‍රිය කළ ධර්මාශෝක අධිරාජ්‍යයා දේවානම්පියතිස්ස අභිධානයට අමතරව ධර්මරාජ උපාධි නාමයෙන් හඳුන්වා ඇති බව අදහසක් වේ. ඒ අනුව ලක්දිව තිස්ස රජුට ද දේවානම්පිය උපාධිය සමඟ ධර්මරාජ උපාධිය ද ලැබෙන්නට ඇති බවත් මිහින්තලාව, නැට්ටුකන්ද සහ බෝවත්තේගල ලිපිවල සඳහන් ධමරඣ දෙවන පෑතිස්ස රජු විය හැකි බවත් උපකල්පනය කර ඇත. ලෙන්ලිපිවල කියැවෙන ධමරඣ නාමය දරන රජු මහරජකු නොව, ඔහු රුහුණු ප්‍රදේශයේ ආධිපත්‍යය දරන ලද දස බෑ රජ පරම්පරාවට අයත් රජකු විය හැකි බව තවත් අදහසකි (ලගමුව, 2009: 43). කෙසේ නමුත් අපට පැහැදිලි වන්නේ මිහින්තලය, පිච්චන්දියාව සහ කොල්ලදෙණිය ලිපිවල පෙනී සිටින දේවානම්පිය මහරඣ, මහරඣ ගමණි තිශ සහ තිස්ස මහරඣ දෙවන පෑතිස්ස රජු විය හැකි බවය. ඔහු විසින් නිර්මිත අටසැට ලෙන් කර්මාන්තය හා සම්බන්ධ ලේඛන මහින්දාගමනය හා බැඳුණු සංස්කෘතික අවකාශය ප්‍රකට කරන තවත් වැදගත් නිදර්ශනයකි.

ක්‍රි.පූ. තෙවන සියවසේදී සිදු වූ දුමින්දාගමනය ද මිහිඳු සංස්කෘතියට අත්‍යන්තයෙන්ම බැඳී පවතින්නකි. මෙම ඓතිහාසික සිද්ධිය පිළිබඳ වංශකතාවල දීර්ඝ වශයෙන් වාර්තා කර තිබේ (දීපවංසය, 2016:16,17 පරි) මහාවංසය, 1912:18,19,20පරි). මෙහිදී විශේෂයෙන්ම මහබෝ රත්නය පිණිස අටළොස් කුලයක දෙවියන්, ඇමැතියන්, බමුණන්, කෙළෙඹියන් සහ ගෝපළු, තරස්, කුලිහු, පෙහෙර, කුඹල්, සේනා, නාග සහ යක්ෂ ආදී කුල සමූහය පැමිණි බව සඳහන් වේ (මහාවංසය, 1912:19, 1-8). මෙම ඓතිහාසික ප්‍රවෘත්තිය තහවුරු කිරීමට සමත් සෙල්ලිපියක් වර්තමාන වෙස්සගිරිය නමින් ව්‍යවහාර කරන පුරාවිද්‍යා පරිශ්‍රයේ දක්නට ලැබේ. ක්‍රි. ව 1වන සියවසට අයත් එම ලේඛනයෙහි මහාබෝධිය වඩම්වා පැමිණි වංශවත් පවුලක් වූ බවත් ඔවුන්ගේ මුනුබුරු වූ කුටුම්බික බුතය විසින් බෝධිඝරයක් කරවා එහි මුව සම් ඇතිරීම පිණිස ස්වකීය පවුලට අයත්ව පැවති අයිබරවික වැව ඉස්සරසමණ විහාරයට ප්‍රදානය කළ බව කියැවේ (Paranavitana, 2001:219-221), මෙම ලේඛනය දුමින්දාගමනය පිළිබඳ සඳහන් පැරණිම සෙල්ලිපිය බව පෙනේ. එමඟින් මහාබෝධිය සමඟ මෙරටට පැමිණි වංශවත් පවුල් පිළිබඳ පවත්නා ප්‍රවාද සඳහා ඓතිහාසික වටිනාකමක් ආරෝපණය වීමත්, දුමින්දාගමනය සිදු වී සියවස් තුනකට පසුව වුවද මහාබෝධිය සමඟ පැමිණි කුල සක්‍රියව පැවති බවට තහවුරු වීමත්, එක් කුලයක් නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වීමත් විශේෂ ලක්ෂණයකි. මහින්දාගමනය සනාථ කිරීම සඳහා රජගල ලිපිය වැදගත් වන්නේ යම් සේද දුමින්දාගමනය සනාථ කිරීම සඳහා වෙස්සගිරිය පර්වත ලිපිය ද ඒ හා සමාන වැදගත්කමකින් යුක්ත ය (මල්සිරි).

ශ්‍රී ශක වර්ෂ 1260 දී පමණ භුවනෙකබාහු රජ දවස ධර්මකීර්ති මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කරන ලද ගඩලාදෙණිය විහාර කර්මාන්තය පිළිබඳව කියැවෙන ගඩලාදෙණිය පර්වත ලිපියෙහි (ස්පර්ශ ලාංඡනය අංක 05) ශ්‍රී mහාබෝධිය සමඟ ලක්දිවට පැමිණි ගණවැසි වංශය පිළිබඳ සඳහනක් වේ (Paranavitana,1941:100), ගණවැසි යෙදුම පිළිබඳ ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ අදහස් කිහිපයක් වෙයි (සෝරත හිමි, 1999:31). mහාබෝධිය වැඩමවීමේදී ඒ සඳහා පැමිණි පරිවාර පිරිස අතර බෝධිගුප්ත කුමාරයා ප්‍රධාන පිරිසක් වූහ. බෝධිගුප්ත කුමාරයාට ලක්දිවදී ‘ජයමහලෙන’ තනතුරත් ගම්වර ද පිරිනමා තිබේ. බෝධිගුප්ත කුමාරයා විවාහ කර දෙන ලද්දේ සුමිත්තා කුමරිය සමඟ ය. සුමිත්තා කුමරිය යනු දේවානම්පියතිස්ස රජුගේ නැඟණියක වූ අනුලා බිසවගේ සහෝදරියක බව කියැවේ. මෙම විවාහයෙන් පසුව බෝධිගුප්ත කුමාරයා ඇතුළු පිරිස වාසය කරන ලද ග්‍රාමය ‘ගණවැසි’ ග්‍රාමය ලෙස හඳුන්වා ඇති බව සිංහල බෝධිවංසයේ සඳහන් වේ (සිංහල බෝධිවංසය, 1911: 201). මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන්නේ මහ බෝධිය රක්ෂා කිරීම සඳහා පත් කරන ලද මණ්ඩලයට අයත් පිරිස ගණවැසි වංශිකයන් ලෙස හඳුන්වා ඇති බවය. ගඩලාදෙණිය ලිපියෙහි සඳහන් වන පරිදි එම විහාර කර්මාන්තය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද නිශ්ශංක අලකේෂ්වර, ගණවැසි වංශයට අයත් වූවෙකි. ඒ අනුව පැහැදිලි වන්නේ ක්‍රි.පූ 3 වන සියවසේදී මෙරටට පැමිණි ගණවැසි වංශිකයන් ක්‍රි.ව 14 වන සියවස වන විටත් දේශපාලනික හා ආගමික වශයෙන් ප්‍රබල පිරිසක් ලෙස සමාජය තුළ ස්ථාපිතව සිට ඇති බවයි. මහින්දාගමනය සහ දුමින්දාගමනය සමඟ මෙරට ඇති වූ සංස්කෘතික පුනරුදය සාහිත්‍ය මූලාශ්‍රය ඉක්මවා ගිය ඓතිහාසික යථාර්ථයක් බව තහවුරු කිරීමට මෙම අභිලේඛන සාධක උපකාරී වන බව පැහැදිලිය.

ලක්දිව මහින්දාගමනය සමඟ ගොඩනැඟුණු සංස්කෘතික අවකාශය අධ්‍යයනය කිරීමේදී අභිලේඛන ප්‍රමුඛ වේ. එමඟින් වංශකතාවල වාර්තා කර ඇති ඓතිහාසික ප්‍රවෘත්ති තවදුරටත් සනාථ වීම සිදු වේ. තවද එම ලේඛන මඟින් මහින්දාගමනය සමඟ ලක්දිව ගොඩනැඟුණු සංස්කෘතික අවකාශය විකාශය වූ ආකාරය පිළිබඳව ද යම් අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ලක්දිව මිහිඳු සංස්කෘතිය හා බැඳුණු ධර්මදූත සේවාව, ස්මරණ ස්තූප හා ප්‍රතිමාකරණය අටසැට ලෙන් කර්මාන්තය, පළමු වස් සමාදානය, දුමින්දාගමනය, බෝධිහාර කුලවල පසුකාලීන ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම නිෂ්පාදනය කිරීමේදී අනුරාධපුර මුල් යුගයේ සිට මහනුවර යුගය දක්වා අභිලේඛන උපයෝගී කරගත හැකි බව පැහැදිලිය.

මූලාශ්‍ර නාමාවලිය ද නිවැරදි අක්ෂරවලින් පහත දැක්වේ:

  • අමරවංශ හිමි, කේ. 1969, ලක්දිව සෙල්ලිපි, කොළඹ: සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • දීපවංශය, 2016, සංස්: නදීජා අමරලි ගුණවර්ධන, කොළඹ: සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • පරණවිතාන, එස්. 1968, ‘ක්‍රි.පූ 200දී පමණ රජගලදී ලියා ඇති මිහිඳු හිමියන් සිහිගන්වන ලිපියක්’, රුවන්දෝ, මංගල කලාපය, ඌරාපොල: සිරි රතනජෝති පාරිවේණික ශිෂ්‍ය සංගමය.
  • මහාවංශය, 1912, ප්‍රථම භාගය, පරි: හික්කඩුවේ නායක ස්වාමින් වහන්සේ සහ බටුවන්තුඩාවේ පණ්ඩිතතුමා, කොළඹ: ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව.
  • මල්සිරි, අයි. “රජගල පුවරු බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්”.
  • මල්සිරි, අයි. ‘සතකර’: අභිලේඛනගත දේව කුලයන් හා නව රාජ වංශයක්.
  • මේධානන්ද හිමි, එල්. 2006, සිංහලේ මහා රාජවංශය, කොළඹ: දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • මේධානන්ද හිමි, එල්. 2010, සෙල්ලිපිවලින් දකින අපේ උරුමය, හෝමාගම: සෙනෙවිරත්න ප්‍රින්ටර්ස්.
  • ලගමුව, ආර්, 2009, මිහින්තලේ සෙල්ලිපි, කොළඹ: ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය.
  • සිරිසෝම, එම්. එච්, 1986, උතුරු නැගෙනහිර පළාත්හි හෙළ උරුමය, කොළඹ: සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • සිරිසෝම, එම්. එච්, 1990, ශ්‍රී ලංකාවේ පැරණි බ්‍රාහ්මී සෙල්ලිපි, අභිලේඛන, සංස්: එන්. විජේසේකර, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • සෝරත හිමි, 1999, ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය, ප්‍රථම භාගය, කොළඹ: සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • හෙට්ටිආරච්චි, කේ, එන්. ඒ. සදිනි මනරංගි දයානන්ද, 2018, රජගල සෙල්ලිපි, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • LONGHURST, A.H. 1936, Annual Report 1935, Ceylon: Published by the Department of Archaeology.
  • Paranavitana, S, 1941, GADALADENIYA ROCK INSCRIPTION OF DHARMAKIRTI STHAVIRA, EPIGRAPHIA ZEYLANICA, Vol – 4, LONDON: PUBLISHED FOR THE GOVERNMENT OF CEYLON BY HUMPHREY MILFORD OXFORD UNIVERSITY PRESS, AMEN HOUSE.
  • Paranavitana, S, 1962, “An Inscription of Circa 200 B.C. at Rajagala Commemorating Saint Mahinda”, Ceylon Journal of Historical and Social Studies, Vol. 5, No. 2.
  • Paranavitana, S. 1970, Inscriptions of Ceylon, Vol. I, Colombo: Department of Archaeology.
  • Paranavitana, S. 2001, Inscriptions of Ceylon, Vol. II, Part II, Colombo: Department of Archaeology.
  • WICKREMASINGHE, D.M.D.E. , 1912, EPIGRAPHIA ZEYLANICA Vol-1, PUBLISHED FOR THE GOVERNMENT OF CEYLON BY HUMPHREY MILFORD, LONDON: OXFORD UNIVERSITY PRESS, AMEN HOUSE.
බැරගම සද්ධානන්ද හිමි,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top